නෙදර්ලන්තයේ සිට  තැපෑලෙන් ආ රෙදිපිළි  පාර්සලයේ කෝටි 13ක මත්ද්‍රව්‍ය

127

නෙදර්ලන්තයේ සිට මෙරටට එවන ලද පාර්සලයක තිබී රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් (136,400,000)ක් පමණ වටිනා මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (21වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පාර්සලයේ තිබූ රෙදිපිළි ඇඳ ඇතිරිලි 07 ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණු මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 13,640 ක් පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

පසුගිය දිනක නෙදර්ලන්තයේ සිට තැපැල් මගින් මෙරටට එවන ලද සැක සහිත පාර්සලයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්, එම පාර්සලය නිෂ්කාශනය කිරීම සඳහා ලැබුම්කරු ඉදිරිපත් නොවූ බැවින්, ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් එම සැක සහිත පාර්සලය පරීක්ෂා කිරීමේදී මෙම මත් පෙති තොගය අත්අඩංගුවට ගත් බවත් සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අනගි සහයෝගයක් ලබා දුන් අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දෙනු ලැබූ බවත් සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රභාත් විතාන සහ කටුනායක ටී.කේ.ජී කපිල

advertistmentadvertistment
advertistmentadvertistment