නීතිඥ සංගමයේ අවධානය පිණිසයි

248

ශ්‍රී ලංකාව තුළ ගෞරවනීය වෘත්තියක් ලෙස සලකන වෛද්‍යවරුන්, විද්වතුන් යැයි කියාගත් පිරිස් ඉහළ පෙලේ ව්‍යාපාරිකයන් සමග ධර්ම දේශනා බෝධි පූජා පිංකම් අවස්ථාවන්හිදී පවා ජනතාව වෙත මෙම රජය බලයට පත් කිරීමට ගත් කැපකිරීම අද අපහාසයට උපහාසයට පමණක් නොව ඔවුන් ද ජනතාව නොමග යැවූ අපරාධකරුවන් සේ පොදු ජනතාව විශ්වාස කරනු ලැබේ.

එමෙන්ම වර්තමාන නීතිඥ සංගමය ද සියලු පාර්ශ්වයන් එකමුතු කොට ඉතා විශ්වාසවන්ත මගපෙන්වීමක් සිදුකරන බැව් අපට පෙනේ. එය ඉතා අවංක සහ සෘජු ප්‍රතිපත්ති මත පිහිටා කොරෙන යෝජනාවක් සේම ඔබ සංගමයේ යෝජනා නිසි ලෙසම ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමේ විමර්ශන කණ්ඩායමක් ද ඔබ සංගමයේ ප්‍රධානත්වයෙන් රටට අදරැති මෙයට පෙර සෘජුව සහ අවංකව සේවයි කළ විශිෂ්ට විශ්‍රාමික පුරවැසියන්ගෙන් ඇතුළත් වන්නේ නම් එය ද ප්‍රතිපලදායක වන්නේය. එවැනි බලපෑම් කණ්ඩායම් පිහිටුවීම මෙන්ම එම කණ්ඩායම ද නිවැරදිව මෙහෙයවීම හා අධීක්‍ෂණය ඔබ සංගමය සතු වේ නම් එය ද මහජන විශ්වසයෙහි තවත් අගනා අවස්ථාවක් වනු ඇත.

මෙම දුෂ්කර අවස්ථාවෙහි රට ගොඩනැංවීමේ සියලු ආකාරයෙහි ඉතා අවංක ස්වෙච්ඡාවෙන් සේවය කළ හැකි දෙස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ද ආරාධනා කිරීම මැනවි. කිසිදු දීමනාවක් නොමැතිව හුදු ස්වෙච්ඡාවෙන් වසර 3 ක් වත් සේවය කළ හැකි වටිනා තැනැත්තන් මේ රටෙත් විදෙස් රටවලත් ඇති බව මගේ පිළිගැනීමයි. එවැනි කිහිපදෙනකු මේ වනවිටත් ස්වකීය කැමැත්ත පළ කර ඇත. එවැනි තැනැත්තන්ගේ සුදුසුකම් අනුව පමණක් නොව අප රට දියුණු කිරීමේ සැලැස්ම සමග ආරාධනා කරන්නේ නම් ඔවූහු කැමැත්තෙන් සිටිති.

එවැනි තැනැත්තන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කළ මන්ත්‍රීවරුන් වෙනුවෙන් ආදේශ කළ හැකි වන්නේ නම් එය ද වටිනා යෝජනාවකි. යම් ලෙස එම පත්කළ මන්ත්‍රීවරු අස්වීමට අකමැති වන්නේ නම් ඒ කවුරුන් දැයි රටට අනාවරණය කිරීමෙන් ඔවුන් පත් කළ පක්‍ෂය ඔවුන් ඉවත් කිරීම සඳහා බලපෑමක් ඇති කළ හැක.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වශයෙන් ඔබගේ වටිනා උත්සාහය සහ මෙම කැපකිරීම බලගන්වනු පිණිස මෙම යෝජනාව ද ඉදිරිපත් කරමි. වර්තමාන සෑම මහජන නියෝජිතයෙක්ම තෙවසරක් අනිවාර්ය ස්වෙච්ඡා සේවයෙහි යෙදෙන ලෙසත් අවශ්‍ය වන්නේ නම් පමණක් රටේ පුරවැසියන්ගෙන් ලැබෙන මහජන දීමනාවක් ලෙස අර්ථගන්වමින් ප්‍රදානය කිරීම තුළින් ඔවූහු සැබෑ මහජන සේවකයන් බැව් අර්ථගැන්විය හැක.

අපේ රට ඉතා දුෂ්කර තත්ත්වයකට වැටී ඇති අවස්ථාවෙහිදී ඔබ සංගමය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා ඒ ඒ පක්‍ෂය දක්වා ඇති උනන්දුව හා එකඟතාවය පදනම්කොට ගෙන හැකි ඉක්මනින් සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් නායකත්ව මණ්ඩලයක් මගින් සියලු පරිපලාන කටයුතු මෙහෙයවිය යුතුය. රට වෙනුවෙන් කෙරෙන ගනු ලබන සෑම තීරණයක්ම විනිවිද බවින් යුක්ත විය යුතු සහ එය ඕනෑම අයකුට දැනගත හැකි නව අදහස් එකතු කිරීමේ හැකියාවද තිබිය යුතුය. මේ මොහොතෙහි ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කඩිනමින් අප සංගමයෙහි කැපවීම අපේක්‍ෂා කරන අතර නව ප්‍රවේශයකින් අපගේ මාතෘභූමිය රැක ගැනීමේ කාර්යභාරය පිළිගන්නා ලෙස මෙත් සිත් පෙරටුව සිහිපත් කරමි.

සම්මාජීව බෞද්ධ ආශ්‍රමාධිපති / මිතුරු මිතුරෝ අධ්‍යක්‍ෂක
කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment