නුවරඑළියේ එළවළු ගොවීන් පොස්පරස් හා පොටෑසියම් අවශ්‍යතාව ඉක්මවා පසට යොදලා

280

පාරිසරික විගණනයෙන් හෙළිවෙයි….

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එළවළු ගොවීන් විසින් සිය එළවළු වගාව සඳහා උපරිම පොස්පරස් හා පොටෑසියම් අවශ්‍යතාවය ඉක්මවා පසට යොදා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති පාරිසර විගණන වාර්තාවක සඳහන් වේ.

භෝග ස්ථාපනයේ දී මූල පද්ධතියේ වර්ධනය සඳහා යොදනු ලබන පොස්පරස් පෝෂණය සීමා රහිතව යොදා ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබුණි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එළවළු වගාව සම්බන්ධයෙන් පාංශු සාම්පල් 162ක පවතින රසායනාගාර වාර්තා පරීක්ෂාවේ දි තිබිය යුතු අවම පොස්පරස් ප‍්‍රමාණය සහිතවූ නියැදි සංඛ්‍යාව 03ක් වු අතර ඉතිරි නියැදි 159ම උපරිම ප‍්‍රමාණය ඉක්මවා තිබුණි. එමෙන්ම නියැදි 159ට අදාළ පොටැසියම් තත්වයන් පරීක්ෂා කිරීමේ දී එම සංගුණකයේ අගය 160ට වැඩි පොටැසියම් පෝෂණ ප‍්‍රමාණයක් සහිත පාංශු නියැදි සංඛ්‍යාව 73ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ අනුව නුවරඑළිය දිස්ත‍්‍රික්කය තුළ ඉතා ඉහළ ප‍්‍රමාණයකින් පොටැසියම් සංයෝගය භාවිතා වී තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

පංශු ස්ථරයක තිබිය යුතු උපරිම පොටෑසියම් හා පොස්පරස් අවශ්‍යතාව ඉක්මවා යෑම තුළ පාංශු ස්ථරයේ ගුණාත්මක භාවයේ අසමතුලිතතාවක් ඇතිවීමත් හිතකර ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනයටත් බාධාවක් ඇතිවිය හැකි බවද විගණන වාර්තාවේ සඳහන්ව ඇත. පස සෝදායෑම තුළින් ජලයේ පවතින සුපෝෂණ තත්වයන් බිඳහෙළීම සඳහා මෙවැනි තත්වයන් සෘජුවම බලපාන බවට නිරීක්ෂණය වන බවද විගණනයේ දී අනාවරණය කොට ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment