නොරොච්චෝලෙට රුපියලුත් නෑ

96

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීමට ඇමරිකන් ඩොලර් නොව රුපියල් සොයා ගැනීමට විදුලිබල මණ්ඩලයට නොහැකිවී ඇතැයි බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. දැනට බලාගාරය සතුව ගල් අඟුරු සංචිත පවතින්නේ දින 30 කට පමණ බවද ගණන් බලා ඇත.

ගල්අඟුරු ලබාගැනීමට අවශ්‍ය මුදල් රුපියල් වශයෙන් මහා බැංකුව හෝ වාණිජ බැංකුවලට තැන්පත් කිරීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට පවතී නම් ඩොලර්

ලබාගැනීමේ හැකියාව ඇති බව බලාගාර උසස් නිලධාරියා කීවේය. මෙටි්‍රක් ටොන් හැට දහසක ගල් අඟුරු නැවක් මිලදී ගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන අටයි දශම හතරක් (8.4) පමණ වැයවන බවත් ඉන් සියයට 30 ක මුදලක් ගෙවා ගල් අඟුරු ඇනවුම් කරන බවත් ඔහු කීය.

ගල් අඟුරු රැගෙන ආ 12 වැනි සහ 13 වැනි නැවට මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටියත් 12 වැනි නැවට පෙරේදා (14 දා) සවස මුදල් ගෙවූ බවත් 13 වැනි නැවට අද (16 දා) මුදල් ගෙවීමේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු කීය. දැනට ගල් අඟුරු රැගත් 14 වැනි නැවද පැමිණ තිබෙන අතර එම නැවටද මුදල් ගෙවීමට තිබේ. මෙම නැව් තුනේම ගල්අඟුරු ගොඩබා අවසන්වීමෙන් පසු යම් ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවිය හැකි බවත් එය දිනකට ඇමරිකන් ඩොලර් විසි දහසක් වැනි මුදලක් වියහැකි බවත් ඔහු කීය. තවත් ගල්අඟුර නැව් 02 ක් 19 හා 23 වැනි දිනවල පැමිණීමට නියමිතය.

වාරකන් කාලය අප්‍රේල් මාසයේ එළඹීමට නියමිත අතර ඊට පෙර බලාගාරයේ යන්ත්‍ර තුන සඳහා ගල් අඟුරු නැව් 33 ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ. ගල් අඟුරු ගෙන්වා ගතහැකි බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීම ප්‍රධාන ගැටලුව බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment