නොකියාම ගිය ජී. ආර්.

249

ජී. ආර්. පෙරේරා දිවියෙන් සමුගෙන අදට සතියකි. ජී. ආර්. පෙරේරා ගැන හඳුන්වාදීමට දිගු අටුවාවක් අවශ්‍ය නොවන්නේ ඔහු සිය රංගන දිවිය තුළ දක්වන ලද ප්‍රතිභාව එපමණකටම විශිෂ්ට වූ නිසා ය. එහෙත් ඔබ දන්නා ඒ ‘රංගධරයා. ඉනිඳු ඔබ්බට ගිය නවකතාකරුවෙකු හා තිර පිටපත් රචකයකු ලෙස හඳුනාගන්නේ අතළොස්සකි. ඉතා දිගු කලක් නිහඬව ඔහු ඒ ඒ කාර්යයන්හි නියැළෙන්නේ අතිශය කාර්ය බහුල රංග කාර්යයන් අතරතුරය.

ජී. ආර්. සමග කතාබහද විචිත්‍රවත්ය. ඔහු එදා යම් යම් සිද්ධි විස්තර කෙරුවේ සිනමා හෝ ටෙලි නාට්‍යයක රසවත් අවස්ථා මතුකරමිනි. ඒ කතාබහට යම් කිසි දර්ශනයක අඩංගු රූපමය අවස්ථා මෙන්ම දෙබස් හා රංගනය ද ඇතුළත්ය. ජී. ආර්. සමග කරන කතාබහ සිනමා පටයක්” ටෙලි නළුවක් හෝ වේදිකා නාට්‍යයක් නරඹන තරමට රසවත් යැයි කිව යුතුය.

කාලයක් ගිලන්ව සිටි ‘ජී. ආර්. පෙරේරා. නැත්නම් ‘ගල්හේනගේ රත්නපාල පෙරේරා” දිවි සැරියෙන් සමුගන්නා විට 84 වැනි වියෙහි පසුවිය. මුලින් කීවාක් මෙන් ජී. ආර්. රසවතෙකි. මේ අපූරු රසවතා ගැන හරි හැටි අවබෝධ කරගන්නේ ද එවැනි ම රසවතෙකි. ප්‍රාමාණික මිනිසෙකි. ඒ තිස්ස අබේසේකරයන්ය. ජී. ආර්. ට රංගනයේ මංපෙත් විවර වන්නේ තිස්ස අබේසේකර නිසා ය.

නොකියාම ගිය ජී. ආර්.

1962 වර්ෂයේ දී සුගතපාල ද සිල්වා සූරීන්ගේ ‘බෝඩිං කාරයෝ. නාට්‍යයෙන් ජී. ආර්. රංගනයට අත්පොත් තබන්නේය. ඩී. බී. නිහාල් සිංහයන්ගේ වැලිකතර චිත්‍රපටයේ සුළු භූමිකාවට පණ පෙවූ ජී. ආර්. ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසෙන්නේ මැණික් චන්ද්‍රසාගර අධ්‍යක්‍ෂණය කරන ලද ‘කළු දිය දහර‘ චිත්‍රපටයෙනි. 1980 වර්ෂයේ දී ජී. ආර්. කරුමක්කාරයෝ චිත්‍රපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් විචාරක සම්මානයක් හිමිකර ගත්තේය. ජී. ආර්. රූපවාහිනී තිරයට කැන්දාගෙන එන්නේද තිස්ස අබේසේකරය. ඒ ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘තුන්කල් සිහිනය. ටෙලි නළුවෙනි. ටෙලි නාට්‍ය 600කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ජී. ආර්. 2007 වර්ෂයේ දී ‘චක්‍රායුධ. ටෙලි නාට්‍ය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. එහෙයින් අපෙන් සමුගත් මේ සොඳුරු මිනිසාට උපහාරයක් වනු පිණිස ඔහු පළ කළ සාරගර්භ අදහස් සහිත මෙම සංවාදය නැවත පළ කරමු.

ඔබ ක්‍ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙක්” ප්‍රවීණයෙක්” වර්තමානයේ ප්‍රවීණයන්ට ජ්‍යෙෂ්ඨයන්ට ලැබෙන තක්සේරුව මදි කියන කාරණයත් එක්ක ඔබ එකඟද?

මෙහෙමයි…. ඒ යුගයේ යම් දර්ශනයක සමීප රූපයකට පෙනී සිටිනවා කියන එක එතරම්ම පහසු කාරණයක් වුණේ නෑ. නමුත් අද වෙනකොට ඕන කෙනෙකුට ආපු ගමන්ම සමීප රූපයෙන් පටන් ගන්න පුළුවන්. අද රඟපානවා කියන එක විලාසිතාවක් බවට පත්වෙලා. ඒ වගේ එකකට දෙකකට හිටියට පස්සෙ කට්ටිය ‘ඔටුන්න දාගන්නවා. තමන් විසින් ඔටුන්න දාගත්තට රජකම් කරන්න බෑනේ…. ඕක තමයි අද ක්‍ෂේත්‍රයේ තත්ත්වෙ.

නොකියාම ගිය ජී. ආර්.

මම ඇහුවෙ ඒ අතර ජ්‍යෙෂ්ඨත්වයට තිබ්බ තැන ගැනයි….

ඒක තමයි….ඒක අවරට ගිහින් තියෙන්නේ. ඇයි කියලයි මම මේ කියන්නේ. අවුරුදු පනස් දෙකකට විතර මගේ මේ ක්‍ෂේත්‍රයේ ජීවිතයත් එක්ක ගත්තොත්” මගෙත් එක්ක ක්‍ෂේත්‍රයට ආපු මම දුව පුතා කියපු අයත් හිටියා. හැබැයි මගේ සමකාලීනයන් සහ එම දුව පුතා කියපු අයත් එක්ක ගත්තොත් අපි තවම ඉන්නවා. අර සමහරක් ආගිය අතක් නෑ. ඇත්තට ම අවශ්‍යතාවකට එසේ අපිට ලැබෙන තැන අඩුයි. ඒකට හේතුව සමහරවිට අපට නොගැළපෙන චරිත නොතිබීම වෙන්න පුළුවන්. ඒත් අපිට නොසලකා හැරීම හොඳ නෑ.

අලුත් පරම්පරාව ඔබ කියන විදියට ක්‍ෂේත්‍රයෙන් හිටපු ගමන් අතුරුදන් වෙන්නේ ඇයි?

අරමුණ වෙනස්නේ. අපි ආවෙ රඟපාන්න. ඒක ඉගෙන ගන්න. නමුත් මේ අය කොහෙද ඉන්නේ කියලා හිටපු ගමන් ආරංචි වෙනවනේ…. අර වෙබ් සයිඩ් එක කියයි… මේකේ කියයි… මාධ්‍යවලත් මේවා පළකරන්නේ අහවල් ටෙලි නිළිය අහවල් තැන ඉඳලා අහුවුණා කියලා ඒකෙන් වෙන්නේ හොඳට ඉන්න අයගේ නමත් කැත වෙන එකයි.

රංගනය ‘විලාසිතාවක්. කරගෙන කියන කතාව ඔබ කිව්වා. අපට පැහැදිලි කරන්න ඇයි එහෙම කියන්නේ.

එක එක කාලෙට අලුත් මෝස්තර එනකොට ඒවා අඳින්නේ ඇයි? තමන්ට ජනප්‍රිය වෙන්න කෑපී පේන්න. ඒ වගේ රංගනය කියන එක භාවිත කරන්නෙත් ඒකම තමයි. මේ හැමෝම නොවෙයි මේ කරන්නේ. එක්තරා පිරිසක් ඉන්නවා.

බොහෝ ජ්‍යෙෂ්ඨයින් අලුත් පරම්පරාව විවේචනය කරද්දී “හැමෝම නොවෙයි” කියන කතාව කෝකටත් තෛලය වගේ භාවිත කරනවා…..

නෑ…. නෑ… නෑ… ඒව එහෙම කෝකටත් තෛලයක් කරගන්න ඕන නෑ. කාට බයේද? මම කතා කරන්නේ ඇත්ත. සමහර අය ප්‍රවීණකමට නොවෙයි වයසටවත් ගරු කරන්න දන්නේ නෑ. වැඩිහිටිකමට ගරු කරන්න දන්නෙ නෑ කියන්නේ තව කවර කතා ද? ඒ විතරක් නොවෙයි… මේ අය තමන් ගැන ඉන්නේ අධි තක්සේරුවක. රූගත කිරීමකට යන්න වාහනයකට නැග්ගොත් ‘ඒ සී නැද්ද්?

‘ඒ. සී. නැද්ද?. කියලා අහන සමහර අයගේ ගෙවල්වල හුළං ගහන්න පත්තර කෑල්ලක් නෑ…. ඕකයි තත්ත්වය. කිසිම නිහතමානී කමක් නෑ. ඇත්තට ම මේ එන අතළොස්සක් නිසා ක්‍ෂේත්‍රයේ අනෙක් අයට තිබෙන තැනත් අහිමි වෙනවා. මට නම් මේ ඉතාම ආසන්න දිනෙක පවා ක්‍ෂේත්‍රයට ආපු අයගෙන් ගන්න දේවල් තියෙනවා.

ප්‍රවීණයන්” ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් ‘පරණ කාලයේ. දේවල් ගැන කතා කරන්නේ. මේ වෙනකොට මොකවත්ම නොවන ගාණටයි. ඒක කොයිතරම් දුරට සාධාරණ ද?

කවුද කිව්වෙ අද මුකුත්ම නොවන බව…හොඳ අලුත් නිර්මාණ ඕන තරම් තිබෙනවා. ඒවාට ‘ඇක්ට්. කරන්න එන අයගේ වරදයි අපි කියන්නේ. රඟපාන්න වැදගත් වන්නේ ‘රාගය. නොවෙයි ‘ඔළුව. කියන එක ඒ අය දන්නේ නෑ.

රූපය කොහෙත්ම වැදගත් නැද්ද?

නෑ…. ඒක නොවැදගත් කියන එක නොවෙයි මම අදහස් කරන්නේ. රූපය අතිශය වැදගත් නිසානේ ‘විජය කුමාරතුංග.” ‘ගාමිණී ෆොන්සේකා. වගේ අය බිහිවෙන්නේ. අදටත් සති අන්ත පත්තරවල ‘විජය. හෝ ‘ගාමිණී. ගේ පින්තූරයක් පළ කරන්නෙ…. අඩුම වශයෙන් පත්තර දහයක්වත් වැඩිපුර විකිණෙනවා. ඒ අයට ඒ වෙනුවෙන් ගෞරවය” පිළිගැනීම වන්නේ රූපය එක්ක ‘ඔළුව. තිබ්බ නිසයි. එයාලට රඟපාන්න හැකියාව තිබුණා. ඒකට අවශ්‍ය දැනුම තිබුණා. ක්‍ෂේත්‍රය පිළිබඳ ගෞරවයක් තිබුණා. ඒ අය මේ ක්‍ෂේත්‍රයේ ගමන පටන් ගත්තෙම ගෞරවණීය විදියට.

ඔබට අමතක කරන්න බැරි ඔබේ අතීතයේ ගමන පටන් ගත්තේ කොහොමද?

මම මුලින් ම ක්‍ෂේත්‍රයට ආවේ වේදිකා නාට්‍ය හරයා. සුගතපාල ද සිල්වා” අනුලා කරුණාරත්න” ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර වගේ බොහෝ දෙනෙක් මගේ සමකාලීනයන් හැටියටයි ක්‍ෂේත්‍රයට ආවේ. මට ගාමිණී ෆොන්සේකාගෙන් ලැබුණු ගුරුහරිකම් අපමණයි. ඇත්තට ම මගේ මුල්ම කාර්ය වුණේ නිෂ්පාදන අංශයට දායකවීම වුණත් අවසානයේදී මා රඟපෑමට තල්ලු වුණා. හැබැයි අපිට ගුරුහරුකම් දුන්න ක්‍ෂේත්‍රයේ හැමෝට ම අපි ඉහළම විදියට ගරු කළා. මට ඩී. බී. නිහාල් සිංහයන්ගේ ‘වැලිකතර. චිත්‍රපටයටත් දායක වෙන්න හැකියාව ලැබුණා. මම එහි පොඩි චරිතයක් කළේ. ඒත් අදටත් ඒ චරිතය ගැන පවා කතා කරලා කියන අය ඉන්නවා. අපි ක්‍ෂේත්‍රයට ආ යුගය ගැන අපි ආඩම්රයෙන් කතා කරන්නේ ඒකයි. අපි සිනමාව ගත්තොත් එහි නිර්මාණාත්මක පැත්ත විතරක් නොවෙයි. සියලුම අංශවල යම් ප්‍රගතියක් තිබුණා. ඒ දවස්වල තිබ්බ චිත්‍රපට ශාලාවලින් අද තිබෙන්නේ කීයද?

ඔබ” ඔබේ රංගන කාර්යය තුළ එක් සීමාවකට කොටුවෙලා කියලා විශ්වාස කරන්නේ නැද්ද?

ඇත්තටම මට ඔය කතාව කිහිප දෙනෙක් කිව්වා. නමුත් මම හිතන්නේ ඒක නිසාම නොවෙය කියලයි. මගේ බාහිර ස්වරූපය ස්වභාවයෙන්ම රෝම පිරිච්ච” රැවුල කොණ්ඩෙ වැඩුණු මට්ටමක තියෙන්නේ. ඒ නිසා කොයිතරම් විවිධ චරිතවලට වෙන වෙනස් ආකාරයකින් පණ පෙව්වත් ඒ බාහිර ස්වරූපය මිනිසුන්ගේ හිතේ තියෙනවා.

උදේශ

advertistmentadvertistment
advertistmentadvertistment