නුවර පෙරහැර බලන්න පැමිණි දරුවෙක් අතුරුදන්!

222

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවැනි කුඹල් පෙරහැර දින (3 වැනිදා) රාත්‍රියේ මහනුවර ඔරලෝසු කණුව අසලදී වයස අවුරුදු 9ක පිරිමි ළමයකු අතුරුදන්ව ඇති සිද්ධියක් වාර්තා වේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ මයිලපිටියේ පදිංචිව සිටි බී. ජී. අමිල අබිමන් නමැති දරුවෙකි. ඔහු තම මව සමග පෙරහැර නැරඹීමට පැමිණ ඇත.

මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසල බුලත් තට්ටුවක් දමා සිටින මිත්තණිය අසල සිටියදී පෙරේදා තුන් වැනිදා රාත්‍රී දහයට පමණ මෙම දරුවා අතුරුදන්ව තිබේ. තම පුතුගේ අතුරුදන් වීම දන්වමින් මව වන අනෝමා දිල්රුක්ෂි නමැත්තිය එදින රාත්‍රී 11.30ට පමණ මහනුවර පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

අතුරුදන් වූ දරුවාගේ මව අනෝමා දිල්රුක්ෂි මහනුවර මහ නගර සභාවේ කම්කරු සේවිකාවක ලෙස සේවය කරන අතර 3 වැනිදා පෙරවරුවේ ඇය රාජකාරියට පැමිණෙන අවස්ථාවේ සිය පුතු ද කැටුව මහනුවරට පැමිණ තිබේ. දෙවෙනි කුඹල් පෙරහැර නැරඹීමට පුතුට අවශ්‍ය බව පැවසූ බැවින් පුතු මහනුවර නගරයට කැටුව ආ බවත් ඇයගේ රාජකාරිය නිම වන තෙක් දහවල් වරුවේ මිත්තනිය අසල පුතු රඳවා තැබූ බවත් මව පවසා තිබේ.

රාත්‍රියේ පෙරහැර නැරඹීමෙන් අනතුරුව ද නැවත මිත්තනිය අසල පුතු රඳවා සේවය අවසන් කිරීමේ අත්සන තැබීමට මහනුවර මහ නගර සභාවට ගොස් පැමිණෙන විට පුතු අතුරුදන්ව ඇති බවත් ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත. අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment