නීතියෙන් ආවොත් කිරිපිටි තොගය සතියක් තුළ රේගුවෙන් මුදාහරිනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

131

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කිරීම නිසා රේගුවේ රඳවාගෙන සිටින කිරිපිටි තොගය ආනයනකරු නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් කල් ඉකුත් වීමට පෙර මුදා හැරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිරිපිටි ආනයනයට සීමා පනවා නොමැති බැවින් මෙම රඳවා ගැනීම හේතුවෙන් රට තුළ කිසිදු කිරිපිටි හිගයක් ඇති විය නොහැකි බවයි. රඳවාගෙන ඇති කිරිපිටි තොගය පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා ඊයේ (29දා) මේ බව පැවසීය.

ඍජු පරිභෝජනය සඳහා කිරිපිටි ආනයනය කිරීම ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව සිදු කළ හැකි වුව ද කිසියම් ද්‍රව්‍යයක් අමුද්‍රවයක් ලෙස ආනයනය කරන්නේ නම් ඊට පූර්ව අනුමැතිය අවශ්‍ය වේ. කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශයට අනුව මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ චොකලට් සහ කිරි තේ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යක් ලෙසය. එබැවින් මෙම කිරිපිටි තොගය ආනයනය කර ඇත්තේ නීති විරෝධී ලෙස බැවින් ඊට අදාළ නීතිමය ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය.

කෙසේ වෙතත් ආනයනකරු විසින් අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් සතියක් තුළ රේගු පරීක්ෂණ අවසන් කර කල් ඉකුත් වීමකින් තොරව කිරිපිටි තොගය නිදහස් කිරීමට හෝ නීත්‍යානුකූලව බැහැර කිරීමට රේගු දෙපාර්තමේන්තුව සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment