නුවරඑළියෙන් එළියට එන සංචාරක කර්මාන්තයේ අනතුර

1445

දුම්රියවල ආසන වෙන් කරගෙන කෝටිපතියන්ටත් ගමන් බිමන් යන්න බෑ…
නුවරඑළියේ ත්‍රිරෝදකරුවෝ, කෑම කඩකාරයෝ සංචාරකයන්ව හූරගෙන කනවා…
ග්‍රෙගරි වැවේ සවාරි යන බෝට්ටුවලට ගහන්නේ අමුතු තෙලක්…
සංචාරක ආකර්ෂණීය ස්ථාන කිසිදු නඩත්තුවක් නෑ…

මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි නුවරඑළිය මෙරට සුවිශේෂී නගරයකි. එමෙන්ම මුහුදු මට්ටමේ සිට මීටර් 1868 ක් උසින් පිහිටි නුවරඑළිය සීතල දේශගුණයක් පවතින රමණීය ප්‍රදේශයකි. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක දහසයකි. ජනවාරි සිට මාර්තු කාලයේදී හිමිදිරියට මල් තුහින වහින තරමට සීතලය. එම කාලසීමාවේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරට වඩා අඩුවන දවස් ද බොහෝය. එහෙයින් නුවරඑළිය පුංචි එංගලන්තය යනුවෙන් ද හඳුන්වති. කඳු මුදුන්වලින් කඩා හැළෙන මහ දියඇලි, විසල් තේ වතු, එළවළු වගා බිම්, මල්, පලතුරුවලින් පෝෂිත නුවරඑළිය දෙස්, විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බව ද සැබෑය. එහෙයින් නිවාඩු දිනවල නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙති. දැන් අප සිටිනුයේ ද නුවරඑළියට යන ගමන්ය. කොළඹ – කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියේය.

කන්ද උඩරට, දුම්රියේ ගමන අතිශය සුන්දරය. පහත රට සිට ක්‍රමයෙන් ඉහළට නඟින දුම්රිය කළුවර බිංගෙවල් අතරින් ධාවනය වෙමින් තේ ගස්වලින් පිරුණු කඳු වටා ගමන් කරන විට මැවෙන චමත්කාරය හරිම අපූරුය. නිල්ලෙන් සුදිළෙන හාත්පස නෙත ගැටෙන විට ගමන් විඩාව දුරු වෙන බව සැබෑය. එහෙත් කොළඹ සිට නානුඔයට ආසන වෙන් කරගැනීමට අය කරන දුම්රිය ගාස්තු මතකයට නැගෙනවිට හදවත පිච්චිනි. ආසන වෙන් කිරීමේ ගාස්තු කොළඹ – කොටුව සිට බදුල්ල පළමු පන්තිය රුපියල් පන්දහසකි. දෙවැනි පන්තිය රුපියල් හාරදහසකි. තෙවැනි පන්තිය රුපියල් තුන්දහසකි. මවුපිය දෙපළට සහ පුංචි දරුවන් දෙදෙනකුට ආසන වෙන් කරගෙන කොළඹ සිට බදුල්ලට දුම්රියේ තුන්වැනි පන්තියේ ගමන් කිරීමට රුපියල් දොළොස්දහසකි. යන්න එන්න විසිහතරදහසකි. එම පෙට්ටිය තුළ සැප පහසුවට ඇත්තේ ආසනවලට මගීන් සීමාවීම පමණි. ඒ හැර වෙනත් කිසිම සැපක් නැත. එහෙත් නුවරඑළිය වැනි දුර ගමනක් යෑමට කල් තියා ආසන වෙන් කර නොගන්න සාමාන්‍ය දුම්රිය මැදිරිවල ගමන් කිරීම ගමනාන්තයෙන් බහින විට විනෝද සවාරිය කරුමයක් සේ දැනේ. මගීන් අතර තෙරපෙමින්, යකඩ පෙට්ටියක් තුළ තැම්බෙමින් පැය හතකට ආසන්න කාලයක් ගමන් කිරීම පහසු කාර්යක් නොවේ. එමෙන්ම ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ සාමාන්‍ය ජනතාවට පෞද්ගලික වාහනයක විනෝද ගමනක් යෑම ද විශාල වියදමකි. ආසන වෙන් කරගෙන දුම්රියෙන් නුවරඑළිය, බදුල්ලට යෑම ඊටත් වඩා වියදමකි. එහෙයින් දිනෙන්, දින වැඩිවන ජීවන වියදමෙන් මිරිකෙමින් සිටින ජනතාවගේ ආතතිය දුරුකර ගැනීමට විනෝද ගමනක් හෝ යෑමට දැන් අවස්ථාවක් නැත. අවම වියදමකින් ගමන්, බිමන් යෑමට දැන් මෙරට පොදු ප්‍රවාහනයක් ද නැත.

එමෙන්ම නුවරඑළියේ ත්‍රිරෝද රථකරුවන් ද ‘කපුටන්’ වැනිය. ඔව්හු සංචාරකයන් හූරාගෙනම කති. ත්‍රිරෝද රථවල මීටර් නැත. ගමනට ගාස්තු නියම කරනුයේ මගීන්ගේ මූණ බලාය. කිලෝ මීටරයක දුර යෑමටත් ඇතැම් ත්‍රිරෝද රථකරුවන් රුපියල් තුන්සිය, තුන්සිය පනහ ඉල්ලති. මගතොට හරි හැටි නොදත් අසරණ සංචාරකයෝ ඒ මිල ගෙවා ගමන් බිමන් යති. නුවරඑළියේ කෑමවල මිල ද ත්‍රිරෝද රථ ගාස්තු පරදන තරම් ය. එළවළු තුනක්, මාළු කෑල්ලක් සහිත බත් එකක් රුපියල් පන්සියට වැඩිය. එතැනින් එහා කෑමවල මිල ගැන කතා කිරීම බඩ, පපුව පිච්චීමකි. බස් නැවතුමේ පෙට්ටි කඩේ සිට සුපිරි අවන්හල දක්වා එකදු කෑම කඩයකවත් සාධාරණ වෙළෙඳාමක් නැත. නුවරඑළියේ මාර්කට්ටුව, රසකැවිළි, පලතුරු කඩ පේළියත් ඊට නොදැවෙනිය. කළු කඩ නොව ලේ උරා බොන මාපිලන් වැනිය. එළවළු හැදෙන නුවරඑළියේ මාර්කට්ටුවෙත් එළවළු මිල කොළඹ සුපිරි වෙළෙඳසැල්වල මිලට සමානය.

නුවරඑළියෙන් එළියට එන සංචාරක කර්මාන්තයේ අනතුර

හිත ඉල්ලන කෑම කෑවොත් නුවරඑළිය තිත්ත වන හෙයින් වතුර බෝතල් දෙකක් රැගෙන නගරය මැද වික්ටෝරියා උද්‍යානයට අපි ඇතුළු වීමු. 1987 වර්ෂයේදී වික්ටෝරියා රැජිනගේ දියමන්ති සංවත්සරය සිහිවීම වස් එම උද්‍යානය ‘වික්ටෝරියා උද්‍යානය’ ලෙස නම් කර තිබේ. මියුරු සංගීතයක් බඳු කුරුළු ගීත සවන්පත් ප්‍රමුදිත කළ ද සිත කම්පනයට පත් වූයේ උද්‍යානය පුරා තැන, තැන කුණු ගොඩ ගැසී තිබෙන අයුරු දකින විටය. මුඛ ආවරණ, ෂොපින් බෑග් හුළඟට පාවෙන අයුරු දකින විටය. හෝරාවකට වැඩි කාලයක් උද්‍යානය තුළ සංචාරය කළ ද එකඳු පිරිසිදු කරන කම්කරුවෙක් ඇස නොගැටිණි. කිසිදු නඩත්තුවක් නොමැති වික්ටෝරියා උද්‍යානයේ පිළිවෙළට කෙරෙනුයේ ඇතුළුවීමේ ප්‍රවේශ පත්‍ර ලබාදීම පමණි. වික්ටෝරියා උද්‍යානය තුළ කාලය ගත කිරීමෙන් හිතට සතුටක් නැති බැවින් ග්‍රෙගරි වැව දෙසට අපි ගියෙමු. මල් පිපී හිනහෙන වැව් තාවුල්ලෙ තණ බිස්සෙ මම ඇළ වුණෙමි. මන්දාරම් අහස යට ගතට, සිතට දැනෙන සනීපය පුදුමාකාරය. කඳු මුදුන් වසාගත් මීදුම් සළු ඉරී, මැහෙන නුවරඑළිය සුන්දර පරිසරයේ චමත්කාරය සිත් පුරා විඳගැනීමට නම් සවස් කාලයක ග්‍රෙගරි වැව අසළට යා යුතුමය. එහෙත් පෝනියො පැදීම, වැවේ බෝට්ටු සවාරි යෑම සාමාන්‍ය සංචාරකයන්ට නොහැකිය. පුංචි ග්‍රෙගරි වැව වටේ බෝට්ටු සවාරියක් යෑමට අය කරන ගාස්තුව රුපියල් දෙදහස් පන්සීයකි. බෝට්ටුවේ ගමන විනාඩි පහළොවකට වැඩි නැත.

“මේ බෝට්ටුවලට දාන ඉන්ධනවලට රත්තරං කුඩු එකතු කරනවා ඇති. එහෙම නැතිව මෙච්චර මිල වෙන්න බෑ…” දරුවන් දෙදෙනාගේ පෙරත්ත කිරීම මත බෝට්ටු සවාරියක් යන්න සූදානම් වන පියෙක්, බිරිඳට එසේ කියනවා මට ඇසිණි. වැව අයිනෙ බෝට්ටු පේළියකි. තුන්සියකට ආසන්නය. ඇතැම් බෝට්ටු මඟීන් ගෙන යෑමට නොහැකි තරමට පරණය. එහෙත් විනෝද වීමට එන මිනිස්සු බෝට්ටු සවාරි යති. වැව් දියේ වැඩ දාන බෝට්ටු දෙස බලා සිටි අපි පෝනියෙක් පිට යෑමට තණ පිටිය දෙසට ගියෙමු. ලොකු, කුඩා පෝනියො එමටය. එහෙත් උන් පිට යෑම පහසු නැත. ඒ පළපුරුද්දක් නැති නිසා නොව, මිල අධික නිසාය. එක් අයකුට පෝනියෙක් පිට රවුමක් යෑමට රුපියල් හත්සිය පනහකි.

“මල්ලි පෝනියන්ගේ පස්ස පැත්තට පෙට්‍රල් ගහනවද? අපි ගෙදර ගිහින් හරකෙක් පිට යනවා…” මගේ මිත්‍රයා එසේ කියා සිනා සීය. පෝනියො පැදීමත් අපි සිතින් ඉවත් කර ගත්තෙමු. ඉඳිකටුවලින් අනින තරමට සීතල ගතට දැනෙමින් තිබුණු නිසා නවාතැන් පොළක් සොයා ගියෙමු. සීතල නුවරඑළියේ උණුසුමට නිදාගැනීමට පහසුකම් සහිත කාමරයක මිල රුපියල් දසදහසක් පමණ වේ. එහෙත් පසුගිය කාලයේදී නුවරඑළියේ සංචාරක කර්මාන්තයේ විශාල කඩා වැටීමත් සමඟ හෝටල් කාමර ගාස්තු 50% කින් පමණ අඩු කර තිබිණි. එහෙයින් කාමර ප්‍රශ්නය පහසුවෙන් අපි විසඳා ගත්තෙමු.

නවාතැන්පළ වටා අර්තාපල්, කැරට්, ලීස් පුංචි වගා බිම්ය. ලීස් ගස් සරුවට වැඩෙන අයුරු පෙනේ. අර්තාපල්, කැරට් වගාව තවම ළදරු වයසේය. යුරෝපයේ හැදෙන බොහෝ එළවළු වර්ග නුවරඑළියේ වගා කළ හැකිය. එමෙන්ම මල් වර්ග හාරසියක් නුවරඑළිය භූමියේ පහසුවෙන් වගා කළ හැකි බව ද වාර්තා වේ. එළවළු, මල්, ස්ටෝබෙරි, පෙයාස් වතුවල අසිරිය මැදින් නුවරඑළියේ ශීතල දේශගුණය විඳින අතරේ සංචාරකයන් නැරඹිය යුතුම ඓතිහාසික මෙන්ම සුන්දර ස්ථාන බොහොමයකි. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළුවීමට ඇති ප්‍රධාන නගරය නුවරඑළියයි. හෝර්ටන්තැන්න වන ලැහැබ සහිත සුන්දර වනජීවී කලාපයකි. දිවියා, ගෝනා, කළු වඳුරන් ඇතුළු සත්ත්ව විශේෂ කිහිපයක්ම පහසුවෙන් දැකබලාගනිමින් බේකර්ස් ඇල්ලත්, ලෝකාන්තයත් නැරඹිය හැකි පරිසර පද්ධතියකි. එමෙන්ම මීටර් තිහක් පමණ උසින් කඩා හැළෙන ලවර්ස් ලීප් ඇල්ල නුවරඑළිය සුන්දර කරන මුතු වැලක් වැනිය. නුවරඑළිය, බදුල්ල මාර්ගයේ හක්ගල උද්භීත උද්‍යානයට ඇතුළුවීමට පෙර ‘සීතා අම්මාන් හින්දු කෝවිල’ වන්දනා කරගත හැකිය. රාමායන කතාවේ කියැවෙන ආකාරයට රාවණා රජු විසින් සීතා දේවිය පැහැරගෙනැවිත් සඟවා තබා ඇත්තේ මේ කෝවිල පිහිටි භූමියේය. සීතා අම්මාන් කෝවිල පිහිටි ප්‍රදේශය අදට ද හඳුන්වනුයේ සීතාඑළිය ලෙසය.

එමෙන්ම 1894 වර්ෂයේ ඉදිකොට ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය ද මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාලවලින් එකකි. සංචාරකයන්ට විවෘත නොවුණ ද ගොල්ෆ් පිටිය කෙලවරේ පිහිටා ඇති විලියම් රොජර්ස් සොහොන ද විශේෂ ස්ථානයකි. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු වූ මේජර් විලියම් රොජර්ස්ගේ සොහොන් කොතය. එමෙන්ම අර්තාපල්, කැරට්, ලීස්, ගෝවා වගා බිම් බහුල විසල් තේ වතු අතර පිහිටි සඳතැන්න නුවරඑළියේ රමණීය ප්‍රදේශයකි. මෙරට උසම කන්ද පිදුරුතලාගල කඳු මුදුන ඇතුළුව මෙරට උසම කඳු දහයෙන් නවයක්ම හොඳින් දර්ශනය වන ප්‍රදේශයකි. මෑත කාලයේදී සංචාරකයන්ගේ ආකර්ෂණීයම ස්ථානයක් බවට පත් වී ඇති පුංචි ලෝකාන්තය පිහිටා ඇත්තේ ද සඳතැන්නේය. එවැනි සංචාරක ආකර්ෂණීය ස්ථාන සියයකට වැඩි ප්‍රමාණයක් නුවරඑළියේ පිහිටා ඇති බව ද වාර්තා වේ. පැය හතරක් තුළ දියඇලි විසිඑකක් නැරඹිය හැකි, දකුණු ආසියාවේ දීර්ඝතම දියඇලි සංචාරයේ යෙදිය හැකි වන්නේ ද නුවරඑළියේදීය. එහෙත් එම ස්ථාන බොහෝමයක් ගැන සංචාරකයන් දැනුවත් නැත. සංචාරකයන් නිතර ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන කිහිපයත් හරිහැටි නඩත්තු නොවන බව අපට පෙනිණි. එමෙන්ම හතු පිපෙන තරමට ‘ස්පා ගුබ්බෑයම්’ විවෘතව තිබෙන බව ද පෙනේ. තෙල් පෝලිම් පැවැති කාලයේදී ස්පා ගුබ්බෑයම්වලට රෑ, දවල් ඉවරයක් නැති තරමට වැඩ තිබුණු බව ද වාර්තා වේ. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ඇති කළ යුතු නුවරඑළියේ ස්පා ගුබ්බෑයම් විවෘතවීම නගරය අවලස්සන වීමක් බව ද සැබෑය. එමෙන්ම නුවරඑළියේ සංචාරක කර්මාන්තයේ විශාල කඩා වැටීමක් සිදුව ඇති බව හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ද අප සමඟ පැවසුවේය.

නුවරඑළියෙන් එළියට එන සංචාරක කර්මාන්තයේ අනතුර

“සහරාන්ගේ පහරදීමත් එක්ක මෙරට සංචාරක කර්මාන්තය බින්දුවටම වැටුණා. ඊට සාපේක්‍ෂව නුවරඑළියේ සංචාරක කර්මාන්තයත් වැටුණා. කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය එක්ක දැන් අවුරුදු තුනක් සුපුරුදු විදිහට සංචාරකයො එන්නේ නෑ. තවම 30% ක්වත් නුවරඑළියට සංචාරකයො එන්නේ නෑ. තරු පන්තියේ හෝටල් ඇතුළුව සාමාන්‍ය ලැඟුම්හල් එක්දහස් දෙසීයක් විතර නුවරඑළියේ තිබුණා. මේ වෙනකොට තරු පන්තියේ හෝටල් කිහිපයක් සම්පූර්ණයෙන්ම වැහිලා ගිහින්. කුඩා පරිමාණයේ හෝටල් විශාල ප්‍රමාණයක් වැහිලා. ඒ හෝටල්වල සේවය කරපු විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙලා තියෙනවා. විවෘත හෝටල්වල සේවකයන්ටත් තවම ගෙවන්නේ වැටුපෙන් බාගයයි. ඒ වගේම නුවරඑළියේ ආකර්ෂණීය බව විශාල වශයෙන් අඩුවෙලා තියෙනවා. සංචාරක ආකර්ෂණීය ස්ථාන හරිහැටි නඩත්තු වෙන්නේ නෑ. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ප්‍රවර්ධනය කරන්න නුවරඑළියේ බලධාරීන්ට කිසිදු වැඩපිළිවෙළක් නෑ. සංචාරකයන්ට ඇවිත් නොදන්නා දෙයක් විමසන්න තිබුණු නුවරඑළිය නගර සභාවේ තොරතුරු මධ්‍යස්ථානයත් මේ වෙනකොට වහල දාලා. සංචාරකයන්ට නුවරඑළියට පැමිණෙන්න පොදු ප්‍රවාහන සේවය විධිමත් නෑ. ආසන වෙන් කරගත හැකි දුම්රිය මැදිරිවල ගාස්තු ඉතා අධිකයි. එවැනි අධික මිලකට කෝච්චි පෙට්ටි වෙන් කරගෙන නුවරඑළිය එන්න කෝටිපතියොත් කැමැති වෙන්නෙ නෑ. ඒ වගේම දුම්රිය ආසන වෙන් කරගැනීමට මගීන්ට මාස ගණන් බලාගෙන ඉන්න වෙලා තියෙනවා. නුවරඑළියේ සංචාරක කර්මාන්තය කඩා වැටීමට පරිපාලන දුර්වලතා විශාල පිටිවහලක් වෙලා තියෙනවා…” මහින්ද දොඩම්පේගමගේ ඇත්ත ඇති සැටියෙන් දකින ජනතා නායකයෙකි. එවැනි ජනතා සේවකයන්ට පවතින මජර දේශපාලනය තුළ ඉඩක් නැතිවීම රටේ සාපයකි.

එමෙන්ම නුවරඑළියේ සාමාන්‍ය වෙළෙන්දාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ජනතා හිතවාදී සහනදායී ප්‍රතිපත්තියක් නොමැතිවීම ද නුවරඑළියේ සංචාරක කර්මාන්තය කඩා වැටීමට ප්‍රබල සාධකයක් බව අපට වැටහිණි. එහෙයින් සංචාරකයන්ගේ රීරි මාංශ උරා බොන යක්ෂ විමානය වෙනස් නොකරන්න නුවරඑළියේ සංචාරක කර්මාන්තය විදේශීය සංචාරකයන්ට කෙසේ වෙතත් දේශීය සංචාරකයන්ට නම් තිත්ත වනු නිසැකය. එමෙන්ම සීතලට මුළුගැන්වී සිටින සංචාරක කර්මාන්තයේ බලධාරීන් ද නුවරඑළියේ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ඇති කිරීමට නැවුම් වැඩපිළිවෙළක් සමඟ කඩිනමින් ප්‍රවිෂ්ට විය යුතුය. සංචාරක ආකර්ෂණීය ස්ථානවලට පහසුවෙන් ගමන් කළ හැකි නෙත් පිනවන ආකාරයට එම ස්ථාන සංවර්ධනය කළ යුතුය. එසේ නොවෙන්න පුංචි එංගලන්තය නිකම්ම නිකං වගා බිමක් පමණක් වනු නිසැකය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment