නොනවතින රැල්ලක ජය සංකේතය අලිමංකඩ

722

උතුරුකරේ පියසටහන් අටවන කොටස

උතුරේ දෙමළ ජනතාව සිය හදවත ලෙස සලකනුයේ යාපනය අර්ධද්වීපයයි. යාපනය එහි අගනගරයයි. කන්කසන්තුරය, පේදුරුතුඩුව, චාවාකච්චේරිය, කොඩිගාමම්, පලෙයි, අලිමංකඩ ඇතුළු ප‍්‍රධාන ප‍්‍රදේශ ගණනාවක් අර්ධද්වීපයට අයත් වෙති.

වලිකාමම්, තෙන්නමරච්චි හා වඩමාරච්චි ලෙස ප‍්‍රධාන කොටස් 03කට බෙදා වෙන්කර තිබෙන යාපනය අර්ධද්වීපයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අලිමංකඩයි. මහනුවර යාපනය ් 09 මාර්ගය වැටී තිබෙනුයේ අලිමංකඩ හරහායි.

දකුණේ සිට උතුරට යනවිට යාපනය අර්ධද්වීපයේ ඇරඹුම වන අලිමංකඩ අයත් වනුයේද වඩමාරච්චි කොටසටයි. එම නිසා යුද සමයේ යුද හමුදාවට මෙන්ම එල්.ටී.ටී.ඊ. යටද සංග‍්‍රාමික වශයෙන් අලිමංකඩ ඉතා වැදගත් විය.

අලිමංකඩ සිට A 09 මාර්ගයේ යාපනය දෙසට යෑමේදී හමුවන අයියකච්චි, පලෙයි, මුහමලෙයි, එලූතුමට්ටුවාල් යන ප‍්‍රදේශ දරුණු යුද මර්මස්ථානවූ අතර ඒවා වඩමාරච්චි කොටසට අයත් වෙති. 55 වන සේනාංකයේ හමුදා ආරක්ෂාව යටතේ පවතින එම ප‍්‍රදේශ එදා ජනශූන්‍ය සටන්බිම් වූවද අද වනවිට ඉතා ජනාකීර්ණ සංවර්ධිත නගර හා ගම් බවට පත්වී තිබේ.

සිවිල් පරිපාලනය ඉතා ඉහළින් ක‍්‍රියාත්මක වන මෙම ප‍්‍රදේශවල සිවිල් නීතිය පොලීසිය විසින් ක‍්‍රියාත්මක කරයි. පවතින ආරක්ෂාව තහවුරු කිරීම හා ජනතාව වෙනුවෙන් විවිධ සුබසාධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම යුද හමුදාව විසින් සිදුකරයි.

යුද සමයේදී යාපනය අර්ධද්වීපයේ දරුණු සටන් පැවැති ප‍්‍රදේශ රැසක් ලෙස එලූතුමට්ටුවාල් සිට අලිමංකඩ දක්වා ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. ඒ අතරින් අලිමංකඩ හා මුහමලෙයි ප‍්‍රදේශ ප‍්‍රධාන යුද මර්මස්ථාන 02ක් විය.

යාපනය අර්ධද්වීපයට පිවිසෙන දොරටුව ලෙස සැලකෙන අලිමංකඩ අත්පත්කර ගැනීමට කොටි ත‍්‍රස්තවාදීහු අවස්ථා කීපයකදී දැවැන්ත ප‍්‍රහාර එල්ල කළහ. 2000 වසරේදී ‘නොනවතින රැල්ල’ ක‍්‍රියාන්විතය සිදු කළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීහු ඉන් විශාල ජයග‍්‍රහණයක් ලබා අලිමංකඩ පාලන බලය සියතට ගත්හ. යුද හමුදාව මුහමලෙයි දක්වා පසුබැස්සේය. ඉන්පසු යාපනය අර්ධද්වීපයේ A 09 මාර්ගයේ අවසන් හමුදා මුරපළ මුහමලෙයි විය. එල්.ටී.ටී.ඊ. අවසන් මුරපළ හා ඉදිරි ආරක්ෂක තීරය ඒ සමීපව තිබුණි.

එල්.ටී.ටී.ඊ. පාලන ප‍්‍රදේශයේ සිට පැමිණ හමුදා පාලන ප‍්‍රදේශය හරහා යාපනය අර්ධද්වීපයට පිවිසෙන මිනිසුන් හා වාහන පරීක්ෂා කර ඇතුළු කරන ස්ථානය ද මෙය විය.

2000 වසරේ අගෝස්තු 11 වැනිදා ඇරඹූ ‘නොනවතින රැල්ල’ කොටි මෙහෙයුම යාපනය අර්ධද්වීපයෙන් ආරක්ෂක හමුදාවෝ ඉවත්කර මුළු අර්ධද්වීපයේම බලය අත්පත්කර ගැනීම එල්.ටී.ටී.ඊ. යේ ප‍්‍රධාන ඉලක්කය විය.

ඒ වනවිට 30000 කට අධික ආරක්ෂක හමුදා පිරිසක් සිටි අතර, ඔවුන් යාපනය අර්ධද්වීපය අතැර පසුබැස්සවීමට සැලසුම් සකස් වෙමින් පැවැතුනි.

නොනවතින රැල්ලක ජය සංකේතය අලිමංකඩ

ඒවනවිට යාපනය සරසාලෙයි ප‍්‍රදේශයේ රැඳී සිටි බළසේනාධිපතිවරයා වූ කර්නල් සුමේධ පෙරේරා විසින් ‘නොනවතින රැල්ල’ කොටි ප‍්‍රහාරය සාර්ථකව මර්දනය කර යාපනය බේරාගත්තේය. ගජබා රෙජිමේන්තුවේ දක්ෂ නිලධාරියෙක් වූ කර්නල් සුමේධ පෙරේරා මෙම ජයග‍්‍රහණය නිසා ‘සරසාලෙ වීරයා’ ලෙස හඳුන්වන්නට විය.

මුහමලෙයිහිදී හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ය අතර නිතරම දරුණු යුද ගැටුම් පැවැති අතර ඉන් දෙපාර්ශවයටම දැඩි හානි සිදුවිය.

වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එවක 53 වන සේනාංකාධිපති ලෙස හා මේජර් ජෙනරල් ප‍්‍රසන්න සිල්වා 55 වන සේනාංකාධිපති ලෙස එම සටන් මෙහෙයවූහ.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කලක් මුහමලෙයි සටන් බිමේ බළසේනාධිපතිවරයෙක් ලෙස කටයුතු කළ නිසා ඒ පිළිබඳව අත්දැකීම් ඇති නිලධාරියෙකි. මේජර් ජෙනරල් සනත් කරුණාරත්නට ද අලිමංකඩ හා මුහමලෙයි සටන් ඉතිහාසය ගැන බොහෝ අත්දැකීම් තිබේ. ඒ ඔහු බළඇණි අණදෙන නිලධාරියෙක් ලෙස හා සේනාංකාධිපතිවරයෙක් ලෙස කීපවරක්ම අලිමංකඩ හා මුහමලෙයි සටන්වලට නායකත්වය දුන් හමුදා නිලධාරියෙකි. මෙම නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ හමුදා රණවිරුවෝ විසින් බේරාගත් මුහමලෙයි සිට අලිමංකඩ දක්වා ප‍්‍රදේශ යුද සමයේ තිබූ දරුණු බිහිසුණු තත්ත්වය සියැසින් දුටු මා හට දැන් එම ප‍්‍රදේශ නිදහස්ව ජනාකීර්ණව දියුණුව තිබෙනයුරු දුටුවිට දැනෙනුයේ පුදුමයකි.

රණවිරුවෝ දිවි පුදකර, තුවාල ලැබ ආබාධිත බවට පත්වී අපමණ කැපවීමක් සිදුකර ලබාගත් ඒ ජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල අද යාපනය අර්ධද්වීපයේ සමස්ත දෙමළ ජනතාවම එකසේ භුක්ති විඳිති. දෙමළ ජනතාව පමණක් නොව දකුණෙන් යන සෙසු ජාතීන්ද ඒ නිදහස භුක්ති විඳිනුයේ යාපනය අර්ධද්වීපයේ අද පවතින නිදහසට සාමයට හේතුව රණවිරු කැපවීම බව නොදැනය.

නොනවතින රැල්ලක ජය සංකේතය අලිමංකඩ

යාපනය අර්ධද්වීපයේ දරුණුම සටන් ප‍්‍රදේශය ලෙස පැවැති ් 09 මාර්ගයේ මුහමලෙයි ප‍්‍රදේශය යුද හමුදාව සහ එල්.ටී.ටී.ඊ. ය අතර සිදු වූ දිනක දෙකක කෙටි කාලීන සටන් වලින් දෙපාර්ශ්වයෙන්ම වැඩිම පිරිසක් මරුමුවට පත්වූ හා තුවාල ලැබූ සටන් බිමක් ලෙස යුද ඉතිහාසයේ අදත් ලියැවී ඇත. එක දිනකදී යුද ටැංකි 10ක් කොටි ප‍්‍රහාරවලින් විනාශ වූ හා කොටි ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට ලක්වූ එකම යුද බිම මුහමලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලයි.

යුදමය වශයෙන් ප‍්‍රධාන වැදගත් ස්ථානයක් වූ බැවින් මුහමලෙයි ජාතික පෙරමුණ ලෙස මෙම සටන් බිම හැඳින්වීය. වන්නි අවසන් සටනට එක්වන තුරු මුහමලෙයි සටන්බිමේ සිටියේ කමල් ගුණරත්නගේ 53 වන සේනාංකය හා ප‍්‍රසන්න සිල්වාගේ 55 වන සේනාංකයයි.

අද මෙම ප‍්‍රදේශය පවතිනුයේ 55 වන සේනාංකය යටතේයි. කඩෙයිකාඩුහි මූලස්ථානය තිබෙන 55 වන සේනාංකය යටතේ අලිමංකඩ සිට පේදුරුතුඩුව දක්වා වඩමාරච්චි කොටස අයත්වේ.

ඉතා වැදගත් යුද මර්මස්ථාන රැසක් යුද සිතියමට ඇතුළත් වී තිබෙන වඩමාරච්චි කොටසේ සැරිසරනවිට එදා දරුණු යුදබිම් ලෙස පැවැති ප‍්‍රදේශ ද අද මේ දකින්නේ කියා සිතෙයි. එතරම් විශ්මයජනක වෙනසක් අද දැකිය හැක. ඒ වෙනස තේරුම් ගැනීමට නම් එදා යුද පරිසරය දැක තිබිය යුතුමය. එදා ඒ පරිසරය කීපවරක්ම දැක තිබෙන මට දැන් එහි තිබෙන වෙනස වඩාත් හොඳින් දැනෙන්නට විය.

මේ වෙනසට මුල් වූයේ අන් කිසිවෙකුත් නොව අපේ හමුදා රණවිරුවන්ම පමණි. ඔව්හු අදත් එම ප‍්‍රදේශ රැකගනිමින් දෙමළ ජනතාවට සුබසාධන කටයුතු කරමින් මහඟු සේවයක නිරතව සිටිති. දෙමළ ජනතාවට ද තවමත් යුද හමුදාව නැතුව බැරිය. යාපනය අර්ධද්වීපය පුරා තනිවම සැරිසැරීමේදී මට ඒ බව හොඳින් තහවුරු විය. දෙමළ ඩයස්පෝරාවට සහ ඊළාම්වාදී දේශපාලනඥයින්ට ගැතිකම් කරන සුළුතරයක් එසේ නොවුවාට බහුතරයක් හමුදාවට කැමැත්තෙන් සිටිති.

මා 55 වන සේනාංක බළප‍්‍රදේශයේ සැරිසරන විට එහි සේනාංකාධිපතිව සිටියේ මේජර් ජෙනරල් මහින්ද කුමාර ජයවර්ධනයි. දැන් එම තනතුර හොබවනුයේ බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න ගුණරත්නයි. එම තනතුරට පත්වීමට පෙර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප‍්‍රධාන මාණ්ඩලික බි‍්‍රගේඩියර් ලෙස කටයුතු කළ ඔහුට දෙමළ ජනතාව පිළිබඳ මනා අවබෝධයක් තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත වත්මන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපාගේ උපදෙස් මත යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි කොටසේ දෙමළ ජනතාවට ආරක්ෂාව සලසමින් යහපත් ජීවන තත්ත්වයක් උදාකර දීමට 55 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න ගුණරත්න කටයුතු කරයි.

(මතු සම්බන්ධයි)

සටහන හා ඡායාරූප
සිරිමෙවන් කස්තුරිආරච්චි
යාපනය අර්ධද්වීපයේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment