නොරොච්චෝලෙට ගල් අඟුරු නැව් 17ක් හරි – ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති

103

නොරොච්චෝල ගල් අඟුරු සමාගමට අවශ්‍යව තිබෙන ගල් අඟුරු නැව් 33 න් 17 ක් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

පසුගිය 07 වැනිදා පැමිණි 12 වැනි නැවට මුදල් ගෙවා ගල් අඟුරු ගොඩබෑම අද (13 දා) දහවල් අවසන් කරන බවත්, නොරොච්චෝලට පැමිණ ඇති 13 සහ 14 වැනි නැව් දෙකට මුදල් ගෙවීමට තිබෙන බවත් පැවසූ ඒ මහතා තවත් නැව් 03 කට සියයට 30 ක් වන මූලික ගෙවීම් සිදුකර ඇති නිසා එම නැව් තුන ද පැමිණෙමින් ඇතැයි කීවේය.

වාරකන් කාලය අප්‍රේල් මාසයේ ආරම්භ වුවත් මීට පෙර අප්‍රේල් මාසය පුරාත් මැයි 05 වැනිදා දක්වාත් ගල් අඟුරු නැව් පැමිණ නොරොච්චෝලෙට ගොඩබා ඇති බව දත්ත පරිශීලනය කිරීමේදී පෙනී ගොස් ඇතැයි ද ඒ මහතා පැවසීය. බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැව් 33 ම ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කර තිබෙන අතර එම නැව් පැමිණි පසු ලබන සැප්තැම්බර් වන තෙක් එම ගල්අඟුරු සංචිත බලාගාරයට ප්‍රමාණවත් බවත් සුමනසේකර මහතා කියා සිටියේය. බලාගාරයේ යන්ත්‍ර තුන මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 810 ක් විදුලිය එක්කරනු ලබයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment