නුවන් ගුණවර්ධන ජීවන ගීතය නිම කරයි

254

කිරි මුහුද වෙරළේ නැළවී තරංගා
කාගේද පිළිරූ අඳී..
ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ

දශක ගණනාවක් පුරා හෙළ ගී කෙත ගීතයෙන් පෝෂණය කළ නුවන් ගුණවර්ධන ප්‍රවිණ ගායන ශිල්පියා 08 දා සවස් යාමේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන යන අතරතුර සිය ජීවන ගීතය නිමා කළේය. 1949 මැයි 13 වැනිදා උපන් ඒ මහතා මියයන විට 73 වැනි වියේ පසු විය.

මහරගම බුවනෙක මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලද නුවන් ගුණවර්ධන මහතා පසුකලකදී ගුවන් ඉංජිනේරු විද්‍යාව හදාරා ශ්‍රී ලංකා ගුවන් සමගාමට එක්ව ඇත්තේ, ගුවන් යානා යාන්ත්‍රික ඉංජිනේරුවකු වශයෙනි. එහි වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඉන්දියාවේ ගත කළ කාලයේ හින්දි භාෂාව හැදෑරීමට ද අවස්ථාව සැලසී ඇත. පාසල් වියේ සිටම ගායන හැකියාව ලද නුවන් හින්දි ගීත ගායනයට මහත් රුචිකත්වයක් දැක්වූවෙකි. ඔහු සමග එකට සේවය කළ ඩෙරික් ද සිල්වා ගායන ශිල්පියාගේ මඟපෙන්වීම මත විවිධ ප්‍රසංග සඳහා හින්දි ගී ගැයීමට එක්වූ ඔහු පසුව හින්දි නුවන් නමින් ප්‍රකට විය. හින්දි ගීත කැසට් පට පමණක් හතළිහකට ආසන්න ප්‍රමාණයකට ඔහු විසින් ගී ගයා ඇත. පසුව 80 දශකයේදී කුලරත්න ආරියවංශ මහතා ලියූ ‘පාවී ගියා වේ ලඳේ මා ඔබේ’ ගීතය ගායනා කරමින් සිංහල ගීත ක්ෂේත්‍රයට එක්වූ ඔහු ගුවන්විදුලි සංස්ථාව් ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙකි.

ඔහු ගැයූ ජනප්‍රිය ගීත අතර ‘කඳුළින්ම ගැයූ පෙම් ගීතේ’, ‘පවනක් සේ ඔබ’, ‘කිරි මුහුදේ වෙරළේ’ ආදී ගීත රැසක්ම විය. එච්. ආර්. ජෝතිපාලයන්ගේ අභාවයෙන් පසුව, ‘ඇර සොයිසා’ චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට එක්වූ ඔහු චිත්‍රපට 66 කට පමණ ගීත 300 කට ආසන්න ප්‍රමාණයක් ගායනා කර ඇත. මේ වනවිට ඒ මහතාගේ දේහය ඔහු පදිචිව සිටි මහරගම, පතිරගොඩ, නාලන්දාරාම පාරේ අංක 92 දරන නිවසේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (11 දා) සවස 6 ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.

දෙදරු පියකු වූ ඒ මහතාගේ පුත් ගයාන් ගුණවර්ධන ද ගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් තම පියා ගිය ගී මංපෙත ඉදිරියට ගෙන යන්නට වෙර දරන නව පරපුරේ ගායන වේදියෙකි.

සටහන – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment