නීති විද්‍යාලයේ විදුහල්පති වරප්‍රසාද කමිටුවට කැඳවන්න

243

නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පසුගියදා වැඩි ඡන්දයෙන් පරාජය කර ස්වභාෂාවෙන් විභාගයට මුහුණ දීමට අවස්ථාව සැලසුවද නීති විද්‍යාලයේ විදුහල්පති තවමත් එම තීරණය ක්‍රියාත්මක කර නැතැයි පක්ෂ, විපක්ෂ මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) කියා සිටියහ.

එබැවින් වහාම එම විදුහල්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා කරුණු විමසන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමෙන් සිය වරප්‍රසාද කඩ වූ බවද පැවසූහ. ඊට අමතරව එම විදුහල්පතිවරයා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙස ඊයේ යෝජනාවක් සම්මත කර ගත් මැති ඇමැතිවරු එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම පිළිබඳව 27 /2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රශ්න කළහ. මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ සඳහන් කළේය- “අපි පසුගිය මස 21දා නීති අධ්‍යයන සභාවේ නීති රෙගුලාසියක් වැඩි ඡන්දයෙන් පරාජයට පත් කළා. ස්වභාෂා අයිතිය සම්බන්ධයෙන් තිබුණු තත්ත්වයක් ගැන තමයි අපි එහිදී අවධානය යොමු කළේ. එම අවලංගු කිරීම ගැන පාර්ලිමේන්තුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබෙනවා. හැබැයි ඊයේ වනවිටත් එම රෙගුලාසි අවලංගු කිරීම ගැන පියවර ගැනීම නීති අධ්‍යයන සභාව විසින් කර තිබුණේ නෑ. ඒ ගැන කිසිම දැනුම් දීමක් කරලාත් නෑ. මේක සම්මත කරලා සති දෙකක්. නීති ශිෂ්‍යයන්ට තවමත් ස්වභාෂාවෙන් විභාගයට පෙනී සිටීමට අවසරය ලැබිලාත් නෑ. අද නීති විද්‍යාලයේ අවුරුදු නිවාඩුව ආරම්භ වෙනවා. නැවත ආරම්භ කරන දිනයේදී තමයි විභාගය පැවැත්වෙන්නේ. අපි ගත් තීරණය ක්‍රියාත්මක නොකර පරාජයට පත් කරපු රෙගුලාසියක් මේ අය ඇයි තවමත් පරිශීලනය කරන්නේ? කරුණාකරලා මේ ගැන ඉක්මන් පියවරක් ගන්න. නැත්නම් ඒ දරුවන්ට අසාධාරණයක් වෙනවා.

වාසුදේව නානායක්කාර මහතා- මම එය වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස මතු කරනවා. මේ පාර්ලිමේන්තුව ගත් තීරණයක් අද ක්‍රියාත්මක නොකර සිටීමේ තත්ත්වයකට පත් කරලා තිබෙනවා. ඒ නිසා ඒ විදුහල්පති වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්න ඕනා.

ජයන්ත සමරවීර මහතා- අද පස්වරු එකට පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පැවැත්වෙනවා. නීති විද්‍යාලයේ විදුහල්පතිතුමාව ඒ සභාවට කැඳවා ගත්තොත් එම ස්ථානයේදීම මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

ඩිලාන් පෙරේරා මහතා- අපි සභාවක් එකතු වෙලා තීන්දුවක් ගත්තාම එම තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි කාගෙන්ද ඒ ගැන අහන්නේ?

කථානායක – ඒ වෙනුවෙන් අපි පියවර ගන්නම්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – මේ සභාව තමයි උත්තරීතරම. ඒ සභාව විසින් ගත් තීරණය තවමත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි අධිකරණ අමාත්‍යවරයාගෙනුත් මේ ගැන ඇහුවාම ඔහු එම තීරණය යවලා තිබෙනවා කිව්වා. ඒත් අපි ගත් තීරණය කුණු බක්කියට දාලා තිබෙනවා. මේ විභාගය ස්වභාෂාවෙන්ම පවත්වනවා වගේම එම විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන බව කලින් දැනුම් දීම නිසා ඉල්ලුම් නොකළ සිසුන්ටත් සාධාරණයක් ඉටු වෙන්න ඕනෑ. මේ අපි ගත්තු තීරණය ක්‍රියාත්මක නොවීම ගැන අදිසි හස්තයක් තිබෙනවාද කියලාත් සොයා බලන්න ඕනා.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා- පාර්ලිමේන්තුව හා සමාන වෙනත් උත්තරීතර ආයතනයක් නෑ. පාර්ලිමේන්තුව සම්මත කරපු දේ අධිකරණ අමාත්‍යාංශය හරහා නීති අධ්‍යයන ආයතනයට ගිහින් නීති විiාලයට ගිහින් එය ක්‍රියාත්මක විය යුතුයි. එම තීරණය ඒ විදිහට ගියාද කියලා බලලා අපිට තීරණයක් ගත හැකියි. එය ක්‍රියාත්මක නොකිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම වරප්‍රසාද කඩ වෙනවා. 113ක් මේකට ඡන්දය දුන්නා. තව සති දෙකක් පමණ විභාගයට තිබෙන නිසා මෙය විසඳගන්න පුළුවන්.

නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී පසුගිය මස 21දා වැඩි ඡන්ද 112කින් පරාජයට පත් විය. එම ගැසට් නිවේදනයට විරුද්ධව මන්ත්‍රීවරුන්ගෙන් ඡන්ද 113 ක් හිමි වූ අතර පක්ෂව ඡන්දය දුන්නේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment