නොරොච්චෝලයට ආපු ගල්අඟුරු නැවට ගෙවන්න සල්ලි නෑ

125

නොරොච්චෝලේ බලාගාරයට ගොඩබෑම සඳහා පැමිණ ඇති ගල්අඟුරු නැවකට ගෙවීමට මුදල් නැතැයි ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය. ගල්අඟුරු නැව් 12 ක් සැපයීමට ඉදිරිපත් වූ ඉන්දුනීසියානු සමාගම ද එම ගල්අඟුරු සැපයිය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු කීය.

මෙටි්‍රක් ටොන් 60,000 ක් පමණ රැගෙන මෙම නැව පෙබරවාරි 07 වැනිදා පුත්තලමට පැමිණි බවත් එම නැවට ඊයේ (09 දා) දහවල් වන තෙක් රුපියල් බිලියන එකයි දශම පහක පමණ මුදල ගෙවා ගැනීමට නොහැකිවී ඇති බවත් ඒ මහතා කීය. මීට අමතරව ඊයේ (09 දා) සහ අද (10 දා) තවත් නැව් දෙකක් පැමිණෙන බවත් එම නැව් දෙකට ද මුදල් ගෙවා ගැනීම ගැටලුවක් බවත් ඔහු කීය.

අප්‍රේල් මාසයේ වාරකන් කාලය එළැඹීමට පෙර ගල්අඟුරු නැව් 33 ක් ගෙන්වා ගත යුතු බවත් 07 වැනිදා පැමිණියේ පසුගිය වසරේ කැඳවූ ටෙන්ඩර්වලට අදාළ නැව් 21 න් 11 වැනි නැව බවත් ඔහු කීය.

ගල්අඟුරු සමාගමට ගල්අඟුරු සපයා ගැනීමට නොහැකිව සිටින බව ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළත් ඇත්ත තත්ත්වය නම් ගල්අඟුරු සපයා ගත හැකි වුවත් ඒ සඳහා මුදල් ගෙවීමට නොහැකිවීම බව ද සුමනසේකර මහතා කීය.

ඉන්දුනීසියානු සමාගමක් මෙරටට ගල්අඟුරු නැව් 12 ක් සැපයීම සඳහා පසුගියදා ගිවිසුම් ගතවීමෙන් පසු මෙරට මගින් ණයවර ලිපි පවා නිකුත් කළ බවත් එහෙත් එම සමාගම සම්බන්ධ වෙනත් හේතුවක් නිසා ගල්අඟුරු මෙරටට සැපයීමට එම සමාගමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් සුමනසේකර මහතා පැවසීය.

ගල්අඟුරු බලාගාරය සතුව යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීම සඳහා මාර්තු මාසය තෙක් ගල්අඟුරු සංචිත පවතින බවත් ඒ මහතා පැවසීය.

ගල්අඟුරු නැවක් මෙරටට පැමිණ ගොඩබෑමට දින 04 ක් 05 ක් ගතවන බවත්, මුදල් ගෙවීම් ප්‍රමාදවීම නිසා ප්‍රමාද ගාස්තු පවා ගෙවීමට සිදුවීමේ අවදානමක් පවතින බවත් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment