නීතිය දෙකට නැවූ ඉමදූව වීඩියෝ පටයේ ඇත්ත කතාව එළිවෙයි

1578

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් සංසරණය විය. ඒ පොලිස් නිලධාරියෙකු තම රාජකාරිය කිරීමට යෑමේදී බීමත් රියදුරකු විසින් එම පොලිස් නිලධාරියාට ඉහළ පොලිස් නිලධාරියකු ලවා තර්ජනය කර එම ස්ථානයෙන් බේරි යෑමේ සිද්ධියකි. එය සැකෙවින් මෙසේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුම අසල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රාජකාරියේ යෙදී සිටියහ. ඔවුන් එලෙස රාජකාරියේ යෙදී සිටින අතරතුර මෝටර් රථයක් පැමිණියේය. ඒ ගාල්ල ප‍්‍රදේශයට යෑම සඳහාය. පැමිණි මෝටර් රථය නතර කළ පොලිස් නිලධාරියකු රියදුරු බීමතින් සිටින බවට සැක සිතී මෙලෙස විමසුවේය.

”කොහෙද යන්නෙ මහත්තයා.”

”ගාල්ලට යනවා.”

”කොහේ ඉඳන්ද එන්නේ ඔබතුමා.”

” ඕඅයිසී මහත්තය එක්ක ඉඳලා එන්නේ.”

දෙඅත් සුක්කානමෙන් ඉවත් කර කර ඉතා උජාරුවෙන් ඔහු එලෙස පැවැසුවේය.

”බීලද එන්නේ.”

”ඔව් මම බීල එන්නේ. චම්ලි මහත්තයත් එක්ක ඉඳලා ආවේ.”

කිසිදු බියක් සැකක් නොමැතිව එම පුද්ගලයා පොලිස් නිලධාරියාට එලෙස පැවසුවේය.

”බීලා වාහන එළවන්න බෑනෙ මහත්තයෝ.”

පොලිස් නිලධාරියා එලෙස පැවසූ පසු ඔහු එය සත පහකටවත් ගණන් නොගෙන තම ජංගම දුරකථනය අතට ගෙන යම්කිසි පුද්ගලයකුට ඇමතුමක් ලබා ගත්තේය. එය දුටු පොලිස් නිලධාරියා යළි ඔහුගෙන් මෙලෙස විමසුවේය.

”කොහේ ඉඳලද බිව්වෙ”

”දැන්… මේ දැන් බීලා ඉවර වුණේ.”

එලෙස පැවසූ බීමත් රියදුරු තම දුරකථනය පොලිස් නිලධාරියා අතට දිගු කළේය. එවිට පොලිස් නිලධාරියා ”මට කාගෙවත් දුරකථන ඇමතුම් ගන්න බැහැ. ඕනනම් ස්පීකර් දාන්න” යැයි පවසා ඔහුගෙන් රියදුරු බලපත‍්‍ර ඉල්ලූවේය. ඒ සමගම දුරකථනය එහා කෙළවරෙන් යම්කිසි පුද්ගලයකු ”හෙලෝ” කියා පැවසුවේය. එවිට බීමත් පුද්ගලයා කොක් හඬලා සිනා සෙමින් ”මාව නැවැත්තුවා” යැයි පැවසුවේය. යළි අනෙක් අන්තයේ සිටි පුද්ගලයා ”කොහෙන්ද කියා” විමසුවේය.

”ඉමදුවෙන් චීෆ්… ඉමදුවෙන්…” බීමත් රියදුරු තවත් උජාරුවෙන් එලෙස පැවසුවේය. ඒ සමගම දුරකථනයේ අනෙක් අන්තයේ සිටි පුද්ගලයා තව මොන මොනවදෝ පැවසුවේය. ඉන්පසු එම බීමත් පුද්ගලයා රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියා වෙත ජංගම දුරකථනය දිගු කළේය. ස්පීකර් දමා තිබූ එම ජංගම දුරකථනය ලබාගත් පොලිස් නිලධාරියා

”හෙලෝ” කියා පැවසුවේය. ඒ සමගම අනෙක් අන්තයේ සිටි පුද්ගලයා

”කවුද?” කියා විමසුවේය.

”මම පියුමන්ත.”

”කවුරු කියලා හිතලා ද කතා කරන්නේ හු…”

”නැහැ සර් කියලා දන්නේ නැහැනේ.”

” ඕකා යවන්න.”

”සර්ගෙ යාළුවෙක්ද?”

”යවන්න කිව්වට පස්සේ යාළුවෙක්ද මොකෙක්ද කියලා වැඩක් නැහැනෙ.”

”හරි සර් හරි.”

නීතිය දෙකට නැවූ ඉමදූව වීඩියෝ පටයේ ඇත්ත කතාව එළිවෙයි

පොලිස් නිලධාරියා එලෙස පවසනවාත් සමගම දුරකතනය විසන්ධි විය. ඉන්පසු එම පොලිස් නිලධාරියා බීමත් රියදුරුට ”යන්න මහත්තයා” කියා පැවසුවේය. ඉන්පසු රටක් රාජ්‍යයක් දිනූ පුද්ගලයකු මෙන් බීමත් රියැදුරා එම ස්ථානයෙන් පිටව ගියේය. එලෙස යන අවස්ථාවේදී ඔහු එම පොලිස් නිලධාරියාට

”සර් හරි වැදගත් නිලධාරියෙක් යැයි” පැවසුවේය. බීමත් රියදුරු එහිදී සර් ලෙස හැඳින්වූයේ ඔහු සමඟ මත්පැන් පානය කළ ඕඅයිසී වයි. පසුව මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙය සිදුවී ඇත්තේ දැනට මාස කිහිපයකට ඉහත දී බවයි. එහිදී වැඩිදුරටත්

දැනගන්නට ලැබුණේ එම බීමත් රියදුරුට නීතිය ක‍්‍රියාත්මක කිරීමට නොදී එලෙස නිදහස් කර තිබුණේ ඉමදුව අධිවේගී මාර්ගයේ රථවාහන අංශයේ ස්ථානාධිපති චම්ලි නමැති අයෙකු බවයි.

මෙහිදී අපට ප‍්‍රධාන ගැටලූවක් මතුවේ. එනම් මෙම සිද්ධිය සිදුවී මාස කීපයකට පසු එම පොලිස් නිලධාරියා මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍යවලට මුදා හැරියේ ඇයිද යන්නයි. ඔහුට අවංකවම තම රාජකාරිය කිරීමට තම ඉහළ නිලධාරියා ඉඩ නොදුන්නේ නම් එදිනම ඔහු මෙම වීඩියෝ පටය එළියට දැමිය යුතුව තිබුණි. එසේ නොමැති නම් ඉහළ නිලධාරීන්ට තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තිබුණි. එහෙත් ඔහු එසේ සිදුකළේ නැත. අවංකව රාජකාරිය කළා නම් එම පොලිස් නිලධාරියා එලෙස නොකළේ ඇයි ද යන්න පිළිබඳව අපට මතුවන්නේ මහත් ගැටලූවකි. ඒ පිළිබඳව ද අපි සොයා බැලූවෙමු. එහිදී අනාවරණය වූයේ මෙවන් දෙයකි.

කලක සිට මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයා වී ඇත්තේ මෙම සිද්ධිය වීඩියෝ කළ පොලිස් කොස්තාපල්වරයා ය. සමහරු ඔහුව හඳුන්වා ඇත්තේ ” ඕඅයිසී මහත්තයාගේ පොඩි පුතා” යනුවෙනි. එතරම් කිට්ටු සම්බන්ධතාවයක් ස්ථානාධිපතිවරයා සහ ඔහු අතර තිබී ඇත. කලක් ගත වෙද්දී කිසියම් හේතුවක් මත එම සම්බන්ධතාවය බිඳ වැටී ඇත. එහිදී ස්ථානාධිපතිවරයා සහ මොහු අතර රාජකාරි අවස්ථාවේදී විවිධ ගැටුම් ඇති වී තිබේ. එයට පළිගැනීමක් වශයෙන් මෙම පොලිස් නිලධාරියා සැලසුම් සහගතව ඉහත වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව අනාවරණය වේ.

එහි සත්‍යතාවක් ඇති බව අපට ද හැෙඟ්. එයට ප‍්‍රධානම හේතුව වනුයේ එම පොලිස් නිලධාරියා බීමත් රියදුරු පදවන මෝටර් රථය පිවිසුම වෙත පැමිණෙන අයුරු දුරතියාම වීඩියෝ කර තිබීමයි. තවද ඔහු එලෙස මෝටර් රථය දුර තියාම වීඩියෝ කර ඇත්තේ එම පුද්ගලයා ස්ථානාධිපතිවරයා සමඟ බීමත්ව පැමිණි බව කල් තියාම දැන ගෙන සිටි නිසාය. ඒ අනුව ස්ථානාධිපතිවරයාගෙන් පළිගැනීම සඳහා එම පොලිස් නිලධාරියා මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවට සාක්ෂි තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයාගේ මත ගැටුම් අපට මෙහි දී අදාළ වන්නේම නැත. මෙම වීඩියෝ පටය නැරඹීමේදී අපට අවබෝධ වනුයේ පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකර ඇත්තේ විශාල වරදක් බවයි. කෙළින්ම ඔහු සිදු කර ඇත්තේ තම බීමත් මිතුරා නිදහස් කර ගැනීම සඳහා කිසිදු විළිලැජ්ජාවක් නොමැතිව නීතිය දෙකට නෑවීමයි. එලෙසම ඔහු තමා යටතේ සේවය කරන පොලිස් නිලධාරියාට පරුෂ වචනයෙන් පවා බැණ වැදුනේ නිල ඇඳුමේ ඇති ගරුත්වයත් නොසලකාය. ඉහළ නිලධාරීන් මේ පිළිබඳව අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් පවත්වා බීමත් රියැදුරාට පවා දඬුවමක් ලබාදිය යුතුය. ඒ සඳහා සාක්ෂි ද තිබේ.

තවත් පැවසිය යුතු කරුණක් තිබේ. පොලිස් නිලධාරීන් සමග විශේෂයෙන්ම ඉහළ තනතුරු දරන නිලධාරීන් සමග මත්පැන් පානය කරමින් නීතිය සත පහකටවත් ගණන් නොගෙන මෙලෙස හැසිරෙන පිරිස් බොහෝ සිටිති. ඔවුන්ව බේරා ගැනීම සඳහා සමහර පොලිස් නිලධාරීහු මේ ආකාරයෙන්ම කටයුතු කරති. එම නිසා එවැනි පොලිස් නිලධාරීන් අද සිටවත් නීතිය තමන්ගේ පෞද්ගලික දෙයක් නොව සැමට පොදු දෙයක් ලෙස තදින්ම අදිටන් කරගත යුතුය. එසේ නොවුණහොත් පොලිස් දෙපාර්තමේන්තුට ඇති ගෞරවය සහ විශ්වාසය ජනතාවගෙන් ගිලිහෙනු ඇත.

හිත මිතුරන් නිසා නීතිය දෙකට නවන මෙවැනි නිලධාරීන් අතර හිත මිතුරන්ට නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් ද කිහිපදෙනෙක් සිටිති. මේ එවැනි නිලධාරියකුගේ සිද්ධියකි. තරාතිරම නොබලා සැමට එක සේ නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන නිසා ඔහු මෙරට වැඩිම පොලිස් ස්ථානවල සේවය කළ නිලධාරියෙකි. දැනට වසර කිහිපයකට ඉහත දී මතුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් මොහු කටයුතු කරමින් සිටියේය. එලෙස මතුගම රාජකාරි කරන කාලය තුළ දිනක් එම ප‍්‍රදේශයේ රෝහලක ප‍්‍රධාන වෛද්‍යවරයා සමග මොහු මත්පැන් පානය කළේය. පැය කීපයක් ආගිය තොරතුරු කතා කරමින් මොවුන් දෙදෙනා මත්පැන් පානය කළහ. ඉන් අනතුරුව දෙදෙනා විසිර ගියහ. බීමතින් සිටි ස්ථානාධිපතිවරයා නිල කාමරයට පැමිණියේය. එලෙස පැමිණ පැමිණ සුළු වේලාවක් යන්නට මත්තෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ ඔහුගේ පොලිස් බල ප‍්‍රදේශය තුළ රාජකාරි කරමින් සිටි රථවාහන අංශයේ සැරයන්වරයකු ගෙනි. ඇමතුම ලබා ගත් එම සැරයන්වරයා ස්ථානාධිපතිවරයාට මෙලෙස පැවසුවේය.

”සර් බීමතින් රිය ධාවනය කළ ඩොක්ටර් කෙනෙක්ව අපි අත්අඩංගුවට ගත්තා. ඒ ඩොක්ටර් කියනවා දැන් සර් එක්කලූ බීලා ආවේ. ඒක නිසා අපි මොකද කරන්නේ.”

එය අසා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා තම සැරයන්වරයාට මෙලෙස පැවසුවේය.

”ඔව් ඩොක්ටර් කෙනෙක් දැන් ටිකකට කලින් මාත් එක්ක බිව්වා. එහෙම මාත් එක්ක බිව්වා කියලා බීමතින් රිය ධාවනය කරන්න බැහැනේ. ඕගොල්ලෝ වෙන අයට වගේම නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන්න එච්චරයි. අනිත් කාරණය තමයි ඔය වගේ දේවල් අහන්න ආයෙත් මට කෝල් කරන්න එපා.”

ස්ථානාධිපතිවරයා එලෙස පැවසූ පසු එම සැරයන්වරයා බීමතින් රිය ධාවනය කළ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන රැය පහන් වනතුරු පොලිසියේ රඳවා පසු දින කළ වරදට අධිකරණයට ඉදිරිපත් කළේය.

එකට මත්පැන් පානය කර තමාව පොලිස් අත්අඩංගුවට පත්වූ පසු බේරා නොගත් ස්ථානාධිපතිවරයා සමග උරණව සිටි එම වෛද්‍යවරයා දින කිහිපයකට පසු පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබාදී මෙලෙස පැවසුවේය.

”ඔයා නම් මාර එක්කෙනෙක්. අපි එකට බීල ආවේ. ඔයා මාව බේර ගත්තේ නෑහැ. පිට පොලිසියකින් නෙමෙයි ඇල්ලූවෙ ඔයාගෙම පොලිසියේ අය. ඒ මදිවට මගේ ලයිසන් එකත් මාස තුනකට තහනම් කළා.”

”ඉතින් ඩොක්ටර් මම කරපු වරද මොකක්ද.?”

”වරද මාව බේරගත්තේ නැති එක.”

”එහෙම කොහොමද මම ඔයාව බේර ගන්නෙ වරදක් කරලා තියෙද්දි.”

”ඇයි බේරගන්න බැරි ඔයානෙ පොලීසියේ ලොක්කා.”

”මම පොලිසියේ ලොක්කා තමයි. එහෙම කියලා වැරදි කරන අයව

බේරගන්න මට බැහැ. ඩොක්ටර් නොවෙයි මගේ අම්මයි තාත්තයි වරදක් කළත් මම නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරනවා. බලන්න එදා අපි බීලා මගේ රියදුරාට එන්න කියලා එයත් එක්ක මම ගියේ. ඩොක්ටර්ටත් එහෙම කරන්න තිබුනණේ. එහෙම කළේ නැහැනේ. එහෙම කළා නම් පොලිසි ගාණේ රස්තියාදු වෙවී උසාවි යන්න වෙන්නෙ නැහැනෙ. අනිත් කාරණය තමයි මාස තුනක් යනකම් ලයිසන් එක නැතුව වාහන පදින්න එපා. එහෙම වුණොත් ආයිත් අපිට ඩොක්ටර්ව අත්අඩංගුවට ගන්න වේවි.”

තමන් සමග එකට මත්පැන් පානය කළ වෛද්‍යවරයාට අකුරටම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස තම නිලධාරීන්ට උපදෙස් දුන් ස්ථානාධිපතිවරයා අවසානයේ පැවසුවේ එවැනි දෙයකි. මෙවැනි නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රටට ද වටිනා සම්පතකි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment