නුවර පාරේ ගනේතැන්නේදී ලංගම – පෞද්ගලික බස් ගැටුමෙන් එක් අයෙක් මරුට

136

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ දී ඊයේ (07දා) දහවල් එකට පමණ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 59 හැවිරිදි පුද්ගලයකු එම ස්ථානයේ දීම මරණයට පත්ව 28 දෙනකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ මීගමුවේ සිට මහනුවර බලා ධාවනයේ යෙදුණු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයකි.

අනතුරින් මරණයට පත්ව ඇත්තේ අමරසිංහ පතිරණගේ වසන්ත අමරසිංහ නමැති ඉහලදොලහේන,බෝතලගම පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

මරණයට පත්ව ඇති පුද්ගලයා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිය දියණිය සමග මීගමුවේ සිට ගමන් ගත් බස් රථයෙන් පේරාදෙණියට යමින් සිටිය දී අනතුරට ලක්ව ඇති බවත් බවත් පොලිසිය පවසයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර තුවාලකරුවෝ මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලස්සන කළුආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.

අරණායක – රෝහණ ජයරත්න සහ මාවනැල්ල ජයන්ත සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment