නෙට්බෝල් සංචිතයේ – ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් සංචිතය හැර යති

493

ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් දෙදෙනකු නෙට්බෝල් සම්මේලනය වෙත ලිපියක් යොමු කරමින් සංචිතයේ පුහුණු කටයුතුවලින් ඉවත්ව ගොස් ඇත. හසිතා හා දීපිකා යන ක්‍රීඩිකාවන් දෙදෙනා මෙසේ සංචිතයෙන් ඉවත්ව ගොස් ඇත්තේ බණ්ඩාරගම පැවැත්වෙන පුහුණුවීම්වලට සහභාගී වීමේදී ඇති වන ගමනාගමන අපහසුතා හා නෙට්බෝල් සංචිතයේ තේරීම් කටයුතු ප්‍රමාද වීම සිහිපත් කරමිනි.

 මේ ක්‍රීඩිකාවන් දෙදෙනා අවසන් වරට සංචිතයේ පුහුණුවීම් සඳහා පැමිණි දිනයේදී පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ මහත්මිය උදයවරුවේ පුහුණුවීම් කටයුතුවලට එක් කර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති අතර, එම සිදුවීමත් සමඟ ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ඉවත් වීම සිදුව තිබේ.

 මේ අතර ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලන කවුන්සිල රැස්වීමේදී ජ්‍යෙෂ්ඨයන්ට එරෙහිව හඬ අවදි කිරීමේ චෝදනාව යටතේ හයසින්ත් විජේසිංහ මහත්මියට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය අවවාදාත්මක ලිපියක් යොමු කර ඇත. ඉදිරියේදී ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරමින් ආදර්ශවත්ව හැසිරෙන ලෙස එම ලිපිය මඟින් දැනුම්දී ඇතැයි වාර්තා වේ.

 පසුගියදා පැවති නෙට්බෝල් සම්මේලන කවුන්සිල රැස්වීමේදී හිටපු සභාපතිනී ටි්‍රක්සි නානායක්කාර මහත්මිය හා ජාතික පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් නිසි ලෙස පුහුණු කටයුතුවලට සහභාගී නොවීම බහින් බස්වීමට හේතු පාදක විය. ආසියා නෙට්බෝල් ශූරතාවලියට සූදානම් වන ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවන් නිසි ලෙස පුහුණු කටයුතුවලට සහභාගී නොවීම පිටුපස ටි්‍රක්සි නානායක්කාර මහත්මිය සිටින බවට හයසින්ත් විජේසිංහ මහත්මිය කවුන්සිල රැස්වීමේදී චෝදනා කළාය.

 ජාතික පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ මහත්මියට අදාළ ලිපිය ලියාපදිංචි තැපෑලෙන් එවන ලදැයි වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment