නොරොච්චෝලෙන් අඩු වන විදුලිය කැලණිතිස්සෙන් හා ජලයෙන්… විදුලි කැපීම වැඩි නොවේ

80

නොරොච්චෝල ගල් අඟුරු සංචිත අඩුවීම හේතුවෙන් බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවැනි යන්ත්‍රය පෙරේදා (22 දා) රාත්‍රි සිට නතර කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මේ නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක විදුලි ධාරිතාවයක් අහිමි වෙයි. එම ප්‍රමාණය කැලණිය ද්විත්ව ශක්ති බලාගාරයෙන් මෙගාවොට් 165 ක් සහ ඉතිරිය ජල විදුලියෙන් ලබා ගැනීමට නියමිත බවත් එම නිසා පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව වැඩි නොකරන බවත් විදුලිබල මණ්ඩලය පවසයි. බලාගාරයේ යන්ත්‍ර දෙකෙන් මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක් කෙරේ.

බලාගාරයේ පද්ධතියෙන් ඉවත් කළ යන්ත්‍රය වසර හයකට වරක් සිදුකළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය. මෙම යන්ත්‍රය මෙම වසරේ සිදු නොකර ලබන වසරේ මැයි මාසයේ අනිවාර්ය නඩත්තු සඳහා නතර කිරීමට නියමිතව තිබිණි.

දැනට බලාගාරයේ ජනන යන්ත්‍ර දෙක සඳහා ජනවාරි 08 පමණ තෙක් ගල් අඟුරු සංචිත පවතින අතර තවත් මෙට්‍රික්‌ ටොන් හැට දහසක පමණ ගල් අඟුරු නැවක් ජනවාරි 08 වැනිදා පැමිණීමට නියමිතය. යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීම සඳහා දෛනිකව ගල් අඟුරු මෙට්‍රික්‌ ටොන් 5000 ක් පමණ අවශ්‍ය වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment