නොමිලේ ලැබුණු කන්ටේනර් සියයක වෛද්‍ය සැපයුම් එපා කියලා!

196

තවමත් එකතැන පල්වෙන ඖෂධ ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලැබී නොමැති වගක් පෙනී යයි. ටෙන්ඩර් කැඳවීම් වලින් තොර රැගෙන ආ ඖෂධවල නිසි ප්‍රමිතියක් නොමැති බව පසුගියදා මාධ්‍ය මගින් අනාවරණය වුවත් තවමත් රජය මගින් ඊට නිසි පිළියම් යොදා නොමැති බවද පෙනෙන්නට ඇත. මේ වන විට රටෙහි තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවට දේශපාලඥයන් මතය වූවත් මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ ඇතිවී ඇති අර්බුදය තවමත් එසේමය. ෂඵත්‍ හරහා ලැබුණු මුදලින් මෙරට ප්‍රශ්න යම් සේ අඩුකරගැනීමට පත්වූවා යැයි උද්දාමයට පත්ව රතිඤ්ඤා දල්වා සතුට පළකළත් තවමත් නිසි විසඳුමක් නොමැති මෙරට පවතින ඖෂධ හිඟය මුළු රටේම රෝගී ජනතාවගේ ජීවිත කෙරෙහි බලපා ඇත්තේ භීතියකි.

ඖෂධ ප්‍රශ්නය හැරුණු කොට මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ දත්ත ගබඩා පද්ධතියේ ක්‍රියාවිරහිත වීමක් ගැන පසුගිය දිනවල අපට අසන්නට ලැබිණි. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන් විසින් මාධ්‍ය හමුවකදී පැවැසූ පරිදි මෙරට සෞඛ්‍ය පද්ධතියේ පරිගණක දත්ත පද්ධතිය පිළිබඳ ගැටලුවකි. පසුගිය වර්ෂයේ මැයි මාසයේදී පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී අනාවරණය වූ පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඒ වනවිට භාවිත කරන ඖෂධ සම්බන්ධ පරිගණක දත්ත පද්ධතිය අකාර්යක්‍ෂම භාවය නිසා ඉතා ඉක්මනින් එය භාවිතයෙන් ඉවත් කොට නව දත්ත පද්ධතියක් සකස් කරන බවට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළත් මේ දක්වා සෞඛ්‍ය දත්ත පද්ධතිය භාවිත කිරීම ප්‍රශ්න සහගත වී ඇත. කෝප් කමිටුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කෝප් කමිටුව පවා නොමග යවමින් තමන්ට පෞද්ගලික වාසි ලබා ගැනීමේ අරමුණින් ඖෂධ දත්ත පද්ධතිවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත ප්‍රකාශ නිකුත් කොට ඇත්දැයි සැකයක් මතුවන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පසුගියදා පැහැදිලි කළේය.

මිලියන 70 ක් වටින ඖෂධ දත්ත පද්ධතිය වෙනුවට මිලියන 700 ක පද්ධතියක්මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මිලියන හැත්තෑවකට අධික මුදලක් වියදම් කරමින් සකස් කළ පරිගණක ඖෂධ දත්ත පද්ධතිය වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මිලියන 700 කට අධික මුදලක් වියදම් කරමින් නව පරිගණක ගත ඖෂධ දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා තෝරාගත් ජාත්‍යන්තර සමාගමකට බාර දෙනු ලැබුයේ මේ පසුගිය කාලය තුළදීය. අලුතින් සකස් කරන ලද එම පරිගණකගත ඖෂධ දත්ත පද්ධතිය මේ වනවිට ඖෂධ සැපයුම් ඒකකය හා ස්ථාන ගණනාවකටම හඳුන්වා දීමට කටයුතු කර ඇතත් එම අලුතින් හඳුන්වා දෙනු ලැබූ දත්ත පද්ධතිය පෙර හඳුන්වාදුන් දත්ත පද්ධතිය තරම්වත් කාර්යක්‍ෂමම ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මේ වන විට ඖෂධ කළමනාකරණ ක්‍ෂේත්‍රය බරපතළ අර්බුදයකකට ලක්ව ඇති බව මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා පෙන්වා දෙනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ කළමනාකරණ සම්බන්ධ දත්ත පද්ධතිය වෙනස් කිරීමට පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙන් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර එම විමර්ශන වාර්තාවේ සඳහන් කරුණුවලට වඩා පරස්පර විරෝධී අන්දමට කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීම හරහා නව පරිගණකගත දත්ත පද්ධතියට අවසර ලබාගෙන ඇතත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මගින් ලබාදුන් නිර්දේශ එම කැබිනට් පත්‍රිකාව තුළ සඳහන් නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවද එහිදී ඒ මහතා පැවැසීය.

එසේම මෙම පරිගණක ගත ඖෂධ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සහ අමාත්‍යවරයා මාධ්‍ය හමුවලදී එකිනෙකට පරස්පර විරෝධී කරුණු ප්‍රකාශ කරන බවත් දැනටමත් පැරණි ඖෂධ දත්ත පද්ධතිය භාවිත නොකරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇතත් අලුතින් හඳුන්වා දී ඇති දත්ත පද්ධතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවන බැවින් මීට පෙර පැවැති ඖෂධ දත්ත පද්ධතියට අඛණ්ඩවම අත්තිකාරම් මුදල් ගෙවමින් පවත්වාගෙන යෑමට උත්සාහ කිරීම ගැන සොයා බැලිය යුතු බවද පැවැසීය.

නව පරිගණකගත දත්ත පද්ධතිය හඳුන්වාදීම සඳහා මිලියන 700 කට අධික මුදලක් වැයවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇතත් එම නව පරිගණක දත්ත පද්ධතිය පෙර පැවැති ඖෂධ දත්ත පද්ධතිය තරම් කාර්යක්‍ෂමතාවකින් ක්‍රියාත්මක නොවන බව භාවිත කරන ඖෂධවේදීන් හා රෝහල් පද්ධතිය වෙතින් දැනගන්නට ලැබී ඇති බැවින්ද එම දත්ත පද්ධතිය සඳහා ගෙවිය යුතු මිලියන 700 කට අධික මුදල ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යම් සූදානමක් පවතින්නේ නම් වහාම එය නතර කොට නව පරිගණක දත්ත පද්ධතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේදැයි නිසි අධීක්‍ෂණයක් සිදුකළ යුතු බවද එසේ නොවන්නේනම් රුපියල් මිලියන 700 කට අධික මුදලක් අවභාවිත වෙන නිසා එය මහජනතාවට බරපතළ පාඩුවක් විය හැකි බවද ඔහු පවසයි.

රටක ඖෂධ සම්බන්ධ දත්ත පද්ධතිය ඉතා වැදගත් වන බවත් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව ඖෂධ සඳහා රුපියල් බිලියන 50 කට අධික මුදලක් වියදම් වන බැවින් මේ අන්දමට නිසි පරිදි ඖෂධ නියාමනය සම්බන්ධ දත්ත පද්ධතියක් නොමැතිවීම හරහා එම දත්ත අස්ථානගතවීම මකා දැමීමට හෝ වෙනස් කිරීමට නිලධාරීන්ට හැකියාවක් ඇති බැවින් බරපතළ තත්ත්වයක් නිර්මාණය කරන බවද වෛද්‍ය සංගම් පවසයි.

රට ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති අවස්ථාවකදී පැරණි ඖෂධ දත්ත පද්ධතියේ අඩුපාඩු සකස් කොට එය ක්‍රියාත්මක කොට ක්‍රමානුකූලව වඩාත් කාර්යක්‍ෂම ඖෂධ සම්බන්ධ දත්ත පද්ධතියකට මාරුවීම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ ලේකම්වරුන් හා වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ අවශ්‍යතා මත මේ අන්දමට කඩිමුඩියේ නව දත්ත පද්ධතියක් හඳුන්වාදීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළයුතු බවද සෞඛ්‍ය වෘත්තියන්ගේ ජාතික පෙරමුණ අවධාරණය කරයි. මක්නිසාද යත් පෙර පැවති ඖෂධ දත්ත පද්ධතිය සහ අලුතෙන් හඳුන්වාදෙන ඖෂධ තත්ත්ව පද්ධතියේ පවතින අඩුපාඩු බොහෝදුරට එක සමානවීම හරහා නව දත්ත පද්ධතියෙන් විශේෂ වාසි කිසිවක් හිමි නොවන බැවිනි.

එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දිගින් දිගටම දූෂණ වංචාවල නිරත වෙද්දී එම ලේකම්වරුන් අධ්‍යක්‍ෂවරුන් හා නිලධාරීන්ගෙන් නාමලේඛන ඉතා පැහැදිලිව විගණන වාර්තාවල සඳහන්ව තිබියදීත් ඒවා සම්බන්ධයෙන් ඉතා අලස ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා රටේ මහජනතාවගේ බදු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් විසින් දිගින් දිගටම අවභාවිත කරමින් සිටින බවයි. තවද ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණ වලදී බරපතළ දූෂණ වංචා සිදුවන බවට තමන් විසින් අඛණ්ඩව පෙන්වාදෙත්දීත් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට සෞඛ්‍ය ලේකම්වරයා හෝ බලධාරීන් අසමත්වීම සෞඛ්‍ය පද්ධතියේ දුර්වල දේශපාලන නායකත්වයේ අනුහසින් සිදුවන බවට තමන් සැක කරන බවද ඔහු අවධාරණය කරයි.

ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාපිළිවෙත ප්‍රශ්න සහගත බවත් තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම අඛණ්ඩව සිදුවන බවත් හදිසි තත්ත්වයන්ට මුවාවී සිදුවන මෙම දූෂණ මැඬපැවැත්වීමට වහා කටයුතු කළයුතු බවද ඔහු පවසයි.

දැනට රට තුළ තාවකාලිකව ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් යම් විසඳුමක් ලැබී ඇති මොහොතකදී ඖෂධ මිල පාලනයට වහාම පියවර ගත යුතු බවද මේ රටේ ජනතාව ඖෂධ මිල ඉහළ යෑමේ බරපතළ අර්බුදයකට ලක්ව ඇති බැවින් ඒ සම්බන්ධව අවධානය යොමුකළ යුතු බවද සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

වැඩිමිලයට ඖෂධ ගෙන්වන ටෙන්ඩරය අවලංගුයි

රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටින්නේද මේරටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ තාක්‍ෂණික වශයෙන්ද මාෆියාවක් සිදුවන බවය. පසුගියදා අනාවරණය වූ වැඩි මිල මෙරටට ඖෂධ ගෙන්වීම පිළිබඳ මාධ්‍ය මගින් අනාවරණය කෙරුණද මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා එය ද්වේශසහගත ප්‍රකාශයක් බව පැවසුවද එසේ වැඩිමිලයට කැඳවූ ටෙන්ඩරය අවංගු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මගින් සිදුකර ඇති බවද හෙළිවී ඇති බවකි. අදාළ ටෙන්ඩරය අවලංගු කිරීම පමණක් මෙයට පිළිතුරක් නොවන බවත් එය මෙම ඖෂධ මාෆියාවේම කොටසක් බව ඔහු පවසයි. මෙසේ ටෙන්ඩර් අවලංගු කර මෙරට රෝහල් තුළ ඖෂධ හිඟයක් මවා පා අධ්‍යක්‍ෂවරුන් මගින් වෙළෙඳපල මිලට ඖෂධ ගැනීම සිදුකරන්නේ එකට හතර ගුණය පමණ මුදල් මත සිදුකරන කොමිස් ව්‍යාපාරයකි. වෛද්‍ය සංගම් ප්‍රකාශ කරන පරිදි ටෙන්ඩර අවලංගු කිරීම නොව අඩුම ලංසුවට ඖෂධ මිලදී ගැනීම හරහා මෙරට ඖෂධ හිඟයට නිසි පිළිතුරක් ලබාගත හැකි බව පෙන්වා දෙයි. ඖෂධ ගෙන්වීමේදී දහගුණයක් පමණ ලංසු තැබීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංස්කෘතිය වී ඇති බවත් බොහෝ විට එම සමාගම එකම එක සැපයුම්කරුවකු පමණක් වන බව බවද ඔහු පෙන්වා දෙයි. මේවා අධ්‍යනය කිරීමට සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය සේවාවේ තාක්‍ෂණික අංශය හිටියද මේවා පිළිබඳව අධ්‍යනයක් සිදුනොවන අතර මේවන විට සෞඛ්‍ය සේවාවට ලැබෙන ආධාර වැඩිවී ඇති අතර 2019 වර්ෂයටත් වඩා මේවනවිට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා මුදල් වැයකර තිබෙද්දීත් මෙරට සෞඛ්‍ය සේවාව තුළ කිසිදු දෙයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි. අයි එම් එෆ් ආධාර ලැබුණත් රටෙහි භාණ්ඩ මිල යම් ප්‍රමාණයක පහත වැටී තිබුණද මෙරට සෞඛ්‍ය සේවාව තුළ කිසිදු වෙනසක් සිදුවී නොමැති බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලැබුණු සෞඛ්‍ය ආධාරත් ඉබිගමනින්…

චීන බැංකුවක් මගින් මෙරටට ඖෂධ ගැනීමට ආධාර ලැබී ඇතත් ඒ ආධාර දෙනු ලබන්නේ චීන ඖෂධ සඳහා පමණක් බවත් ඒ ඖෂධ ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් තිබේද යන්න මෙරට වෛද්‍ය සංගම් ප්‍රශ්න කරති. මෙරටට සෞඛ්‍ය ආධාර ලැබුණත් ඒ ආධාර වල ප්‍රතිඵල මෙරට ජනතාවට තවමත් ලැබී නොමැති බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි. ලෝකයේ රටවල් ගණනාවක් මෙරට වෛද්‍ය ක්‍ෂේත්‍රයට අවශ්‍ය උපකරණ ගණනාවක් පරිත්‍යාග කර ඇතත් මේවන විට කන්ටේනර් 100 ක අලුත් වෛද්‍ය උපකරණ මෙරටට ලබාදීමට පියවර ගෙන ඇතත් එම උපකරණ ගෙන්වාගැනීම සඳහා රජයෙන් සහයෝගය අවශ්‍ය බවත් වෛද්‍ය සංගම් පෙන්වා දෙයි. එහෙත් එසේ ලැබුණු ආධාර මාස දෙකක් පමණ ප්‍රමාදවී ඇති බවත් එසේ ආධාර ලැබීමෙන් හදිසි මිලදීගැනීම් නැවැත්වීමට සිදුවන නිසා කොමිස් මුදල් නොමැතිවීමට ඉඩ ඇති බැවින් මේ සඳහා අදාළ බලධාරීන් මන්දගාමී ස්වරූපයක් දක්වන බවද වෛද්‍යවරු පෙන්වා දෙයි.

වෛද්‍යවරු රට හැර යයි

සමාජ අස්ථාවරභාවය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු දෙදහසකට ආසන්න සෞඛ්‍ය සේවකයෝ දැනමත් තම රට හැර ගොස් ඇත. පසුගියදා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා වාට්ටු වසා දැමුණේ ළමා රෝග විශේෂඥවරු තිදෙනාම රට හැර යෑම නිසාය. පවතින ආර්ථික අර්බුද සහ ඒ ආශ්‍රිතව පැන නැගුණ තත්ත්ව හමුවේ මෙරට වෘත්තිකයන් විශාල වශයෙන් මේ වනවිට විදේශගත වීමට සමගාමීව මෙම තත්ත්වය නිර්මාණය වී ඇත.

මෙරට ආර්ථික අර්බුදයට ෂඵත්‍ ණය මුදල මගින් තාවකාලික උත්තරයක් ලැබුණද මෙරට සිරවී ඇති ණය උගුලින් ගැලවීමද එසේ ලැබුණු ණය යෙදවීම අද ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත වී ඇත. අද වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ පවතින අඩුපාඩු නිසා රෝගීන් වැඩි ප්‍රමාණයක් තමන්ට අවශ්‍ය ඖෂධ නොමැතිව හා අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සිදුකරගැනීමට නොහැකිව මරණමංචකයටම වැටී ඇත. එසේ තිබියදී ආණ්ඩුව මගින් ලැබෙන ණය මුදල් හා මෙරට ජනතාවගේ බදු මුදල් නිකරුනේ කිසිදු වගවිභාගයකින් තොරව විනාශ කිරීමෙන් එයට වන්දි ගෙවීමට සිදුවී ඇත්තේද මෙරට දුප්පත් අහිංසක ජනතාවටමය. රටෙහි වෛද්‍ය සංගම් පවසන පරිදි කොතරම් වෛද්‍ය ආධාර ලැබුණද, මුදල් ආධාර ලැබුණද කිසිදු දෙයක් මෙරට සෞඛ්‍ය සේවයට ලැබී නොමැති බවකි. එසේ නම් එසේ ලැබෙන ආධාර වලට සිදුවන්නේ කුමක්ද? ආණ්ඩුව තවමත් එසේ ලැබෙන ආධාර මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ලබානොදීම පිටුපස කුමන හෝ හස්තයක් කුමන්ත්‍රණයක් තිබිය යුතුය. එසේත් නැති නම් තමන්ගේ සාක්කු කොමිස් මුදලින් පුරවා ගැනීම මෙරට සෞඛ්‍ය සේවයේ බලධාරීන් නිලධාරීන් තවමත් අත්හැර නොමැතිද යන්න යන ප්‍රශ්නයක් අපට සිතීම සාධාරණ නොවේද?

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment