නේපාලයේ තරුණයෙක් යාපනයේ සිට මාතරට පාගමනේ

1077

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පැමිණි අයි බහදූර් නැමැති 27 හැවිරිදි තරුණයකු පාගමනින් යාපනයේ සිට මාතර බලා ගමන් ගන්නා අතරතුර ඊයේ (04) උදෑසන මීගහකිවුල නගරයට පැමිණියේය.ශ්‍රී ලංකාව යනු සාර්ක් කලාපයට අයත් රටක්වීම නිසාත් විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන විවිධ සිරිත් විරිත් ඇති මිනිසුන් මුණගැසීමට ඇති ආසාව නිසා තමුන් මෙම ගමන සඳහා ශ්‍රී ලංකාව තෝරා ගත් බවද ඔහු පවසයි.

යාපනයේ සිට මාතරට පා ගමනින් (JAFNA TO MATHARA WALKIN ) යනුවෙන් සඳහන් පුවරුවක්ද එල්ලාගෙන ඉකුත් අප්‍රේල් මස 15 වන දින යාපනයේ සිට ගමන ආරම්භ කළ බවත් මේ වන විට දින 19 ක් තමා පා ගමනින් පැමිණි බවත් බහදූර් පැවැසීය. නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පාගමනින් ඉන්දියාවේ බැංගලෝරයටත් බැංගලොරයේ සිට ගුවන් මගින් කොළඹටත් පැමිණ එතැන් සිට දුම්රියෙන් හා බස් රථයකින් යාපනයට පැමිණ යාපනයේ සිට පා ගමන ආරම්භ කර ඇත.

යාපනයේ සිට මාතර දක්වා පාගමනින්ම යෑම තම අරමුණ බවත් එම ගමනේදී මගතොටේ හමුවන විවිධ භාෂාවන් කතාකරන විවිධ ආගම් අදහන මිනිසුන් මුණ ගැසී ඔවුන්ගේ සිරිත් විරිත් චර්යා රටාවන් අධ්‍යයනය කිරීම තම ගමනේ අරමුණ බව හෙතෙම සඳහන් කළේය.දිනකට කිලෝ මීටර් 20-50 ත් අතර ප්‍රමාණයක් තමා පා ගමනින් පැමිණ මගතොටේ හමුවන නගරවල ඇති සාමාන්‍ය ආපනශාලා වලින් ආහාර ලබා ගෙන සාමාන්‍ය හෝටල්වල නැවතී යළි ගමන් අරඹන බව ද හෙතෙම සඳහන් කළේය.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment