නොරොච්චෝලෙට ගල්අඟුරු අර්බුදයක්!

170

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව තිබෙන ගල්අඟුරු සංචිත ලබන ඔක්තෝබර් 25 ට පෙර අවසන්වීමෙන් පසු එම බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම මේ වනවිට බරපතළ අර්බුදයකට ලක්ව තිබේ.

ගල්අඟුරු මිලදී ගැනීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය අවලංගුවීම නිසා 2021 වසරේ කැඳවා තිබූ ටෙන්ඩරයට අනුව මෙරටට ගල්අඟුරු සැපයීමට ගල්අඟුරු සමාගම පියවර ගනිමින් සිටින බව එම සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා “දිවයින” කළ විමසීමේදී කියා සිටියේය.

ගල්අඟුරු සමාගම එලෙස ප්‍රකාශ කළද සැපයුම්කාර සමාගම් වෙත ඩොලර් ගෙවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ කියා සිටිති.

2021 වසරේ ටෙන්ඩරයට අනුව ගල්අඟුරු නැව් 21ක් ගෙන ඒමට හැකියාව ඇතැයි ගල්අඟුරු සමාගම පැවසුවද තවත් නැව් වාර 19ක් ගෙන ආ යුතු අතර එයද බරපතළ ගැටලුවක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ලබන බ්‍රහස්පතින්දා රැස්වන කැබිනට් මණ්ඩලය හමුවට නව යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ. ගල්අඟුරු සැපයිය හැකි ඕනෑම සමාගමකට ඒ සඳහා අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිතය.

පවතින ඩොලර් ප්‍රශ්නය හා ටෙන්ඩර්වල ඇති වූ ප්‍රශ්නවලට අමතරව ලබන ඔක්තෝබර් අග දක්වා මුහුදේ වාරකන් කාලය නිමවන තෙක් මෙරටට ගෙන එන ගල්අඟුරු ගොඩබෑමට නොහැකි බවද ඉංජිනේරුවෝ කියා සිටිති.

දැනට පවතින ගල්අඟුරු හිඟයට තාවකාලික විසඳුමක් ලබාදීමට හැකි වුවත් 2023 අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා යළි වාරකන් කාලය ඇතිවන බැවින් ලබන අවුරුද්දේ ගල්අඟුරු හිඟය තවත් උග්‍ර වී මෙරට විදුලි අර්බුදය දරුණු වන බවත් ඔව්හු කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment