නුවර අවසන් රන්දෝලි පෙරහැර නිමවෙයි

300

දහවල් පෙරහැර අද

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (11 වැනිදා) රාත්‍රී වීදි සංචාරය කළෙය.

පස්වරු හය පසුවී මිනිත්තු තිස්පහට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව ඇසළ පෙරහැර වීදි සංචාරය ආරම්භය සිදුවිණි.

නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින් පිටත් වූ ඇසළ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජවීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව කරා ගෙවැදිණි.

අනතුරුව ඊයේ රාත්‍රී 12.58ට වයඹ දිශාභිමුඛව යළි දළදා වීදියෙන් පිටත්ව මහ පෙරහැර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර සිරිත් ප්‍රකාරව සධාතුක පෙරහැර කරඬුව අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ විහාරස්ථානයේ තැම්පත් කිරීම සිදුකරන ලදී.

එහිදී සිව් මහා දේවාල පෙරහැර සිය දේවාලයන් වෙත ගොස් පුද පූජා පවත්වා කටුකැලේ දිය කපනා ගං තොටට පැමිණ එහිදී සිරිත් ප්‍රකාරව දිය කැපීමේ මංගල්‍ය සිදුකෙරේ.

පසුව අද (12 දා) පස්වරු 1.30ට අස්ගිරිය ගෙඩිගේ විහාරස්ථානයේ පිටත්වන සධාතුක පෙරහැර කරඬුව රැගත් දහවල් පෙරහැර ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදියෙන් ගමන් කර රජවීදියෙන් හැරී දළදා මාලිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කර පස්වරු 03ට උතුරු දිශාභිමුඛව දළදා මන්දිරය වෙත ගෙවැදීම සිදුවේ.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව නිමා වූ බව සඳහන් සන්දේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද පස්වරුවේ මහනුවර ජනපති මැඳුරේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර පෙරේදා (10දා) වීදි සංචාරය කළ අතර සධාතුක පෙරහැර කරඬුව වැඩම කරන ලද්දේ ඉන්දිරාජා ඇතු විසිනි. දෑල ඇතුන් වශයෙන් ගමන් ගත්තේ මියන්රාජා හා බුරුම රාජා ඇතුන්ය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා නියෝජනය කරමින් මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතා පෙරේදා (10 වැනිදා) පෙරහැර ගමනට එක්විය.

ඡායාරූප – පුන්සිත් අත්තනායක
සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්ති වීරසේකර,

advertistmentadvertistment
advertistmentadvertistment