නොකෙරෙන වෙදකම

765

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් චුට්ටක් වුවමනා බවට පැරණි හා දිරාගිය කියමනක් මේ රටේ තිබේ. එසේම දෙකෝටි විසි ලක්ෂයකට වඩා ජීවත්වන මේ රටේ ඡන්දයක් පැවැත්වීමට රුපියල් බිලියන දහයකුත් තවත් චුට්ටක් අවශ්‍යව තිබේ. රුපියල් බිලියන 10 ක් යනු ශ්‍රී ලංකාවේ එක දවසක සමස්ත වියදමය. එනම් මේ රටේ ජනතාව සහ ආණ්ඩුව සියලු දේ අත්හිටුවා නොකා නොබී එක තැනකට වී වතුරත් නොබී (වතුරට බිලක් ගෙවිය යුතුය.) පැය 24 ක් සිටියොත් මේ කියන රුපියල් බිලියන 10 හොයාගත හැකිය. තවත් විදිහකින් කියතොත් මුළු රටම freeze කළොත් ඡන්දයට යන මුදල් හොයාගත හැකිය. කෝඳුරු තෙල් හත් පට්ටයක් හම්බුණත් රටක් තුළ පෙරකී තත්ත්වයක් නිර්මාණය කළ නොහැක. එසේ නිර්මාණය වන්නේද රටේ සමස්ත ජනගහනය එකවර මියගොස් තවත් සති දෙකක් පමණ ගතවන විට රටේ සෙසු යාන්ත්‍රික ක්‍රියාකාරකම් සියල්ලමත් නැවතුණහොත් පමණි. දැනට තිබෙන ආරංචිවල හැටියට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුවට සල්ලි නැත. සල්ලි අච්චු ගසා ඡන්දය තිබ්බොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට තඹ කාසියක්වත් ණය නොදෙන බව කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන කියා තිබේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ යුරෝපා සංගමය වැනි ලෝකය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන කිසිවක් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට අපට බලකර නැත. පළාත් පාලන ඡන්දයක් යනු ආණ්ඩුවක් හෝ ජනාධිපති කෙනෙක් මාරු කළ හැකි ඡන්දයක් නොවේ. එය මගින් කළ හැක්කේ ඒ වෙලාවේදී ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි තිබෙන කැමැත්ත පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීම පමණි. මේ වෙලාවේදී රැල්ල ගහන්නේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තට ය. සමගි ජනබලවේගය සහ පොහොට්ටුව යන සාම්ප්‍රදායික දේශපාලනඥයන් සිටින පක්ෂ කෙරෙහි ජනතාව තුළ ලොකු උනන්දුවක් නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලොකු බලයක් ලබා ගැනීමට නොහැකි මට්ටමක සිටී. හෙලිකොප්ටරය තවමත් හෙලිපෑඩ් එක මත නිසලව පවතින අතර එය ගුවන්ගත කළ හැකිවේද යන්න සෙවීම සඳහා අවම වශයෙන් Test Run එකක් හෝ දී නැත. මේ සියලු කරුණු සලකා බැලීමේදී පළාත් පාලන ඡන්දයක් පැවැත්වුවොත් ජ.වි.පෙ. ඉදිරියට පැමිණීම අනිවාර්ය ය. ඒ ප්‍රතිපලය ජ.වි.පෙ. නායකයෝද දනිති. එබැවින් ගන්නා ප්‍රතිපලයක් දැක බලා ගැනීම සඳහා රුපියල් බිලියන 10 ක් වියදම් කිරීමේ තේරුමක් තිබේද යන්න ප්‍රශ්නයකි. මේ අතර පළාත් පාලන ඡන්දය පවත්වන්නේ නැත්නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට ගෙන්වා එම ප්‍රශ්නය පාරේ විසඳා ගැනීමට සූදානම් බව ජාතික ජනබලවේගය සඳහන් කරයි. එසේම තමන් තුළ එවැනි බලාපොරොත්තුවක් නැති බවද ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක පවසා තිබේ. ජ.වි.පෙ. ජනතාව පාරට බැස්සුවොත් එහි දරුණු විභවය විඳීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවටය. මහ පාරේත්, බස් හෝල්ට්වලත්, පාලම් උඩත් ප්‍රශ්න විසඳීමට අවශ්‍ය නැති මුහුකුරා ගිය පනස් අවුරුද්දකට වඩා පැරණි පක්ෂයක් බවට ජ.වි.පෙ. ය අද පත්ව තිබේ. මහ පාරේ ප්‍රශ්න විසඳීම කොතරම් වාතයක්ද යන්න ඉකුත් අරගල කාලයේදී අපි අත්දුටුවෙමු. එය ලේ ගංගාවකින් කෙළවර නොවුණේ එකල සිටි ජනාධිපති ළාමක ළමයකු වූ බැවිනි. කෙසේ වුවද පසුගිය හත් මාසයක කාලය තුළ මේ රටේ ජනයා පෝලිම්වල ළගින්නේ නැතුව නිදහසේ හුස්ම ගත්හ. මිනිස්සුන්ට කෑම කන්න සල්ලි නැති බව ඇත්ත. ඔවුන්ගේ අතේ සතේ නැති බවද ඇත්ත. එහෙත් අපගේ විශ්වාසය අනුව මේ රටේ ඕනෑම දෙයක් සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සිටය. මිනිස් අයිතිවාසිකම් විසඳීම සඳහා මිනිසුන් කට්ටියක් පාරට බහින විට තවත් කට්ටියකගේ මිනිස් අයිතිවාසිකම් කඩවේ. එතැන් සිට හටගන්නේ මල් වෙඩි සංදර්ශන වැනි ගුටි කෙළි ය. පළාත් පාලන ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් උනන්දුවක් ඇත්තේ දේශපාලනඥයන්ට පමණි. අපගේ අවංක හැඟීමට අනුව මේ රටේ සාමාන්‍ය ජනතාවට එම ඡන්දය තිබ්බත් එකය; නැතත් එකය. ඡන්දයක් යනු දේශපාලනඥයන් පිනුම් ගහන ඒ පිනුම් දෙස ජනතාව කෝපයෙන් බලා සිටින සර්කස් එකක් නොවිය යුතුය.

මේ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර වැලන්ටයින් ගැටුමක් සිදුවී ඇති බව අපි දැන ගතිමු. එම ගැටුම හටගෙන ඇත්තේ එක් සිසුන් පිරිසක් ඉදිකළ තොරණක් සම්බන්ධයෙන් තවත් සිසුන් පිරිසක් තුළ හටගත් මතභේදයක් නිසාය. වැලන්ටයින් දිනය යනු රෝස මල්, තෑගි භාණ්ඩ යනාදිය පේමන්ට් එකේ දමා විකිණීම පිණිස යොදාගනු ලබන දිනයක් පමණක් වන අතර එම දිනය සමරන තරුණ තරුණියන්ගෙන් 90% ක් වත් වැලන්ටයින් සාන්තුවරයා ගැන දන්නේ ද නැත. මේ දිනයේදී කොළඹ ඇතැම් හෝටල්වල කාමර ද වැඩි මිලට කුලියට දෙන බව දැනගන්නට තිබේ. ස්වකීය පෙම්වතිය තමන්ට ඇති ප්‍රේමය සයනයකදී තහවුරු කරගැනීම සඳහා ඇතැම් පෙම්වත්තු වැලන්ටයින් දිනයේදී කාමරවලට නව යෞවනියන් රැගෙන යති. මෙසේ යන තරුණියන්ට ඊළඟ අවුරුද්දේදී මව්වරුන්ගේ දිනය සැමරීමට සිදුවේ. මෙහි ඇති භයානකකම නම් ඔවුන්ට එම සැමරීම කරන්නට සිදුවන්නේ Single Parent ලා හැටියට වීමය. මෙහිදී වඩාත් සුදුසු වචනය වන්නේ Single Mothers ලා යන්නය. ශ්‍රී ලංකාව තවමත් තිබෙන්නේ මිනිහකු නැති ගැහැනියක කෙරෙහි පස්ස පැත්තෙන් බලන ගොන් මානසිකත්වයක ය. ඒ නිසා වැලන්ටයින් දිනය ජාවාරමක් හැටියටත් වෙනත් අනුරාගී අරමුණු සාර්ථක කරගැනීමටත් යොදාගන්නා දිනයක් බවට පත්වීම ඉතාම නරකය. වැලන්ටයින් දිනය යනු ආගමික දිනයක් මිස වලත්තයින්ගේ දිනයක් හෝ ජ’පුර සරසවියේ ශිෂ්‍ය කණ්ඩායම් මිනී මරාගන්නා දිනයක් හෝ නොවේ. මෙහිදී අප කියන්නේ වැලන්ටයින් දිනයේදී එම සාන්තුවරයාගේ ගුණ ගයමින් පල්ලිවලට ගොස් මුළු දවසම එතැනට වී පියතුමාට වාත වීම නොවේ. අපගේ අදහස වන්නේ ආලයට ගෞරව කිරීම සඳහා එම දිනය කැපකිරීම වඩා සුදුසු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment