නොකළ වරදකට ඉංග‍්‍රීසීන් මරාදැමූ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්… දැයෙන් සමුගෙන අදට වසර 106 යි

827

මද්දුම බණ්ඩාර, කැප්පෙටිපොල පරපුරේ තවත්  ජාතික වීරයෙක්

ඉංග‍්‍රීසි පාලකයන් ලංකාව අල්ලා ගැනීමෙන් පසු අප රටේ විසූ සිංහල ජාතික නායකයන් රාශියක් ඔවුන්ගේ යුද්ධාධිකරණ මගින් වැරදිකරුවන් බවට පත් කර සිත් පිත් නොමැතිව අමු අමුවේ ඝාතනය කළ අයුරු අප රටේ ඉතිහාසය තුළින් අනාවරණය වේ. පසුගිය සියවසේ දෙවන දශකයේ ඇති වූ අවාසනාවන්ත ජාතිවාදී අරගලයේදී එය සමතයකට පත් කිරීමට එළියට පැමිණි 27 හැවිරිදි තරුණයෙකු එම ජාතිවාදය අවුලවන්නට පැමිණි අයෙකු ලෙස සලකා හිත් පිත් නොමැතිව ඝාතනය කර අදට වසර 106 ක් සපිරෙයි. ඔහු කවුරුද? අන් අයෙකු නොව ගාල්ලේ දංගෙදර උපත ලද එඞ්වඞ් හෙන්රි පේද්‍රිස් නම් වීර තරුණයාය. ඔහුට මරණීය දණ්ඩනය නියම කළේ 1915 ජූලි 02 දා වෙඩි තබා ඝාතනය කිරීමටය. එම දඬුවම පසුව ජූලි 08 දිනට ආණ්ඩුකාරයා විසින් කල් දමන ලදී. ඒ අතරතුරදී ජාතිවාදී අරගලයට සම්බන්ධ නොවූ එය පැතිරීම වැළැක්වූ තරුණයෙකු කුමන්ත‍්‍රණකාරීව අල්ලා සිරගතකොට මෙලෙස ඝාතනය කිරීමට තීරණය කිරීම ගැන සිංහල හා දෙමළ ජාතික නායකයන් රජයට විරුද්ධව විවිධ විරෝධතා දැක් වූ නිසා ජූලි 08 වෙනි දිනට නියමිත වූ දඬුවම ජූලි 07 වෙනි දිනට වෙනස් කළේය.

 ඒ අවස්ථාවේදී පේද්‍රිස් තරුණයාගේ පියා වූ ඞී. ඞී. පේද්‍රිස් මහතා තම පුතාගේ බරට මුදල් හෝ රත්තරන් රජයට පිරිනමන්නට කැමති බව ප‍්‍රකාශ කරමින් නිදහස ඉල්ලා සිටියත් එය ඉටු වූයේ නැත. 1915 ජූලි මස 07 වන දිනට යෙදුණු ඔහුගේ ඉරණම විසඳෙන තීන්දුවට ඔහු බිය වූයේ නැත. පේද්‍රිස් තරුණයා ඉංග‍්‍රීසි ආණ්ඩුවට ඉල්ලීම් 5 ක් ඉදිරිපත් කළේ ඉතා අභීත සිංහල බෞද්ධ තරුණයෙකු ලෙසය.

 එම ඉල්ලීම් 05 මෙසේය.

 1. අවසන් වරට දෙමවුපියන් දැකීමේ අවසරය.

 2. මහා සංඝයාට අට පිරිකර පූජා කිරීමට අවස්ථාවක් ලබා ගැනීම.

 3. සුද්දන් අතින් නොව පන්ජාබ් සොල්දාදුවන් ලවා වෙඩි තැබීමට නියම කිරීම.

 4. තමා සමග සේවය කළ හමුදාවේ හිතවතුන්ට තේ පැන් සංග‍්‍රහයක් දීමට අවසර ඉල්ලා සිටීම.

 5. තමාගේ මළ සිරුර පවුලේ සොහොන් බිමේ භූමදානය කිරීමට අවසර ඉල්ලීම.

 මේ සියල්ලටම අවසර හිමි වීමෙන් පසු හෙන්රි පේද්‍රිස් තරුණ වීරයාට දඬුවම දීමට නියමිත ස්ථානයට ඔහු රැුගෙන ආවේය. කළු රෙදි කඩකින් ඔහුගේ දෑස් වැසීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වන විට එයට එරෙහි වූ පේද්‍රිස් තරුණයා තමාගේ දෑස් නොබඳින ලෙසත්, වෙඩි තබන අයුරු තමාට දැක ගැනීමට අවශ්‍ය බවත් පැවසූ නිසා එය වළකා ඔහුට පන්ජාබ් යුද බටයෙකු විසින් පළමු වෙනි වෙඩිල්ල තබා ඔහු ජීවිතය අහිමි කළේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයම කම්පාවට පත් කරමිනි. ඔහු වාඩි වී සිටි පුටුව ගලා ගිය ලේ දහරා සමග ගෙනැත් තැබුවේ ඞී. එස්., එෆ්. ආර්. ඇතුළු ජාතික වීරවරයන් සිරගත කළ කුටිය අසල ඔවුන්ට පෙනෙන අයුරිනි. නුඹලා දැඟලූවොත් නුඹලාටත් මෙම ඉරණම ලැබෙන බවට ඉඟියක් ලෙසය. මෙය දුටු එෆ්. ආර්. පැවසූයේ ඞී. එස්. මල්ලී අපි ළඟ තිබෙන අවසන් රුපියලද වියදම් කොට නිදහස් අරගලය ජය ගත යුතු බවයි.

 තම පුතණුවන්ගේ බිහිසුණු මරණය පිළිබඳ කම්පාවට පත් වූ ඞී. ඞී. පේද්‍රිස් මහතා තම පුතණුවන්ට පින් පමුණුවමින් කොළඹ හැව්ලොක් ටවුමේ තමන්ට අයත් ඉඩමක ඉසිපතනාරාමය නමින් ගොඩනැගූ අභිනව විහාරය සසුනට පුදා තම පුතණුවන්ට නිවන් දක්නා තුරු මෙවන් ඉරණමක් අත් නොවේවායි ප‍්‍රාර්ථනා කළහ. ඊට අමතරව දෙමටගොඩ මල්ලිකාරාමය නමින් විහාරස්ථානයක්ද ඉදි කර සසුනට පුදා ඇත.

 එඞ්වඞ් හෙන්රි පේද්‍රිස් තරුණයා උපත ලද්දේ 1888 වසරේ අගෝස්තු 16 වන දින ගාලූ නගරයේ දංගෙදර නමින් හැඳින්වූ ප‍්‍රදේශයේය. දෙමව්පියන් වූයේ ගාල්ලේ විසූ ඞී. ඞී. පේද්‍රිස් මහතා සහ කරන්දෙණියේ කැ?වේ ඇත්වලගොඩ විසූ කලූවාදේව මල්ලිනෝ නම් මාතාවයි. ගාල්ලේ සිටි ඞී. ඞී. පේද්‍රිස් මහතා කරන්දෙණියට පැමිණියේ මිනිරන් කර්මාන්තය සඳහාය. ඔහු කරන්දෙණිය ප‍්‍රදේශයේ මිනිරන් පතල් පවත්වාගෙන යන අතරතුරදී වර්ෂ 1882 දී කරන්දෙණියේ කුල කාන්තාවක් වූ මල්ලිනෝ මෙනවිය සමග විවාහ ගිවිස ගත්හ. එයින් පසු ගාල්ලටත්, පසුව කොළඹ පදිංචියටත් ගිය පේද්‍රිස් නම් ව්‍යාපරිකයා කොළඹ නගරය තුළ ධනවත් අයෙකු විය. ඔහුට කොළඹ නගරයේ පමණක් නිවාස 128 ක් තිබූ බව කියැවේ. ඔහුගේ නමේ වාසගම වූයේ දියුණගේ යනුවෙනි. වාසගමට සරිලනසේම දියුණුව දියුණගේ පේද්‍රිස්ට හිමි විය. දරුවන් 5 දෙනකුගේ පියෙකු වූ ඔහුට එයින් සිව් දෙනෙක්ම දියණිවරුන් විය. එකම පුතු වූයේ එඞ්වඞ් හෙන්රි පේද්‍රිස්ය. එකම පුතණුවන්ට පණටත් වඩා ආදරය කළ ඞී. ඞී. පේද්‍රිස් මහතා තම දරුවන් සමග පදිංචිව සිටියේ කොල්ලූපිටියේ විමලා විලා නම් මන්දිරයේය. තම පුතණුවන් ගල්කිස්සේ ශාන්ත තෝමස් කොලේජයටත්, ඉන්පසු කොළඹ රාජකීය විදුහලටත් පාසල් අධ්‍යාපනය ලැබීමට යොමු කළේය. ඔහු තම පුතණුවන්ට පාසල් අධ්‍යාපනයෙන් පසු තම ව්‍යාපාරවල විවිධ වගකීම් පැවරුයේ අනාගතයේ සාර්ථක ව්‍යාපාරිකයෙකු කිරීමටය.

 ව්‍යාපාර කටයුතු වල යෙදෙනවාට වඩා පේද්‍රිස් තරුණයා ප‍්‍රිය කළේ නගර ආරක්ෂක හමුදාවට බැඳීමටය. තම පුතණුවන්ගේ කැමැත්තට ඉඩ දුන් ඞී. ඞී. පේද්‍රිස් මහතා තමා මෙලෙස අවසර දෙනුයේ සිය පුතණුවන්ගේ අනාගත ඉරණම ඛේදනීය ලෙස විසඳෙන අවස්ථාවකට බව නොදැන සිටියේය. මෙම හමුදාවට බැඳුනු හෙන්රි පේද්‍රිස් තරුණයා ඉතා ටික කලකින් කපිතාන් තනතුරකට පත්විය. පසුව එම ඒකකයේම අණ දෙන නිලධාරී පදවියටද උසස් විය. එසේ ටික කලක් ගෙවීයද්දි 1915 මැයි මාසයේ ඇති වූ අරගලයක් නිසා සිංහල හා මුස්ලිම් ජනයා අතර නොසිතූ නොවිරූ ගැටුමක් ඇති විය. ගැටුම පාලනය කරනු විනා ඉංග‍්‍රීසි පාලකයන් සිදු කළේ ගැටුම ව්‍යාප්ත වීමට ඉඩ කඩ සලසා දීමයි. එයට හේතුව වූයේ රට තුළ බෞද්ධ ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහි වූ නිසා එය ඉංග‍්‍රීසින්ගේ පාලනයට අහිතකර බලපෑමක් වෙමින් තිබීමය. මෙම නගරයේ ප‍්‍රබල සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකු වූ ඞී. ඞී. පේද්‍රිස් මහතාගේ දියුණුව සහ ඔහුගේ දැහැමි පිළිවෙත ඉංග‍්‍රීසින්ගේ සිත් නොගත් එකක් විය. මේ අතරේ නාගරික හමුදා අණ දෙන නිලධාරියෙකු වූ ඔහුගේ පුතණුවන් වූ හෙන්රි පේද්‍රිස් සිදු කළේ සිංහල හා මුස්ලිම් ප‍්‍රජාව අතර පැතිරී යන අරගලය සමනය කිරීමට කටයුතු කිරීමය. මෙය ඉංග‍්‍රීසින්ගේ කණස්සල්ලට හේතු විය. මේ නිසා හෙන්රි පේද්‍රිස් තරුණයාට දඬුවම් දීම සුදුසු යැයි බොරු චෝදනාවක් ගොණු කළේ ඔහු තම හමුදා කඳවුරේ අය සමග මුස්ලිම් අයට හිරි හැර කරනවා යනුවෙන් පවසමිනි. නමුත් ඔහු සිදු කළේ ඇතිවීමට යන අරගල සංසිඳවීමට කටයුතු කිරීමය.

 සිංහල බෞද්ධ ව්‍යාපාරික ප‍්‍රජාවගේ ශීඝ‍්‍ර දියුණුව ප‍්‍රිය නොකළ රොබට් චාමස් ආණ්ඩුකාරවරයා සිංහල කැරලිකරුවන්ට දුටු දුටු තැන වෙඩි තැබීමට නියෝග දුන්හ. මෙහිදී තවත් ප‍්‍රභල සිංහල දානපතියෙකු නිකරුණේ හමුදා උණ්ඩයට බිලි විය. ඔහු ආර්. ඒ. මෙරැුන්ඩෝ නමින් හැඳින් වූ කොළඹ ආනන්ද මහ විදුහලේ එවකට සිටි කළමනාකාරවරයාද විය. ඔහු මරා දමන ලද්දේ ඔහුගේ නිවස අසලදීමය. 1915 මැයි මාසයේ අවසන් දින කිහිපය තුළ එඞ්වඞ් හෙන්රි පේද්‍රිස් තරුණයා සිර භාරයට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඔහු මරා දැමීමට ඉංග‍්‍රීසි පාලකයන් කටයුතු කිරීම නිසා රටට හිතැති දේශමාමක තරුණයෙකු දැයට අහිමි විය.

 වීරයන් මිය යන්නේ එක් වරකි. නමුත් ඔවුන් සදාතනිකව මිනිස් හදවත් තුළ ජීවත් වනු ඇත. ඒ අනුව එඞ්වඞ් හෙන්රි පේද්‍රිස් තරුණයා මිය ගොස් වසර 106 ක් ගෙවුනද ඔහුගේ ශ‍්‍රී නාමය තාමත් රටට අමතක වී නැත. ඔහුගේ ප‍්‍රතිමාවක් ගාලූ නගරයේත්, කොළඹ නගරයේත් ඉදි කර කෘතගුණ දත් ජනතාව සදා අනුස්මරණීය තත්ත්වයට පත් කර ඇත. තවත් අවුරුදු සිය ගණනක් යන තුරු මෙතුමන්ගේ ශ‍්‍රී නාමය සදා මතකයෙන් ගිලිහී නොයනු ඇත.

  වජිර අබේවර්ධන
  සභාපති – එක්සත් ජාතික පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment