නොනිමි ජාතික මෙහෙවරක ආරම්භකයා මෙන්ම පෙරගමන්කරුවා… දිවයින

888

දිවයින යනු පත්තරයක් නොව, පත්තර සම්ප‍්‍රදායක් බව මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ පර්යේෂණ කරන බොහෝ ප‍්‍රාමාණික උගතුන් කියනු මා අසා තිබේ. එසේ නම් ඒ පත්තර සම්ප‍්‍රදාය උපන්නේ මීට දශක හතරකට පෙර 1981 ඔක්තෝබර් 04 වැනිදා කොළඹ 13 බ්ලූමැන්ඩල් මාවතේ අංක 223 යන තැන පිහිටි උපාලි පුවත්පත් සමාගම නම් ස්ථානයේය.

මේ රටේ බිහිවූ අසම සම ව්‍යාපාර චින්තකයකු මෙන්ම අනුපමේය ව්‍යාපාර දාර්ශනිකයකු වූ උපාලි විජයවර්ධනයන් විසින් මෙරටට ‘දිවයින’ නමැති පත්තර සම්ප‍්‍රදායක් හඳුන්වා දී එළැඹෙන ඔක්තෝබර් 04 වැනිදාට වසර 40 ක් සපිරෙයි.

නොනිමි ජාතික මෙහෙවරක ආරම්භකයා මෙන්ම පෙරගමන්කරුවා... දිවයින

ඒ නිමිත්තෙන් සමරු ලිපියක් ලියන්නට ප‍්‍රවීණ මාධ්‍යවේදීන් කිහිප දෙනකුටම මා ආරාධනා කළත් බොහෝ දෙනකුට කාලයත් සමග කරන අරගලය හේතුවෙන් වෙලාවක් නොමැති විය. අවසානයේ එම දුර්ලභ අවස්ථාව මා ලබා ගන්නට කල්පනා කළේ හේතු කීපයක්ම නිසාය. ඒ හේතු මේ ලිපිය අවසානයේ ඔබට වැටහෙනු ඇත.

නොනිමි ජාතික මෙහෙවරක ආරම්භකයා මෙන්ම පෙරගමන්කරුවා... දිවයින

පත්තර කලාවේ මහ ගෙදර කියා බොහෝ දෙනකු කියන්නේ ලේක්හවුසියට බව රහසක් නොවේ. පත්තර කලාවේ මහ ගෙදර එය වූවාට පත්තර කලාවේ ‘තක්සලාව’ දිවයින බව වැඩි දෙනෙක් දන්නේ නැත. මා මේ ලිපිය තුළින් ‘දිවයින’ පත්තර කලාවේ තක්සලාව යැයි කියන්නේ ඇයි දැයි කියා දෙන්නට උත්සාහ කරමි.

1977 ඇතිවූ ආණ්ඩු පෙරළියෙන් පසු බලයට පත්වූ නව රජය අපේ රටේ සමාජ දේහය ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කළා ඔබට මතක ඇත. ජේ. ආර්. ජයවර්ධනයන්ගේ ආණ්ඩුව අපේ රටේ ඇති කළ ඒ නව වෙනස (විවෘත ආර්ථිකය) තුළ ලෝකයට විවෘත වූයේ ආර්ථිකය පමණක් නොවේ. සමාජය හා සංස්කෘතිය ද ලොවට විවෘත විය. හොඳ යහපත් දේවල් මෙන්ම අයහපත් දේවල් ද පාලනයකින් තොරව රටට ඇතුල් වන්නට විය. එම නව වෙනස තුළ සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේ ද වසා තිබූ දොරගුළු සියල්ල විවෘත විය. රටට නව විවේචනාත්මක විප්ලපවීය නැවුම් මාධ්‍ය සම්ප‍්‍රදායක අවශ්‍යතාවය පහළ විය.

උපාලි විජයවර්ධනයෝ උපාලි පුවත්පත් සමාගම තුළින් පළමුව චිත‍්‍රමිත‍්‍ර පුවත්පත අත්හදා බලා දෙවනුව දිවයින පුවත්පත සමාජගත කරන්නේ සමාජයට අවශ්‍යව තිබූ එම විප්ලවීය නැවුම් මාධ්‍ය සම්ප‍්‍රදාය ලංකාවේ බිහිකරන්නටය. පළමුව ඒ සඳහා ඔහු එදා හොඳ කණ්ඩායමක් තෝරා බේරා ගත්තේය. හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ ඔහු එදා කළ ඒ තෝරා ගැනීම තුළ එවකට ලංකාවේ සිටි හොඳම පුවත්පත් කලාවේදීන් පිරිසක් මේ නව මාධ්‍ය සම්ප‍්‍රදායට එක්කර ගන්නට ඔහුට හැකි විය. එවකට ලේක්හවුසියේ සේවය කළ පුරෝගාමී පුවත්පත් කලාවේදී එඞ්මන්ඞ් රණසිංහයන් මේ නව මාධ්‍ය සම්ප‍්‍රදායේ නියමුවා ලෙස තෝරාගත් උපාලි විජයවර්ධනයෝ රණසිංහයන්ට අවශ්‍ය පරිදි ඔහුගේ කණ්ඩායම හදා ගන්නට නිදහස හා අවකාශය පාදා දුන්නේය.

එවකට පුවත්පත් කර්මාන්තයේ මාධ්‍යවේදියකුට ගෙවූ සාමාන්‍ය වැටුප මෙන් තුන් හතර ගුණයක් වැඩිකර ගෙවමින් හොඳ කර්තෘ මණ්ඩලයක් සඳහා දයාසේන ගුණසිංහ, නන්දසේන සූරිආරච්චි, දයාරත්න රණසිංහ, උපාලි තෙන්නකෝන්, විජිතයාපා, සුනිල් මාධව පේ‍්‍රමතිලක, ගාමිණී සුමනසේකර, මෙරිල් පෙරේරා, ධර්මරත්න විජේසුන්දර, නෝමන් පලිහවඩන, ඩබ්ලිව්. විජේසෝම, ජනක රත්නායක වැනි රටේ නමගිය ප‍්‍රවීණ පුවත්පත් කලාවේදීන් රැසක් එක්කර ගැනීමට එඞ්මන්ඞ් රණසිංහයන්ට හැකි වන්නේ ඒ අනුවය.

පුවත්පත මුද්‍රණය සඳහා උපාලි විජයවර්ධනයන් නවතම ලිතෝ මුද්‍රණ තාක්‍ෂණය අත්හදා බැලීය. අලූත්ම වෙරිටයිප් බ්‍රෝමයිඞ් අකුරු සම්ප‍්‍රදාය අත්හදා බැලීය. එතෙක් ලංකාවේ සාම්ප‍්‍රදායිකව තිබු පත්තර ආකෘතිය වෙනස් කරමින් මුල් පිටුවේ සිට අවසන් පිටුව දක්වාම පිටුවල ‘හැඩය’ වෙනස් කිරීමට ඔහුට අවශ්‍ය විය.

මේ වෙනස්කම් සියල්ලටත් වඩා විජයවර්ධනයන්ට අවශ්‍ය වූයේ තම පුවත්පත තුළින් ලංකාවේ අලූත් ආකල්පයමය වෙනසක් ඇති කරන්නටය. එතෙක් ඕලාරික සාම්ප‍්‍රදායික මතවාදවල එල්බ ගනිමින් ගතානුගතිකව සිතන පතන පාඨක පිරිස්වල චින්තන සම්ප‍්‍රදාය වෙනස් කරන පුවත්පතක් බිහි කරන්නටය.

ඔහු ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ, පරිසරය, නිදහස, ස්වාධීනත්වය හා සියලූ පහසුකම් කර්තෘ මණ්ඩලයට සපයා දුන්නේය. එඞ්මන්ඞ් රණසිංහයන්, දයාසේන ගුණසිංහයන් හා එක්ව ලංකාවේ පුවත්පත් වංශකතාව අලූතින් ලියන්නට සමත් පුවත්පත් සම්ප‍්‍රදායක් ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය හා දි අයිලන්ඞ්’’ නමින් බිහිකරන්නේ ඒ අනුවය.

නව පුවත්පත් සම්ප‍්‍රදායක විලිරුදාවෙන් පෙළි පෙළී සිටි ශ‍්‍රී ලාංකික පාඨක සමාජය දිවයින පුවත්පත දෝතින් බාරගන්නට වැඩි දොහක් ගතව ගියේ නැත. අලූත් පෙනුම, නවතාවය, නෙත සිත සනහන වර්ණ රටාව, නූතන පිටු සැලසුම් රටා ආදී සියල්ල ජනතාව අතර ප‍්‍රිය උපදවන කාරණා විය. ඒ සියල්ලට වඩා දිවයින ජනප‍්‍රිය වන්නට ප‍්‍රබලව බලපෑ කාරණාව වූයේ දිවයින තුළින් හඳුන්වා දුන් නව සමාජ මතවාදයයි.

දිවයින කාර්යභාරය ජාතික කාර්යභාරයක් බවට පත් කිරීම උදෙසා එඞ්මන්ඞ් රණසිංහයන්ගේ පුවත්පතේ දැක්ම ප‍්‍රධාන තීරු 4 ක් ඔස්සේ පෙළ ගස්වන්නට කල්පනා කළේය. යමක් ‘ජාතික’ වන්නට නම් එය සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සමාජ කාර්යභාරයක් ඉටුකළ යුතු වන්නේය. දිවයින කාර්ය මණ්ඩලය එය නිවැරදි තැනින් අල්ලා ගත්තේය. දිවයින දේශපාලනයට මුල්තැනක් ලබාදුන් පුවත්පතක් විය. එය රටට නව දේශපාලන මතවාදයන් හඳුන්වා දෙන්නට පුරෝගාමී විය. ‘‘ජාතික චින්තනය’’ නම් දේශපාලන චින්තන සම්ප‍්‍රදාය දිවයින පිළිගත්තේය. එය සමාජගත කරන්නට පුරෝගාමී වූයේය. මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය නලින් ද සිල්වා, බෙංගමුවේ නාලක හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, අධිනීතිඥ ගාමිණී ඊරියගොල්ල, දොස්තර ගාමිණී ජයසූරිය, අධිනීතිඥ එස්. එල්. ගුණසේකර ආදී මත සාදන්නන් විශාල පිරිසක් ජාතික චින්තන මතවාදය දිවයින ඔස්සේ සමාජගත කරන්නට පුරෝගාමී වූහ. පසු කලෙක රට තුළ පුළුල් දේශපාලනමය වෙනසක් ඇති කරන්නට පැමිණි සෑම නව දේශපාලන බලවේගයක් ම සමාජයේ තහවුරු වන්නට සිය මාවත සකසා ගත්තේ දිවයින විසින් හෙළි පෙහෙළි කළ ජාතික චින්තන මතවාදය ඔස්සේ බව මා කියන්නේ කරුණු කාරණා සහිතවය.

දිවයින මතවාදය ඔස්සේ යමින් දේශපාලන වාසි ප‍්‍රයෝජන ලබාගත් බලවේග ද රාශියකි. ජනතා විමුක්ති පෙරමුණ (එදා) ඒ අතර ප‍්‍රමුඛය. 1993 දී චන්‍ද්‍රිකා මැතිනිය බලයට එන්නේත්, 2004 දී මහින්ද රාජපක්‍ෂ බලයට එන්නේත් මෑතක ගෝඨාභය රාජපක්‍ෂ බලයට එන්නේත් දිවයින සම්ප‍්‍රදාය මේ රටේ හෙළිපෙහෙළි කළ මතවාදී මාර්ගය ඔස්සේ ගමන් ගත් චින්තන දහරාව තුළින් නොවේ යැයි කිව හැක්කේ කාටද?

මේ රට සිංහලයන්ගේ රට පමණක් නොව, සිංහල බෞද්ධයා ප‍්‍රමුඛ දෙමළ මුස්ලිම් බර්ගර් හා අනෙකුත් සියලූම ජනවර්ගවලින් සැදුම්ලත් ශ‍්‍රී ලාංකික ජාතියේ රට බවට නොබියව නොපැකිලිව කියන්නට තරම් දිවයින සමාජ ගත කළ ජාතික චින්තන මතවාදය ප‍්‍රබල විය. මේ රටේ යමෙකු දෙමළ වීම නිසාම හෝ මුස්ලිම් වීම නිසාම සුවිශේෂී ප‍්‍රශ්නයක් නැතැයි කීමට දිවයින නොපසුබට විය. ප‍්‍රශ්න ඇත්තේ සැමවිටම දුප්පත් පොහොසත්කම හා සමාජ පැලැන්තිය මත පමණක් බව දිවයින කියා සිටියේය. ඒ අනුව බලන විට දිවයින කළ දේශපාලන කාර්යභාරය හා මඟ පෙන්වීම වූ කලී වෙනම ආචාර්ය උපාධි නිබන්ධයකට මාතෘකාවක් බව මම හඟිමි. දිවයින ආර්ථිකමය වශයෙන් සැමදා හරි තැන සිටගත් පත්තරයකි. විවෘත ආර්ථිකය තුළ රටට උරුම වන අයහපත් සියලූ ප‍්‍රතිඵලයන්ට දිවයින පන්න පන්නා පහර දුන් බව පාඨකයා නොදන්නවා නොවේ. එදා මෙදාතුර මේ රජයන් අනුගමනය කළ නිවැරදි ආර්ථික ක‍්‍රියාදාමයන්හිදී දිවයින හරි තැන සිටගන්නට මැලි වූයේ නැත. සමාජයට විෂ පොවන ”ආර්ථික සර්පයා” දුටු තැන පහර දී කොඳු නාරටිය හරි මැදින් බිඳ දමන්නට දිවයින සමත් වූයේය.

මේ සියලූ විස්කම් කරන්නට දිවයිනට හොඳ කණ්ඩායමක් සිටියහ. හොඳ සමාජ ගවේශකයන් පිරිසක් සිටියහ. හොඳ සමාජ සමීක්‍ෂකයන් හා විශ්ලේෂකයන් පිරිසක් සිටියහ. එහිදී කරුණාදාස සූරියආරච්චි, චන්‍ද්‍රසිරි දොඩන්ගොඩ, ජයන්ත චන්‍ද්‍රසිරි, කිත්සිරි නිමල්ශාන්ත, අනුර සොලමන්ස්, ගයිරික පේරුසිංහ, නාරද නිශ්ශංක, දයා ලංකාපුර, චන්‍ද්‍රසිරි කටුදෙණිය, ඇසල ජයසේන, විමල් වීරසේකර, සුන්දර නිහතමානි ද මැල්, අශෝක ගුණතිලක, අනුර සිරිවර්ධන, ජටිල වැල්ලබඩ, ශාන් විජේතුංග, පත්මා වේරගොඩආරච්චි, සිසිර පරණතන්ත‍්‍රි, ලක්‍ෂ්මන් පියසේන, දීප්ති අදිකාරි, තිස්ස වීරසේකර, සිරිමල් ෆොන්සේකා, වසන්ත කුමාර කෙත්හේන, කුලරත්න කුරුකුලසූරිය, ධර්මරත්න විජේසුන්දර, ධර්මන් වික‍්‍රමරත්න, ශාන්ත කේ හේරත්, සුනිල් කළුබෝවිල, විජයසිරි විද්‍යාරත්න, ස්ටැන්ලි පේ‍්‍රමරත්න, සාලමුල්ලේ ධර්මරත්න, ඉන්ද්‍රපාල නානායක්කාර, මහින්ද අබේසුන්දර, විමල් එස්. සුරේන්ද්‍ර, ජයනාත් ගුණවර්ධන, ටියුරින් වීරසිංහ, සරත් අබේගුණවර්ධන, යාපා කරුණාරත්න, උපතිස්ස පෙරේරා, ලක්‍ෂමන් කුමාර කීර්ති, දයා ප‍්‍රනාන්දු, රෝහණ වෙත්තසිංහ, ඬේවිඞ් ආරියරත්න, බන්ධුල දිනපූර්ණ, චාන්දනී විජේතුංග, ප‍්‍රියංගනී ගුණවර්ධන, ඩබ්.කේ.ඞී. නවරත්න, කීර්ති වර්ණකුලසූරිය, දේශප‍්‍රිය දිසානායක, ඒ. එම්. යූ. අයුබ්, සිරිමෙවන් කස්තුරිආරච්චි, රන්ජන් පරණවිතාන, පුෂ්පා ඉලංගන්තිලක, ජානක ලියනාරච්චි, සමන් කළුආරච්චි ආදී ලේඛකයන් පිරිසක් සිටියහ. කරුණාදාස සූරියආරච්චිලා, චන්‍ද්‍රසිරි දොඩන්ගොඩලා දිවයින තුළින් ආරම්භ කළ අනුවේදනීය මානවීය විශේෂාංග ලිපි රටා ගැන පාඨකයෝ අද ද කතාබහ කරති. දයාසේන ගුණසිංහයන් හඳුන්වා දුන් තීරු ලිපි කලා සම්ප‍්‍රදාය තුළ කසුරි, මානි, සීයාගේ කොළම, පකිස්ලන්තය. කිං බානට් ආදී තීරු ලිපි තුළ තත්කාලීන සමාජ ප‍්‍රස්තුත සදය උපහාසයෙන් විවරණ වූ අයුරු මොනතරම් අපූරුද?

කැමරාවෙන් පත්තරයට ආලෝකය ලබාදුන් බන්දු එස්. කොඩිකාර, ප‍්‍රසන්න හෙන්නායක, චන්ද්‍රගුප්ත වීරවර්ධන, නිල්ටන් ගලබඩගේ, යූ.එන්. පෙරේරා, ශ‍්‍රීලාල් ගෝමස්, මංගල වීරසේකර, චන්ද්‍රසිරි වීරසිංහ, නිහාල් චන්ද්‍රකුමාර, දුමින්ද විමලසිරි, ප‍්‍රියන්ත හෙට්ටිගේ, සරණපාල පමුණුව, සිරිපාල හල්වල, ජූඞ් ඩෙන්සිල් පතිරාජ, නිමල් දයාරත්න, ගාමිණී මෙන්ඩිස් වැනි සහෘදයින් මේ මොහොතේ අප මතකයට එයි.

සමාජ අසාධාරණය දුටු තැන දිවයින එතැනය. ජාතික ව්‍යසනයක් දුටු තැන දිවයින එතැනය. බරපතළ සමාජ අනතුරක් ව්‍යසනයක් දුටු තැන දිවයින එතැනය. රටට, ජාතියට, ජනතාවට ආගමට දහමට, භාෂාවට, සංස්කෘතියට, ජාතික සම්පත්වලට අනතුරක් සිදුවන සෑම මොහොතකම ඒවායේ මතවාදී ආරක්‍ෂකයා වූයේ දිවයිනය.

එපමණක් නොව රටට සතුරු සෑම බලවේගයකම මාරාන්තික සතුරා වූයේ දිවයින බව 30 අවුරුදු සාපලත් යුද්ධයේ ‘දිවයින ස්ථාවරය’ තුළින්ම රටට පැහැදිලි වනවා ඇත. මේ රටේ යුද්ධය කළේ මහින්ද, හමුදාව හා දිවයින… බවට කවුදෝ කතාවක් කියනු මට මතකය. ඒ කතාව වැරදි නැත.

එපමණක් ද… නැත. මේ රටේ සංස්කෘතියේ, සාහිත්‍යයේ, කලාවේ ආරක්‍ෂකයා ද දිවයින ම බව වසර 40 ක් තිස්සේ දිවයින ලිපි පරිශීලනය කළ අපේ ගෞරවණීය පාඨකයාට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. සාහිත්‍යය, කලාව, සංස්කෘතිය ආරක්‍ෂා කළා පමණක් නොවේ. විවරණය ද කළේය. ලංකාවේ කැසට් විචාරය හා ගීත විචාරය මුලින් ම පටන් ගත්තේ දිවයින කියා නන්දා මාලිනිය නිතර කියන කතාවක් තිබේ. එය සත්‍යයකි. ගාමිණී සුමනසේකරයන් ඒ විචාර කලාවේ පුරෝගාමියා වූ බව මට මතකය.

දිවයින නිතර අලූත් අලූත් නිර්මාණ, අලූත් අලූත් සම්ප‍්‍රදායන්, අලූත් අලූත් කලා කෘති හා කලාකරුවන් රටට හඳුන්වා දෙන්නට පුරෝගාමී වූවා සේ ම ඒ නිර්මාණ කෘති හොඳ ද නැද්ද යන තක්සේරුව ද පුවත්පත් කලාව තුළින් කරන්නට පුරෝගාමී විය. දිවයින ඇත්ත කියන්නට කිසි විට පැත්තක් ගත්තේ නැත. පැත්ත ගියත්් ඇත්තම කීවේය.

පැත්ත ගියත් ඇත්තම කියන කලාවේ පුරෝගාමී මෙහෙවර සිදුවන්නේ වර්තමාන දිවයින කතුවැකි කලාව තුළ යැයි මම හඟිමි. අතීතයේ කිත්සිරි නිමල් ශාන්තයන් විසින් කතුවැකි ලිවීමේදී පෙන්නුම් කළ පුරෝගාමී වෙනසද අද තව තවත් වර්ණවත් වී ඇත්තේ අනුර සොලමන්ස් ලියා පළ කරන සුවිශේෂ කතුවැකි රටාව තුළය. ඒවා විටෙක සදය උපහාසයෙන් පිරි ශාන්ත සෞම්‍ය ලියවිලිය. තවත් විටෙක නිර්දය කටුක කර්කෂ විවේචනයන් ය. ඒ දිවයින සම්ප‍්‍රදායේ කතුවැකි වියමන් කලාවයි.

40 වසරක දිවයින යුග මෙහෙවර සාර්ථකව ඉටුකිරීම සඳහා ඉවහල් වූයේ මේ ඉහත කී අදීන චින්තකයන්ගෙන් හා සටන්කාමීන්ගෙන් සමන්විත කර්තෘ මණ්ඩලයම පමණක් නොවේ. ඒ අභීත කණ්ඩායමට පන්නරය දුන් නායකයෝ පිරිසක් ද තිරය පිටුපස සිටියහ. ඒ යෝධ ශක්තිය උපාලි විජයවර්ධනයන්ගෙන් ලැබුණත් එතුමන්ගේ වියෝවෙන් පසුව දිගින් දිගටම පවත්වාගෙන යන කාර්යභාරය හා යුග මෙහෙවර සුළුපටු අභියෝගයක් වූයේ නැත. අභියෝගය උපාලි මැතිඳුන්ගෙන් පසුව නොපසුබටව කරට ගත්තී ලක්මණි ආර්. වෙල්ගම මැතිනියයි. වත්මන් කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මැතිඳුන් ඒ අසීරු මෙහෙවරෙහිදී ඉන්‍ද්‍රඛීලයක් සේ නොසැලී එතුමිය පිටුපසින් වූ යෝධ ශක්තියම විය.

දිවයින 40 වසරක සාර්ථකත්වයට තුඩුදුන් කණ්ඩායම තුළ දිවයිනට ආදායම් සෙවීමේ මාහැ`ගි වගකීම කරට ගත් කණ්ඩායම දැන්වීම් අංශයයි. බෙදාහැරීම් අංශය කලට වේලාවට පත්තරය නොපමාව රටපුරා බෙදාහරිනු ලැබීය. බෙදාහරින්නට හොඳ පත්තරයක් සකසා දෙන්නට නිෂ්පාදන අංශයේ ටයිප්සෙටින්, සෝදුපත්, පිටු සැකසුම්, ආට් හා කැමරා අංශවල සහෝදරයෝ දිවා ? නොබලා දුෂ්කරක‍්‍රියා කළහ. එසේ සකසා දෙන පත්තරය මුද්‍රණය කර දුන්නේ හෝමාගම මුද්‍රණ අංශයේ සහෝදර සහෝදරියන් ය. ඒ සියලූම දෙනා 40 වසරක දිවයින සාර්ථකත්වයේ සම කොටස්කරුවන් බව මා කියන්නේ කෘතවේදීවය. වත්මන් කර්තෘ මණ්ඩලයේ සෑම සාමාජිකයකුටම ද ඒ උචිත ගෞරවය ලබා දෙන්නට සතුටුය.

දිවයින තක්සලාවක් යැයි මා මුලින්ම කීවේ මේ අපේ රටේ පත්තර කලාවට දිවයින දායාද කළ ශිල්පීන් නිසාය. අද තවත් පත්තර අලූතින් ලංකාවේ තිබෙන බව සැබෑය. එහෙත් ඒ පුවත්පත්වල වත්මන් කර්තෘවරු හා කාර්ය මණ්ඩල වෘත්තිකයෝ බොහෝදෙනෙක් ”දිවයින නිර්මාණයන්” බව අද මා කියන්නේ අභිමානයෙනි. කරුණාදාස සූරියආරච්චි, ධර්මන් වික‍්‍රමරත්න, සිසිර පරණතන්ත‍්‍රි, මහින්ද අබේසුන්දර ගාමිණී ජයලත්, නයනක රන්වැල්ල, චාමින්ද වාරියගොඩ, කිත්සිරි නිමල්ශාන්ත, සුන්දර නිහතමානි වැනි අය එහිදී ආඩම්බරයෙන් සිහිපත් කරමි. කර්තෘ මණ්ඩලවල පමණක් නොව නිෂ්පාදන හා ශිල්පී අංශවල මෙන්ම දැන්වීම් බෙදාහැරීම් අංශවලටද ශිල්පීන් පුහුණු කරන තක්සලාව දිවයිනය.

මේ වසර 40 පුරාම දිවයින තුළ අඛණ්ඩව සේවය කළ සේවකයන් සොයා ගැනීම අසීරුය. එහෙත් වත්මන් මූල්‍ය අධ්‍යක්‍ෂ ලක්‍ෂ්මන් පෙරේරා මැතිඳුන්, වත්මන් දැන්වීම් සහ අලෙවි අධ්‍යක්‍ෂක ධනංජය විතානගේ මැතිඳුන් දිවයින පටන්ගත් මුල්ම දිනයේ සිට මේ දුෂ්කර ක‍්‍රියාවේ යෙදුණු පුරෝගාමී කොටස්කරුවන් බව මා මෙහිදී සිහිපත් කරමි. දිවයින මට නොව මා දිවයිනට සම්බන්ධ වූ අයුරු නොකීවේ නම් මේ සටහන අසම්පූර්ණ වේ යැයි සිතමි. ඒ නිසා මේ ටික ද ලියා තබමි.

මා දිවයිනට සම්බන්ධ වූයේ දිවයින බිහි වී වසර 11 ක් ගත වූ පසු දිවයිනේ ස්වර්ණමය යුගයේදී ය. එනම් 1993 දී දිවයින ඉරිදා පුවත්පතේ ප‍්‍රධාන ශීර්ෂ පාඨය හා ඇතුළු පිටුවල සිරස්තල ඇඳීමට ගිය චිත‍්‍ර ශිල්පියකු ලෙස ය.

එවකට පරිගණක තාක්‍ෂණයෙන් හැඩගැන්වුණු නානාවිධ මෝස්තරයේ අකුරු පත්තර කලාවේ තිබුණේ නැත. අපි ලිපි සඳහා භාවිත කළේ නූතන වෙරිටයිප් මැෂින්වලින් ලබා ගත් බ්‍රෝමයිඞ් අකුරු විලාශයකි. ලිපි ශීර්ෂ සඳහා අවශ්‍ය හැඩයට අවශ්‍ය තරමට අකුරු අපි අතින් ඇඳිය යුතු විය.

ඒ ඒ ලිපිවලට සරිලන අයුරින් සිත්ගන්නා සුළු චිත‍්‍ර, කාටුන හා සිරස්තල එවකට අතින් ඇඳ දුන්නේ විනී හෙට්ටිගොඩ නම් වු අසහාය චිත‍්‍ර ශිල්පියා ය. නොවැළැක්විය හැකි කරුණක් නිසා ඔහු දිවයිනෙන් සමුගත්තේය. චිත‍්‍ර ඇඳීමට ජනක රත්නායක, ශාන්ත කේ. හේරත් වැනි තවත් විශිෂ්ටයන් කිහිපදෙනෙක් ම දිවයිනේ සිටියහ. අකුරු අඳින්නට කෙනෙක් අවශ්‍ය විය.

එවකට දිවයින ප‍්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකර ශීර්ෂ පාඨ අඳින්නට අයෙකු සොයන බවට පණිවිඩය ගෙනාවේ මා මිත‍්‍ර හරිත් ගුණවර්ධන ය. ඔහුත් මමත් දෙදෙනාම කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෝ වීමු.

හරිත් මාව දිවයිනට කැඳවාගෙන ගියේය. ගාමිණී සුමනසේකර මාව උපාලි පුවත්පත් සමාගමේ පිරිස් කළමනාකරු උපාලි වනිගසූරිය වෙත යැව්වේය. තාවකාලික පදනම මත මා රැකියාවට බඳවා ගන්නට ඔහු කැමැති විය.

‘‘හැමදාම එන්න ඕන නෑ. සිකුරාදාට ඇවිත් ‘හෙඩින්ස් ටික’ ඇඳලා දෙන්න. කීයක් ඕනද මාසෙකට…

මම නිරුත්තරය. මැටිල්ඩා මෙනවිය මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් පසෙකය.

රුපියල් 1000 ක් ඇත්ද?

හොඳටම ඇති. මට කියැවිණි. එවකට මාසෙම කන්නට මහපොළ ශිෂ්‍යත්වයෙන් අපට ලැබුණේ රු. 350 කි. දිවයිනෙන් මට 1000 ක් ලැබීමට යෝජිතය.

මා පස්වනක් පී‍්‍රතියෙන් පිනා ගියේය.

එදා පටන් මා දිවයිනට එක්වීමි. පසුකලෙක කම්පියුටර් තාක්‍ෂණයෙන් නානාවිධ අකුරු මුද්‍රණ ක්‍ෂේත‍්‍රයට පැමිණීමත් සමගම මගේ අකුරු ඇඳීමේ කාර්යභාරය අවසන් විය. එහෙත් දිවයින කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඞ්මන්ඞ් රණසිංහයෝ මට පෑනක් අතට දුන්නේය. සුමනසේකරයෝ මට ‘දිවයිනට ලියන කලාව’ කියා දුන්නේය. අනිකුත් පත්තරවලට මෙන් නොව, දිවයිනට ලියන කලාව වෙනස් එකකි.

එතැන් පටන් දිවයින මගේය. මම දිවයිනේ ය.

දිවයිනෙන් බිහි වූ දිවයින හැඩ කළ බොහෝ ප‍්‍රකට ලේඛකයන් මෙහෙය නිම වී කාලය නිම වී දිවයිනෙන් බැහැරට ගියා සේ මා ද යම් දිනක දිවයිනෙන් සමුගනු නිසැකය. එහෙත් ඒ කවුරු ගියත් නොනිමි සමාජ මෙහෙවර ඉටුකරනු උදෙසා එදා මෙන්ම අදත් හෙටත් දිවයින පවතිනු නිසැකය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment