නීති විරෝධී නිලධාරි පිරිසකගේ වුවමනාවට මත්තේගොඩ බෞද්ධ මන්දිරය මුරුත්තෙට්ටුවේ හිමිට පවරන්න යනවා

363

ප‍්‍රදේශවාසී ජනතාව හා මහා සංඝරත්නය විරෝධතාවක

වසර හතළිහක් පුරා බෞද්ධ සමිතියක් මගින් පාලනය වූ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි බෞද්ධ මන්දිරය සුළු පිරිසකගේ වුවමනාවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ප‍්‍රදේශයේ මහා සංඝරත්නය හා ජනතාව එක්ව ඊයේ (20 දා) දහවල් මත්තෙගොඩ බෞද්ධ මන්දිරය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

මෙම බෞද්ධ සමිතියේ නිලවරණය වාර්ෂිකව පැවැත්විය යුතු වුවත් වසර තුනක් යනතෙක් නිලවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් වත්මන් නිලධාරී මණ්ඩලයට එරෙහිව කැස්බෑව අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇති බව උද්ඝෝෂකයෝ පවසති.

නීති විරෝධී නිලධාරි පිරිසකගේ වුවමනාවට මත්තේගොඩ බෞද්ධ මන්දිරය මුරුත්තෙට්ටුවේ හිමිට පවරන්න යනවා

එවන් පසුබිමක නීති විරෝධී නිලධාරි මණ්ඩලයේ සුළු පිරිසකගේ වුවමනාවට ගෙන ඇති මෙම තීරණය වහා හකුලා ගන්නා ලෙසද ප‍්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටී.

එසේම මෙම ස්ථානය නිවාස සංවර්ධන අධිකාරිය හරහා බදු ඔප්පුවක් මගින් කොළඹ සරසවියේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමේ සූදානමක් ඇති බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා මැදිහත්වී වහාම මෙම ගැටලූව විසඳන ලෙසත් උද්ඝෝෂකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම බෞද්ධ මධ්‍යස්ථානය අංගසම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පත් කිරීමට හිටපු නිලධාරීන් කටයුතු කර ඇත්තේ බෞද්ධ සංගමය හරහා වන බැවින් ඉදිරියටත් බෞද්ධ සංගමය යටතේ මෙම ස්ථානය පාලනය කිරීමට ඉඩ සලසා දෙන ලෙස ද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති

එසේම වසර හතළිහක් තිස්සේ අවට විහාරස්ථානවල මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් මෙම ස්ථානයේ ආගමික සාමාජීය හා සංස්කෘතික කටයුතු සිදුකළ අතර ඉදිරියටත් එම වැඩපිළිවෙළට බාධා නොකොට බෞද්ධ සමිතිය හරහා පරිපාලනය පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස ප‍්‍රදේශය මහා සංඝරත්නය ඉල්ලා සිටි.

තවද වෙනත් ගමක ආගමික ස්ථානයක් භාර ගැනීමේදී අදාළ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීම සිදුකළ යුතු වුවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම ශාසනික සම්ප‍්‍රදාය කඩකරමින් මෙම ස්ථානයට ඇතුළුවීම බරපතළ කාරණාවක් බවද උඩුගහපත්තුව සල්පිටි කෝරළයේ ප‍්‍රධාන සංඝනායක රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේ විශ‍්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති මත්තේගොඩ ශ‍්‍රී පියරතනාරාමාධිපති පන්ගම්විලයායේ සෝරත නාහිමියෝ පැවැසූහ.

මෙම විරෝධතාව සඳහා ප‍්‍රදේශයේ විහාරස්ථාන රැසක මහා සංඝරත්නය හා ජනතාව විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් බෞද්ධ මන්දිරය ඉදිරිපිට දී පැය දෙකකට අධික කාලයක් විරෝධතාවයේ නියැලූණහ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ආගමික ස්ථානය අවට දැඩි රැකවල් යොදවා තිබෙනු දක්නට ලැබුණි.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment