නුවරඑළියේ දර කැඞීමට ගොස් අතුරුදන් වූ තරුණිය දින පහක්ම නිරාහාරව ඉඳලා… රාති‍්‍ර කාලයේ එක තැනකට වී සිටියා තරුණිය කියයි

493

සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඞීමට ගොස් අතුරුදන්ව සිටි 26 හැවිරිදි තරුණිය දින පහකට පසු නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ අතරමංව සිටිය දී සොයාගත් බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙසේ සොයාගනු ලැබුවේ නුවරඑළිය වත්ත පහළ කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නමැති (26* හැවිරිදි තරුණියයි. අතුරුදන්ව සිටි තරුණිය ඉකුත් 5 වැනිදා සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයට දර සෙවීමට ගිය අවස්ථාවේ තරුණිය රක්ෂිතය තුළ අතුරුදන් වීමෙන් අනතුරුව නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින් හා පොලිසියේ නිලධාරින් සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් දින පහක් තිස්සේ පැය 96 ක් අතුරුදන් තරුණිය සොයා මෙහෙයුම් දියත් කර තිබුණි.

මෙහෙයුම දියත් කර තිබූ යුද හමුදා නිලධාරීන් විසින් රක්ෂිතය අසල ගම්මානවල පදිංචිකරුවන්ද දැනුවත් කර තිබීම හේතුවෙන් එම තරුණිය සොයා (09* දින නුවරඑළිය ශාන්තිපුර ප‍්‍රදේශවාසීන් නුවරඑලිය කිකිලියාමාන රක්ෂිතයේ දවස පුරා සිදු කළ මෙහෙයුමකදී එම තරුණිය රක්ෂිතය තුළ කෑගසමින් සිට ඇත. එහිදී එම තරුණිය රක්ෂිතයෙන් පිටතට ගෙන ඒමට නුවරඑළිය ශාන්තිපුර ගම්වාසින් කටයුතු කර ඇත.

දින ගණනාවක් නිරාහාරව කුසගින්නේ සිට ඇති එම තරුණියට ගම්වාසින් විසින් ආහාරපාන ලබාදී පසුව නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින්ට සහ නුවරඑළිය පොලිසියේ නිලධාරින්ට භාර දී ඇත. අතුරුදහන්ව සිටි තරුණිය කියා සිටින්නේ ඩන්සිනන් රක්ෂිතයේ මව සමග දර කැඞීමට ගිය අවස්ථාවේ සිය මව මග හැරුණු බවත්, ඉන් අනතුරුව රක්ෂිතයේ මාර්ග කිහිපයක ගමන් කර තමන් අතරමං වූ බවයි. රාත‍්‍රි කාලයේ එක තැනකට වී සිටි බව එම තරුණිය කියා තිබේ. තරුණිය අතුරුදහන් වු ඩන්සිනන් රක්ෂිතයේ සිට තරුණිය හමු වූ නුවරඑළිය ශාන්තිපුර කිකිලියාමාන රක්ෂිතයට කිලෝමීටර් හයක පමණ දුරකින් යුක්ත බවද මෙහෙයුම දියත් කළ යුද හමුදා නිලධාරීන් කියා සිටියි. රක්ෂිතයේ අතරමංව සිට සොයාගත් තරුණිය නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment