නූතන දූ පුතුන්ගේ පරම්පරාව, “පඹයන්” නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කළා… ඩලස්ගෙන් ජනාධිපතිවරයාට සංදේශයක්

319

අතිගරු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය.
ගරු ජනාධිපතිතුමනි,

අප ආසන්න ඉතිහාසයේ දරුණු ම ආර්ථික සහ දේශපාලන අර්බුදය ඉදිරිපිට මා ඔබතුමන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ වගකීම් සහගත පුරවැසියකු වශයෙනි. එමෙන්ම, හැටනව ලක්ෂයක ඓතිහාසික ජනවරම අපයෝජනය කිරීමට දායක නොවූ ජනතා නියෝජිතයකු ලෙසිනි. ගෙවුණු පැයේදී මෙන්ම එළඹෙන පැයේදී ද අප සපථ කළ අරමුණු වෙනුවෙන් ඕනෑම කැපකිරීමකට හෝ අත්හැරීමකට සූදානම් මානව හිතවාදියකු ලෙසිනි.

මීට වසර දෙකකට ඉහත දී ජනතාව අප පිළිබඳව තැබූ විශ්වාසය ඉතා බරපතළ ලෙස නායයමින් තිබෙන බව මෙන්ම, එසේ වීමට කේන්ද්‍රීය හේතූන් කුමක් දැයි අප අවංකවම හඳුනාගත යුතුව ඇත. අප දේශපාලන දිවිය තුළ මුහුණපා සිටින බරපතළම ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ වත්මන, අප ද වගකිව යුතු පසුගිය දශක හතරක (4) රාජ්‍ය පාලනයන් විසින් අනුගමනය කරනු ලැබූ අතාර්කික, අදූරදර්ශී මෙන්ම ඇතැම්විට අනීතික ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අවසන් ප්‍රතිඵලය ලෙසිනි. එම අවිචාරවත් රාජ්‍ය මූල්‍ය පිරිහීමට අමතරව කොවිඩ් වසංගතය විසින් සමස්ත රාජ්‍ය දේහයම ඔත්පල කොට පුරවැසියන් අපේක්‍ෂාභංගත්වයේ මාවතකට යොමුකර ඇත.

මෙවැනි අවිද්‍යාත්මක කළමනාකරණයක් විසින් බරපතළ ඛේදවාචකයකට ඇද දමා තිබූ අප ආර්ථිකය යථාවත් කිරීමේ අසීරු අභියෝගය භාරගත් ගරු අලි සබ්‍රි ඇමැතිතුමාට ද නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිතුමා ප්‍රමුඛ සියලු නිලධාරීන්ට ද පුරවැසියන්ගේ බුහුමන නොසඟවා හිමිකළ යුතුය. අනෙක් කේන්ද්‍රගත කරුණ වනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පූජනීය පරමාර්ථවලට සහ ආකෘතීන්ට පිටුපා නාභිගත කුඩා පුද්ගල කණ්ඩායමක් විසින් සිදුකළ ආණ්ඩුකරණය බව සක්සුදක් සේ පැහැදිලි ය. වර්තමානය විසින් ඔප්පු කරමින් සිටින්නේ මෙම සරල සත්‍යයයි.

අවසානයේ රට බුන්වත් වී ඇති බව අප නිල වශයෙන් පිළිගෙන ඇත. ඔඩු දිවූ ආර්ථික අර්බුදය, අද වනවිට දරුණු දේශපාලන අභියෝගයක් ලෙස ඔබතුමන්ගේ මෙන්ම පක්‍ෂ, විපක්‍ෂ සියලු මහජන නියෝජිතයන්ගේ දෙපා අභියස කඳවුරු බැඳ තිබේ. මෙවැනි තාර්කික අර්බුද හමුවේ අදූරදර්ශී සහ අපරිණත තීරණ ගැනීම්වලින් සම්පූර්ණයෙන්ම බැහැර විය යුතු බවට දේශපාලන සමාජයේ සිටින අති බහුතරයක් වෙතින් විශාල බලපෑමක් එල්ලවී තිබේ.

අස්වනු නෙළාගත් පසු ගොවියෝ නිවෙස් බලා යන අතර, පඹයෝ ගොවිබිම් මත ඉතිරි වෙති. පසුගිය දශක ගණනාවක විවිධ රාජ්‍ය පාලනයන් විසින් ඡන්දදායකයා හමුවේ ඉතිහාසය පුරා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලාංකේය දේශපාලන යථාර්ථය මෙය නොවේ ද? විවිධ හේතූන් මත බොහෝ දෙනා ඉතිහාසයේ එලෙස නිසොල්මන් වුව ද අද අප නූතන දූ පුතුන්ගේ පරම්පරාව, “පඹයන්” නොවන බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී.

එසේම, බලය ලබා ගැනීම සඳහා අසීමිතව කැපවීම් කළ අහිංසක මහජනතාව මෙන්ම ඒ සඳහා යාන්ත්‍රණය සැකසූ ඈත එපිට ශාඛා සංවිධානයේ සිට පළාත් පාලන ආයතන නියෝජිතයන් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් දක්වාම වෙහෙසුනු, කැපවීම් කළ බොහෝ නායකයන්ට ගෝත්‍රික දේශපාලන හිංසනයන්ට මුහුණ දීම හැර අන් ගෞරවයක් හිමි නොවීය. එම නිසාම, ආණ්ඩුවේ මතවාදයන්ට සුජාතභාවයක් හිමි නොවිණි.

විධායක ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ බහුතර ආණ්ඩු බලය යන අතිශයින්ම වැදගත් මහජන වගකීම්, මෙවැනි තීරණාත්මක අවස්ථාවක ආරක්‍ෂා කළ යුත්තේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් යටතේ බැව් ගෞරවයෙන් යෝජනා කරමි. එසේ නොකොට, දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැඳී සිටීමේ නග්න අපේක්‍ෂාව පෙරදැරිව සිදුකරන ගතානුගතික මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මගින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක්ම බව අවධාරණය කරන්නෙමි.

ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයක් සහිත අභියෝගයන් ලුහුබැඳිය හැකි කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ඔබතුමන් විසින් ගනු ලැබූ තීරණය පැසසිය යුතු නමුදු එයද පමා වූ විසඳුම් ගොන්නට එකතු වී හමාරය. එමනිසා, අප අප්‍රමාදව කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හැකි සෑම පක්ෂයකම නියෝජනයකින් අවංක එකඟතාවයක් සහිත සංඛ්‍යාත්මකව කුඩා කැබිනට් මණ්ඩලයක් උපරිම වශයෙන් වසරක කාලසීමාවක් සඳහා පත්කර ගැනීමයි. රටේ ස්වෛරීභාවය සහ ජාතික සමගිය සඳහා ස්ථාවර පදනමක් සකස් කර ගැනීම මෙන්ම පොදු එකඟතාවයකින් රටේ ආර්ථික සහ දේශපාලන න්‍යායපත්‍ර සකස් කර ගැනීම සහ නිශ්චිත කාල වකවානුවක් තුළ එය සාර්ථක කර ගැනීමේ අභියෝගය, යෝජිත එම පාලනයේ ප්‍රමුඛතම අරමුණ විය යුතුය.

ඒ අනුව, ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්, ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අඳෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදුකළ යුත්තේ ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරිකරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජයගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීමයි. එම කැපවීමට මෙරට ඉතිහාසයේ සුවිශේෂී ගෞරවයක් ලැබෙනු නිසැකය. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බව අවම වශයෙන් මේ දැවෙන තත්පරයේදී හෝ අප අවබෝධ කරගත යුතුව තිබේ.

ගරු ජනාධිපතිතුමනි, මෙවැනි අභියෝගාත්මක දේශපාලන තීන්දුවක් වෙත ප්‍රවේශ වීමේ දී ආණ්ඩු පක්‍ෂය මෙන්ම විපක්ෂයේ වගකීම් විරහිත හැසිරීම ද සමාජය තේරුම්ගෙන තිබේ. වගකීම් විරහිත ආණ්ඩුවක මෙන්ම වගකීම් විරහිත විපක්‍ෂයක සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ අති බහුතරය සූදානම් නොමැති බව මාගේ ආසන්න අත්දැකීමයි. 225 පිළිබඳව දිස්වෙන සංඛ්‍යා හරඹ කුමක් වුව ද එය දේශපාලන යථාර්ථයයි. ජනතාවගේ හෘදසාක්ෂිය සමඟ නියෝජිතයන්ගේ හෘදසාක්ෂිය සමපාතව දියවන්නාව සමීපයට පැමිණෙමින් සිටින බව අප සියලු දෙනා නොපමාව තේරුම් ගත යුතුව ඇත.

එබැවින් මෙම අර්බුදජනක අවස්ථාවේදී මහජනතාවත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකෘතියත් රැකගනිමින් රටේ ආර්ථික සහ දේශපාලන පදනම යළි පිහිටුවීම සඳහා ගතයුතු නිවැරැදි ම හා දූරදර්ශී ම තීරණ ගැනීමට අප පසුබට නොවිය යුතුය.

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ගේ මෙන්ම මාගේ ද පාසල් මෑණියන්ගෙන් අප හට දායාද වූ උද්ධෘත පාඨය උතුම් බුදු වදනකි. “අප්පමාදෝ අමත පදං” මෙම තීරණාත්මක මොහොතේ දී අප අප්‍රමාදව කටයුතු කරනු ඇතැයි යන්න පොදු මහජනතාවගේ නොතිත් අභිලාෂයයි.

ඩලස් අලහප්පෙරුම,
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment