නේටෝවේ යුක්රේන සිහිනය දැක ලංකාවට ආ නූලන්ඩ්

490

පසුගිය බදාදා උදෑසන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීමෙන් පසුව, සන්ධ්‍යාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තවත් සුවිශේෂ හමුවක් සඳහා අවස්ථාව උදාවී තිබුණි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව දෙස, මෙරට වැඩිමනත් ජනතාවගේ අවධානය යොමුව නොතිබුණ ද ජාත්‍යන්තරයම පාහේ ඒ දෙසට අවධානය යොමු කර තිබුණේ, රුසියන් – යුක්රේන් ගැටුම සමග වික්ටෝරියා නූලන්ඩ් මහත්මියට තිබෙන සම්බන්ධය නිසාය.

බයිඩන් පාලනය පැමිණ වහාම විචාරකයන්ගේ මතය වූයේ, සීතල යුද්ධය නැවත වටයකින් ආරම්භ වන බවය. වචනයක් ලෙස එය සීතල වුවද, එසේ ආරම්භ වන්නේ තුන් වන ලෝක යුද්ධය වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව ද මේ විචාරකයෝ අවධාරණය කර සිටියහ. ඒ සඳහා පදනම සැකසෙන්නේ, එක්සත් ජනපදය නව මූලෝපායන් සමගය. ග‍්‍රීසියේ ඇතන්ස් නගරයේ උපන් රොබට් කනන්ගේ පියා යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳව මහාචාර්යවරයෙකි. සිය පියාගේ ලිතුවේනියානු යුදෙව් සම්භවය හේතුවෙන් කනගි ද අත්‍යන්තයෙන්ම යුදෙව්වාදී හැඩරුවක් සහිත ඇමෙරිකානු පුරවැසියකු බවට පත්ව තිබුණි. ඩිමොක‍්‍රටික් මෙන්ම රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයන්ගේ විදේශ ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා ප‍්‍රමුඛත්වය ගත් කනගි, 2008 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ජෝන් මැකේන්ගේ විදේශ ප‍්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කළේය. 2011 සිට, රාජ්‍ය ලේකම්වරුන් වන හිලරි ක්ලින්ටන් සහ ජෝන් කේරී යටතේ සාමාජිකයන් 25 දෙනකුගෙන් යුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ කටයුතු ප‍්‍රතිපත්ති මණ්ඩලයේ ද සේවය කළේය.

පසුව කොන්සර්වේටිව් පක්ෂයේ විදේශ ප‍්‍රතිපත්ති න්‍යායාචාර්ය ලෙස කනගි සිය සේවය ආරම්භ කළේය. ලිබරල්වාදය අද මුහුණ දෙන විශාලතම ‘අභියෝගය’ වන්නේ රුසියාව සහ චීනය බව සඳහන් කරන ලද කනගි, ‘ලොව පුරා ලිබරල් දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා, ලිබරල් බටහිරයන්, දරන උත්සාහය රුසියාව සහ චීනය පිළිගන්නේ නැත.’ අවාසනාවකට මෙන්, අද ලිබරල්වාදය මුහුණ දෙන එකම අභියෝගය අල්-කයිඩා නොවේ. එය චීනය සහ රුසියාවය’ යනුවෙන් තර්ක කළ කනගි, ඇමෙරිකානු ආධිපත්‍ය යළි ගොඩනැඟීම සඳහා වන නව දශකයේ සැලසුම නිර්මාණය කරන ලද පුද්ගලයා ලෙස සැලකේ. නිබඳවම ඔහුගේ තර්කනය වී තිබෙන්නේ, නව ඇමෙරිකානු නායකත්වය සඳහා උපාය මාර්ග යෝජනා කිරීමය. ඇමෙරිකාව නායකත්වය දිය යුත්තේ ඇයි? යන ශීර්ෂයෙන් කනගි, සිදු කරන ලද රචනය ඒ සඳහා ඇති හොඳම උදාහරණය වේ.

”දෙවන ලෝක සංග‍්‍රාමයෙන් ඉක්බිතිව නිර්මාණය වූ ලිබරල් ලෝක පර්යාය අද විවිධ බලවේග විසින් – බලවත් ඒකාධිපති ආණ්ඩු සහ ලිබරල් විරෝධී මූලධර්මවාදී ව්‍යාපාර මෙන්ම

ගෝලීය ආර්ථිකයේ දිගුකාලීන මාරුවීම් මගින් අභියෝගයට ලක්ව ඇත. මහා බල තරගය නැවත පැමිණ ඇත.

යුරෝපයේ, රුසියාව දෙවන ලෝක යුද්ධයෙන් පසු අසල්වැසි රටකට පළමු දේශසීමා ආක‍්‍රමණය දියත් කර ඇත. නැඟෙනහිර ආසියාවේ, චීනය එම තීරණාත්මක කලාපය අස්ථාවර කිරීමේ අවදානමක් යටතේ ආර්ථික හා මූලෝපායික ආධිපත්‍යය යන දෙකම සොයමින් මිලිටරි බලවතකු ලෙස එහි ව්‍යාප්තිය පුළුල් කරයි. මැදපෙරදිග, ඉරානය සිය බලපෑම පුළුල් කරන අතර ඉස්ලාමීය ජිහාඩ්වාදීන් වැඩි භූමි ප‍්‍රදේශයක පාලනය ලබාගෙන ඇත.

මෙම කැලඹීම හමුවේ, බොහෝ ඇමෙරිකානුවන්ට ප‍්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදයට කළ හැකි හෝ කළ යුතු යමක් තිබේ දැයි සැක පහළ වී තිබේ. බොහෝ අය උපකල්පනය කරන්නේ ඇමෙරිකාවේ වෙරළෙන් ඔබ්බට කුමක් සිදු වුවද එය එතරම් වැදගත් නොවන බවයි, නැතහොත් සිදුවීම් හැඩගස්වා ගැනීමට සහ අන්‍යයන් කැමති දේ කිරීමෙන් වළක්වා ගැනීමට එක්සත් ජනපදයට තවදුරටත් ප‍්‍රඥාව හෝ හැකියාවක් නොමැති බවය.

වසර හතකට පෙර, සමහර විචාරකයන් ‘පශ්චාත්-ඇමෙරිකානු ලෝකයක්’ ගැන කතා කරමින් සිටි අතර, එක්සත් ජනපදය පිරිහෙමින් පවතින අතර කැපී පෙනෙන, අනිකුත් රටවල් නැඟීම, වර්ණනා කළේය. වසර හතකට පෙර, පණ්ඩිතයන් ‘පශ්චාත් – ඇමෙරිකානු ලෝකයක්’

ගැන කතා කරමින් සිටියේ එක්සත් ජනපදය පිරිහෙමින් පවතින අතර කැපී පෙනෙන ‘ඉතිරි රටවල නැඟීමක්’ පිළිබඳව ඔවුන් ඉඟි කළේය. මහා අවපාතයෙන් ඇමෙරිකාව සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වී ඇති අතර, වරක් ප‍්‍රකාශ කරන ලද පරිදි ”සෙස්න්ගේ නැඟීම’’ ඇනහිට ඇත. වරක් ඇමෙරිකානු විදේශ මැදිහත්වීම ‘ආධිපත්‍යවාදී’ ලෙස හෙළා දුටු ලොව පුරා බොහෝ දෙනෙක් දැන් ජාත්‍යන්තර කටයුතු සඳහා වැඩි වැඩියෙන් ඇමෙරිකානු මැදිහත්වීමක් අපේක්ෂා කරති.’ යනුවෙන් ලියන ලද කනගි පිළිබඳව මෙහිදී මූලිකව සාකච්ඡා කරන ලද්දේ, මේ ලිපියේ කතා නායිකාව වන වික්ටෝරියා නූලන්ඩ් සඳහා පදනම ලිවිය හැක්කේ, කනගි පිළිබඳව සඳහන් කිරීමෙනි. එක්සත් ජනපදයේ වඩා බලවත්ම පුද්ගල ලැයිස්තුවේ පනස් වෙනි ස්ථානය සඳහා දෙදෙනෙක් තේරී පත්ව සිටියහ. ඒ රොබට් කගන් සහ වික්ටෝරියා නූලන්ඩ් යුවළය. වික්ටෝරියාගේ සැමියා වන කනගි අඹු සැමි යුවළකට එහා ගිය දේශපාලන යුවළකි. ඔවුන්ගේ පේ‍්‍රමය බැදී ඇත්තේ එක්සත් ජනපද ව්‍යාප්තවාදය සමගිනි. මේ නිසා හරි හරියට දේශපාලනයෙන් ද පෑහෙන මෙම යුවළ නව එක්සත් ජනපද ව්‍යාප්තවාදයේ බල කණු ලෙස හදුනාගත හැකිය.

දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ධුරය සඳහා ජනාධිපති බයිඩන්ගේ තේරීම වූයේ, නූලන්ඩ්ය. 2003 සිට 2005 දක්වා ඉරාකය වෙත දියත් කරන ලද එක්සත් ජනපද මිලිටරි ආක‍්‍රමණයේදී, බුෂ් පාලනයේ යටතේ, ඩික් චෙනීගේ විදේශ ප‍්‍රතිපත්ති උපදේශකයකු වූයේ, වික්ටෝරියා නූලන්ඩ්ය.

වික්ටෝරියා නූලන්ඩ් 1961 ජූලි 1 වන දින නිව්යෝර්ක් හි උපත ලැබීය. ඇගේ ආච්චි සහ සීයා ජීවත් වූයේ අතීතයේ ඔඩෙස්සා ලෙස හැ`දින්වූ යුක්රේනයට අයත් වූ ප‍්‍රදේශකය. 20 වන සියවස ආරම්භයේදී රුසියාව මෙම ප‍්‍රදේශයට එල්ල කරන ලද ප‍්‍රහාර හේතුවෙන් ඇයගේ, මුල් පවුල, ඇමෙරිකාවට සංක‍්‍රමණය විය. වික්ටෝරියා නුලන්ඩ්, රුසියානු භාෂාව මව් බසට සමානව කතා කරනුයේ මේ හේතුව නිසාය. එසේම ඇය ප‍්‍රංශ භාෂාව සහ චීන භාෂාවද චතුරව කතා කරන්නීය.

නූලන්ඩ්ගේ පියා හැදී වැඩුණේ එක්සත් ජනපදයේ ය. ඔහු යේල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහු වෛද්‍ය ඉතිහාසය ඉගැන්වීය. වික්ටෝරියා පවුලේ සිව්වන දරුවාය. ජෝන් එෆ් කෙනඩි ද අධ්‍යාපනය ලැබූ කෙන්ටගී හී ප‍්‍රභූ දරුවන් ඉගෙනීම ලැබූ, පාසලක නූලන්ඩ් සිය ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබුවාය.

සිය උසස් අධ්‍යාපනයෙන් පසුව, නූලන්ඩ් සිය රාජ්‍යතාන්ත‍්‍රික ජීවිතය චීනයෙන් ආරම්භ කළාය. පසුව ඇය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ස්ථිර රැකියාව සඳහා මාරු විය. එහිදී ඇය, නැගෙනහිර ආසියාවේ සහ පැසිෆික් කලාපයේ රටවල් අධීක්ෂණය කළාය. 1988 සිට 1993 දක්වා වික්ටෝරියා, එක්සත් ජනපද – රුසියාව සබඳතා සඳහා සම්බන්ධ වූවාය. ඇය රුසියානු සමූහාණ්ඩුවේ පළමු ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ රජය සමඟ සමීපව කටයුතු කළ අතර දෙරට අතර සහයෝගිතාව පිළිබඳ තීරණ ගණනාවකට බලපෑම් කිරීමට ඇයට එහිදී අවස්ථාව උදාවිය. 90 දශකයේ මැද භාගයේදී යුක්රේනයේ, බෙලාරුස් සහ කසකස්තානයේ න්‍යෂ්ටික අවි විනාශ කිරීම සම්බන්යෙන්, වගකිව යුතු කාර්යයක් විදේශ ප‍්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකාරක ලෙස නූලන්ඩ් කටයුතු කළාය. බොස්නියාව සහ කොසෝවෝ සම්බන්ධයෙන් වන ප‍්‍රතිපත්ති සඳහා ද නූලන්ඩ් සිය රාජ්‍ය වෙනුවෙන් වගකිව යුතු කාර්යක් ඉටු කළාය. 1990 දශකයේ අගභාගයේදී කොකේසස් කලාපීය කටයුතු සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුව භාරව සිටියේ නූලන්ඩ්ය. පසුව ඇය විදේශ සබඳතා පිළිබඳ කවුන්සිලයේ සේවය කළ අතර, වික්ටෝරියාගේ විශේෂීකරණ විෂය බවට මේ කාලයේදී පත්වන්නේ, නේටෝ දේශසීමා පුළුල් කිරීමේ ක‍්‍රියාකාරකම්ය. එක්සත් ජනපදයට විරුද්ධ වූ බලවේගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඇය මේ සෑම අවස්ථාවකදීම ප‍්‍රමුඛත්වය ලබා දුන්නාය. පසුව නූලන්ඩ් නේටෝවේ එක්සත් ජනපද නියෝජ්‍ය නියෝජිතයා ලෙස සේවය කරන ලද්දේ, එක්සත් ජනපද උපාය මාර්ගයට අනුව නේටෝව පුළුල් කිරීමේ අරමුණෙනි. එක්සත් ජනපදයේ උප ජනාධිපති කාර්යාලයේ ජාතික ආරක්ෂක උපදේශිකාවක් ලෙස සේවය කළ නූලන්ඩ්, ජනාධිපති ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසු විදේශ කටයුතු දෙපාර්තමේනේතුවෙන් ඉවත් වූවාය.

යුක්රේනය සඳහා ඇගේ සක‍්‍රීය දායකත්වය ලැබෙනුයේ, නේටෝවේ සිටි සමයේදී සහ ඉන් පසුවය. නූලන්ඩ් 2005 සිට 2008 දක්වා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ නේටෝවේ එක්සත් ජනපද තානාපතිනිය වූවාය. පිලිප් ගෝර්ඩන්ගෙන් පසු යුරෝපීය සහ යුරේසියානු කටයුතු සඳහා සහකාර රාජ්‍ය ලේකම් ලෙස පත්වීමට පෙර ඇය හිලරි ක්ලින්ටන්ගේ රාජ්‍ය ලේකම් යටතේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකාව ලෙස කටයුතු කළාය. 2014 යුරෝමයිඩන් විප්ලවය අතරතුර සහ ඉන් පසුව ඔබාමා පාලනාධිකාරියේ යුකේ‍්‍රන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේදී නූලන්ඩ් ප‍්‍රධාන භූමිකාවක් නියෝජනය කළාය.

යුක්රේනයේ එක්සත් ජනපද තානාපති ජෙෆ්රි පයාට් සමඟ 2014 පෙබරවාරියේ දුරකථන ඇමතුමකදී ඇය ‘යුරෝපීය සංගමයට’…. (එෆ් අකුරෙන් පටන් ගන්නා වචනය) කරන්න’ යැයි පැවසූ විනාඩි හතරක හඬ පටය ලෝකය පුරා ප‍්‍රසිද්ධ වූවේ, ඇයගේ ආක‍්‍රමණකාරී එක්සත් ජනපද ස්වභාවය පැහැදිලි කරමිනි.

ඡන්දයෙන් තේරී පත් වූ යුකේ‍්‍රන ජනාධිපති වික්ටර් යනුකොවිච් අඩපණ කිරීමට නූලන්ඩ් සහ යුක්රේනයේ එක්සත් ජනපද තානාපති ප්‍යාට් සාකච්ඡා කරන ලද්දේ එළිපිටය. විරෝධතා මැඩපැවැත්වීමට ප‍්‍රාදේශීය පොලිසිය දරන ප‍්‍රයත්නයන් හෙළා දකිමින්, ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ ආණ්ඩුවට එරෙහිව කියෙව්හි පෙළපාලි සඳහා ඇය ප‍්‍රසිද්ධියේම, එක්සත් ජනපදයේ සහයෝගය ලබා දුන්නාය. ‘යුක්රේනයේ යුරෝපීය අනාගතය සුරැකීම’ යන පාඨය යටතේ, කියෙව් අගනුවරදී ජනාධිපති වික්ටර් යනුකොවිච්ට එරෙහිව යුරෝපා හිතවාදී, විරෝධතාකරුවන්, හමු වූ ඇය, රාජ්‍ය විරෝධීන් සමඟ සහයෝගිතාවයේ සංකේතාත්මක ඉඟියක්, ඔවුනට ආහාර බෙදා දීමද සිදු කළාය. මෙම පියවර ක්‍රෙම්ලිනයේ කෝපයට තුඩු දුන්නේ, නූලන්ඩ් රාජ්‍ය තාන්ත‍්‍රිකභාවය ඉක්මවා. ප‍්‍රසිද්ධියේ ක‍්‍රියා කිරීම හේතුවෙනි. යුක්රේනයේ එක්සත් ජනපද තානාපති ජෙෆ්රි පියට් සමඟ නූලන්ඩ් එක්සත් ජනපද ප‍්‍රයත්නයන්ට සමීපව සම්බන්ධ වූ බව 2014 මුල් භාගයේදී අනාවරණය විය. වික්ටර් යනුකොවිච්ගේ පාලනය පෙරළා දමා, යුක්රේනයේ නව පාලනයක් ඇති කිරීමට දින කිහිපයකට පෙර, නූලන්ඩ් සහ යුක්රේනයේ එක්සත් ජනපද තානාපතිවරයා සිදු කළ දුරකථන සංවාදය, ලොව පුරා ගලා ගියේය. එහිදී ඇය නව පාලනය සඳහාවූ කැබිනට් මණ්ඩලය පවා නම් කරන තත්ත්වයක් දැකිය හැකි විය. රුසියාවේ සාක්කුවේ සිටින්නේ යැයි සලකන ලද වික්ටර් යනුකොවිච් වෙනුවට යුරෝපා සංගමයට හා එක්සත් ජනපදයට ගැති වික්ටර් යුෂෙන්කෝ හා ජූලියා ටිමොෂෙන්කෝ යන දෙදෙන රාජ්‍ය නායකයා හා ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස තහවුරු කිරීමට නුලන්ඩ්ගේ නායකත්වයට හැකිවිය.

2020 ගිම්හානයේ විදේශ කටයුතු ප‍්‍රකාශනයකදී, රුසියාව සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න පිළිබඳව, මීළඟ ජනාධිපතිවරයාට ප‍්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන ලද්දේ, නූලන්ඩ් මහත්මිය විසිනි. නූලන්ඩ් මෙම ප‍්‍රතිපත්ති සම්පාදනය කරන ලද්දේ, යුරෝපීය සහ යුරේසියානු කටයුතු සඳහා සහකාර රාජ්‍ය ලේකම් ලෙස සාපේක්ෂව කනිෂ්ඨ තනතුරක හි`දිමින්ය. දැන් ඇය බයිඩන් පාලනයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන්නීය. ජනාධිපති බයිඩන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, අංක 3 නිලධාරිනිය ලෙස තමන් මෙතුවක් කල් යුක්රේනය පිළිබඳව දුටු සිහින දැන් ඇය එළි කරගනිමින් තිබේ.

2020 ජූලි මාසයේදී, විදේශ කටයුතු සම්බන්ධ ලිපියක පැරණි සීතල යුද්ධයේදී සෝවියට් සංගමයට වඩා රුසියාව ‘ලිබරල් ලෝකයට’ විශාල තර්ජනයක් බව නූලන්ඩ් කියා සිටියාය. නූලන්ඩ්ගේ ආඛ්‍යානය රුසියානු ආක‍්‍රමනකාරීත්වය සහ එක්සත් ජනපදයේ අභිප‍්‍රාය සඳහා වන මුල් පිටපත බව කිව හැකිය. ආක‍්‍රමණශීලී නේටෝව සමඟ රුසියාවට මුහුණ දීමට ද නූලන්ඩ්ට අවශ්‍ය වූවාය. ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ දෙවන ධූර කාලය තුළ නේටෝවේ එක්සත් ජනපද තානාපතිනිය ලෙස කටයුතු කළ දින සිට ඇය රුසියාවේ දේශසීමාව දක්වා නේටෝවේ ව්‍යාප්තියට ආධාරකාරියක් වූවාය. ඇය ‘නේටෝවේ නැගෙනහිර දේශසීමාවේ ස්ථිර කඳවුරු’ ඉල්ලා සිටීයේ ඒ සඳහාය.

ඒ අනුව බලන විට දැන් පුටින් මුහුණ දෙන්නේ, නූලන්ඩ්ගේ ආක‍්‍රමණයටය. පසුගිය බදාදා සන්ධ්‍යාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූයේ මේ වික්ටෝරියා නූලන්ඩ්ය.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු සහ ඉන්දු – පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප‍්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් අමන්දා ඩෝරි ද ඇතුළත්, ජනාධිපති රාජපක්ෂ හමුවූ එක්සත් ජනපදයේ නූලන්ඩ්ගේ කණ්ඩායම, මෙරටට පැමිණීමට පෙර එම ගමනේ අභිප‍්‍රාය පිළිබඳව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය අනුව,

”ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, මානව හිමිකම්, තිරසාර ආර්ථික සංවර්ධනය, දේශගුණික විපර්යාස අවම කිරීම, වෙළෙඳ හා ආයෝජන සබඳතා ගැඹුරු කිරීම, කලාපීය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපද – ශ‍්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදයේ සම සභාපතිත්වය දරනු ලබන්නේ උප ලේකම් නූලන්ඩ් සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස් විසිනි. ආරක්ෂාව, සහ අධ්‍යාපනික සහයෝගිතාව, ගෝලීය වසංගතයෙන් එල්ල වී ඇති අභියෝග සහ එක්සත් ජනපද – ශ‍්‍රී ලංකා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමේ ක‍්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට උප ලේකම් නූලන්ඩ්, තානාපති චුන්ග් සහ එක්සත් ජනපද නියෝජිත පිරිස ශ‍්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවනු ඇත. සියලුම ශ‍්‍රී ලාංකිකයන්ට දියුණු විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ ප‍්‍රධාන භූමිකාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට උප ලේකම් නූලන්ඩ් සහ එක්සත් ජනපද නියෝජිත පිරිස සිවිල් සමාජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් ද හමුවනු ඇත.’’ යනුවෙන් එහි සඳහන් විය. ඇගේ ප‍්‍රකාශනයේදී

ශ‍්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා යොමුවීම පිළිබඳව ප‍්‍රශංසා මුඛයෙන් කතා කළ අතර, ඉන් ඔබ්බේ කුමන සාකච්ඡාවක් සිදුවූවාද යන්න දන්නේ, ඒ සඳහා සහභාගිවූ දෙපාර්ශ්වය පමණි. එසේ වුවත් අනුමාන වශයෙන් කිව හැක්කේ, බලශක්ති විෂයෙහි දී චීනය සහය අත්හැරීම, රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් එය ඉන්දියාව මාර්ගයෙන් සිදු කිරීම, යන කාරණා සඳහා වැඩි බරක් නූලන්ඩ් ඇතුළු නඩය ශ‍්‍රී ලංකාවට දැනුම් දෙන්නට ඇති බවය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment