නෙළුම් කුලුන  ජනතාවට 15 දා අරියි

525

ප්‍රවේශ පත්‍රය රු. 500 – 2000

විදේශිකයන්ගෙන් ඩොලර් 20ක් අය කරයි

රු. 2000 ටිකට් එකට ඕනෑ තරම් කුලුනේ උඩ පහළ යා හැකියි

රු.500 ටිකට් එකකට එක වතාවයි

ඉදිරියේදී ටිකට් වෙනුවෙන් QR කේතයක්

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන “නෙළුම් කුලුනේ” මෙහෙයුම් කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” කටයුතු යොදා ඇත.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් 2012 වසරේ දී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි 28 වැනි දින ඉදිකිරීම් අවසන් කරමින් එය ලංකා රජයට භාර දෙන ලදී. මේ සඳහා චීන සමාගම විසින් එක්සත් ජනපද ඩොලර් 88.65ක් ලබාදී ඇති අතර ඉතිරිය ශ්‍රී ලංකා රජය විසින් යොදා තිබේ. මෙහි ණය වාරික ගෙවීම් 2024 වර්ෂය වනවිට අවසන් කිරීමට නියමිතය. ණයවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 66.3936ක් මේ වනවිටත් ගෙවා අවසන්ය.

කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම මහා භාණ්ඩාගාරය යටතේ මේ වසරේ මාර්තු මාසයේදී ස්ථාපිත කළ සමාගමක් වන අතර, එහි සියලු ගනුදෙනු විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් විගණනය කෙරේ.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමග ඕනෑම අයකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකිය. ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු වේ.

රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයකුට පෝලිම්වල රැඳී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුව ද කුලුනේ ඉහළට යා හැකිය. රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයකුට කුලුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණි. ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට ූඍ කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාවට බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළෙඳසැල්වල අත්දැකීම ලබාගත හැකි අතර, ප්‍රසිද්ධ වාණිජ බැංකු කිහිපයක් ද බිම් මහලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන අතර ඩිජිටල් සිනමා ශාලාවක් ද මෙහි පවතී. ජනතාවගේ හා සමාගම්වල ඉල්ලීම් මත වර්ග අඩි වශයෙන් කුලී පදනම මත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගෙන තිබේ. තුන්වන මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විත අතර එහි 400කට පමණ එකවර පහසුකම් සලසා ඇත. විවෘත මහල නොයෙක් විනෝදාස්වාද කටයුතු සඳහා ලබාගත හැකි වන අයුරුන් නිර්මාණය කර තිබේ.

නෙළුම් පොහොට්ටුවක හැඩයේ පළමු මහලේ 400කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් පවතින අතර ඉන් ඉහළ මහල කැරකෙන අවන්හලකින් සමන්විතය. ඉහළම නැරඹුම් මැදිරයේදී “කොළඹ අහස යට’ නවමු අත්දැකීමක් විඳගැනීමට හැකියාව පවතී.

ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපාන තුනක් නෙළුම් කුලුන සතු අතර, එය ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වී තිබේ.
 

advertistmentadvertistment
advertistmentadvertistment