නීතිය කාටත් එකයි – ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගන්නා රටක් බවට පත්කරනවා

135

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක හොරණදී කියයි

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ දූෂිතයන්ට දඬුවම් දෙන, දූෂිතයන්ගේ දේපළ පවරා ගන්නා, නීතිය කාටත් සාධාරණ වන, කාන්තා රැකවරණය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ලෝකයේ පිළිගන්නා රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පැවසූවේ පෙරේදා (12දා) හොරණදී පැවැති ජන හමුවකදීය.මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

ඡන්දය සඳහා දිනය ප්‍රකාශ කළාට පසුව ඡන්දෙ තියයිද නැද්ද දෙගිඩියාවක් තිබෙනවා. මහින්ද අතින් රනිල් අතටත්, රනිල් අතින් මහින්ද අතටත් බලය එනවා නම් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකා ඉතිහාසයේ මැතිවරණයකින් සිදුවෙන විශාලතම පෙරළිය මේ මාර්තු මාසෙ 09වැනිදා සිදුවෙනවා. පැරණි සාම්ප්‍රදායික, අසාර්ථක, දේශපාලන පක්ෂවලින්, මේ රට ඉදිරියට කැඳවාගෙන යන නව දියුණු රටක් නිර්මාණය කරන, නූතනත්වය කැටුව එන මාලිමාවට බලය එන බව එයාලා දන්නවා. අපට 10දාට බලාගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට, පොහොට්ටුවට ඇති ජනතාවගේ කැමැත්ත. රනිල් වික්‍රමසිංහට ජනතාවගේ කැමැත්ත ශූන්‍ය තත්වයට පොඩ්ඩක් උඩින් තිබේවි.

මාර්තු මාසේ 10දාට, හොරණ මහ නගර සභාවේ, ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵල කියන කොට හොරණ ජනතාවගේ කැමැත්ත මාලිමාවට බවට

ඕගොල්ලන්ගෙන් සහතිකයක් ඕනෑ. එතකොට ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ බලය මාලිමාවට කියන සහතිකය අපට දෙන්න. ඒ අනුව තවදුරටත් මේ රට පාලනය කිරීම සඳහා පාලකයින්ට බලයක් නැති නිසාම අපට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලපෑම් ඇතිකරන්න. අපෙන් විතරක් නොවෙයි ලෝකයෙන්ම බලපෑම් එනවා. ලෝකයේ රටවල් කැමති නැහැ ජනතාව ප්‍රතික්ෂේප කරපු පාලනයකට උදව් කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා තුනකදීම කිවුවා, ඒගොල්ලන්ගේ ණය සහන වැඩසටහන ඉස්සරහට යන්න නම්, ජනතා කැමැත්ත විමසන්න කියලා. එයාලට ජනවරමක් නැති බවට මාර්තු 10 වැනිදා සහතිකය අතට එනවා. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිදුවෙනවා. ප්‍රාදේශීය සභා, නගර සභාවලින් මේ ඉදිරියට තබන පියවර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලපෑම් ඇති කරනවා. ලංකා ඉතිහාසයේ මේ දූෂිත, විනාශකාරී පාලනයන්ට එරෙහිව ජනතාවගේ පාර්ලිමේන්තුවක්

ගොඩනැගෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය එනවා. එහිදී ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුවන දැවැන්තම පෙරළිය සිදුවෙනවා. මේ පෙරළියේ ආරම්භය මාර්තු මාසේ 09ට යෙදී තිබෙනවා. එදාට මාලිමාවට වැඩි බලයක්, ශක්තිමත් බලයක් ලබාදෙන්න.

දීර්ඝ කාලයක් කරපු මේ විනාශය ඇතිනේ. තෙල් ගෙන්වා ගන්න, කිරිපිටි, ගෑස්, ඉස්පිරිතාලෙට බෙහෙත් ගෙන්වා ගන්න බැරි, ඔපරේෂන් එකක් හරියට කර ගන්න බැරි, දරුවාගේ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ගන්න බැරි, දරුවාට ආහාර වේලක් දෙන්න බැරි, ගැබිණි මවට ආහාර වේලක් දෙන්න බැරි, නීතියේ විධානයේ ආධිපත්‍යය කඩා වැටුණු, කුඩු, මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වුණු රටක් අද ඉතිරිවෙලා. මෙහෙම රටක් මොකටද? දශක ගණනාවක ශේෂ පත්‍රය මේක. අපේ රටටත් රටේ ජනතාවටත් සිද්ධ වෙන්න ඕන සියලු‍ම විනාශයන් අද සිදුවී තිබෙනවා.

මේ විනාශයෙන් රට මුදා ගන්න ඕනෑ. මේ රට හදන්න පුළුවන්. තනි පුද්ගලයන්ට මොකුත්ම කරන්න බෑ. මේ රට ගොඩගන්න කණ්ඩායමක් ඉන්න ඕනෑ. මේ රටේ සෑම ක්ෂේත්‍රයක් පිළිබඳව දැනුම, අත්දැකීම්, ඥානය සහිත විශාලතම කණ්ඩායම ඉන්නෙ ජාතික ජන බලවේගයේ. කෘෂිකර්මාන්තය බැලු‍වොත් බාස්මතී සහල් සොයා ගත් සුමිත් මහතා අපේ ප්‍රතිපත්ති කමිටුවේ ඉන්නවා. දෙමුහුන් බීජ පිළිබඳ පර්යේෂණ කරලා, දෙමුහුන් බීජ සොයාගත් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඉතා වැදගත් කාර්යයක් කළ ආචාර්ය ධනපාල මහතා ඉන්නවා. මාපලාන කෘෂි විද්‍යා පීඨයේ කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය අබේවික්‍රම මහතා, ගොවි බිම් එක්ක ගැටෙන, ජනතාවගේ දුක, වේදනාව, හඳුනන නාමල්ලා, සරත්ලා වැනි ගොවි නායකයන්. ජාතික ජන බලවේගයේ ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ කළ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහෝදරයා, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසිංහ, අපේ නලින්ද ජයතිස්ස සහෝදරයා, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් තිබෙන, දැනුම, අත්දැකීම් සහිත විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හදන්න පුළුවන්. අධ්‍යාපනය ගත්තොත් ලෝකයේ අධ්‍යාපනය පිළිබඳ විවිධ හැදෑරිම් කළ, විවිධ පර්යේෂණවල යෙදුණු, විවිධ කෘතීන් සම්පාදනය කරන ලද, අධ්‍යාපනය පිළිබඳ සිදුවී ඇති පරිවර්තනයන් පිළිබඳ දීර්ඝ කාලයක් පුරා අදහස් ඉදිරිපත් කරන ලද විශාලතම කණ්ඩායම ජාතික ජන බලවේගයත් එක්ක ඉන්නවා. එහෙම අයගෙන් මේ රට හදන්න ඕනෑ.

අපෙන් ඇහුවා, “ආරක්ෂාව කොහොමද?” කියලා. මේ රටේ ආරක්ෂාව පිළිබඳව අත්දැකීම් තිබෙන, ඒ විෂයයන් හොඳින් හදාරා තිබෙන, නැගෙනහිර ආඥාපති ඇතුළු ඉතාමත් හොඳ කණ්ඩායමක් අපි මහරගමදී හමුවුණා. කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, විශාල කණ්ඩායමක් එකතු වුණු ව්‍යාපාරයක් මේක. අපේ අමාත්‍යාංශවල හිටපු හොඳම ලේකම්වරු ඉන්න ව්‍යාපාරයක්.

මිනිසුන් තෙතමනයක් සහිත වෙන්න ඕනෑ. මිනිසුන්ගේ ආධ්‍යාත්මය දියුණු වෙන්න ඕනෑ. අනෙකාත් එක්ක ලෙන්ගතුකම, ආදරය, සාමූහිකත්වය තිබෙන්න ඕනෑ. කවියක්, ගීතයක්, රසවිඳින, නාට්‍යයක් බලන තෙතමනයක් සහිත සමාජයක් අපට අවශ්‍යයි. එහෙම සමාජයක් හදන්න පුළුවන් කලාකරුවන්, ගායකයන, සාහිත්‍යවේදීන්, නිර්මාණකරුවන් දීපානි සහෝදරී, සරත් කුලාංග සහිත කණ්ඩායමක් මේ වේදිකාවේත් ඉන්නවා. මේ රට හදන්න පුළුවන්කම තිබෙන්නේ මෙවැනි කණ්ඩායම් සහිත පක්ෂෙකට විතරයි. තමුන්නාන්සේලා මාලිමාවට ඡන්දය දීලා බලයට පත්කරන්න. අපි රට හදන වැඩේ කරනවා.

ලෝකයේ දියුණුම සබඳතා ගොඩනැගිය හැකි වන්නේ ලංකාවේ කීර්තිය ලෝකය පුරා ඉහළ දැමීමෙන් විතරයි. ජාතික ජන බලවේගයේ අපි මේ රට ලෝකයේ කීර්තියෙන් බැබලෙන රටක් බවට ස්ථිර වශයෙන්ම පත්කරනවා. දූෂිතයන්ට දඬුවම් දෙන, දූෂිතයන්ගේ දේපළ පවරා ගන්න, නීතිය කාටත් සාධාරණ වන, කාන්තා

රැකවරණය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ලෝකයේ පිළිගන්නා රටක් බවට පරිවර්තනය කරනවා. මේ රට ගොඩනගන්න අපි ඔක්කෝම එකට වැඩ කරන්න ඕනෑ.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment