නොරොච්චෝලේ යන්ත්‍රය යළි සක්‍රිය වෙයි – රාත්‍රී විදුලි කප්පාදුව අද සිට නවතී

112

නොරොච්චෝල විදුලි බලාගාරයේ අක්‍රියව පැවැති යන්ත්‍රය අද (23දා) ක්‍රියාත්මක කර නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමත් සමඟ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අද සිට නතර කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරයි.

සති තුනක පමණ කාලයක් නොරොච්චෝල ගල්අඟුරු

බලාගාරයේ එක් යන්ත්‍රයක් අක්‍රියවීම නිසා විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවයක් අහිමිවී තිබුණි. එම යන්ත්‍රය අලුත්වැඩියා කර නැවත පද්ධතියට එකතුකිරීමත් සමඟ සවස් කාලයේ සිදුකරන විදුලි කප්පාදුව නතර කිරීමට හැකිවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ සවස් කාලයේ විදුලි කප්පාදුවක් නොකරන බවට මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළ බවත් එය තවදුරටත් දීර්ඝ කරනවාද යන්න ඉදිරියේදී සලකා බැලිය හැකි බවත් ඒ මහතා කීය.

මේවනවිට විදුලිය අවශ්‍යතාවයෙන් සියයට පනහක් පමණ ජල විදුලියෙන් සපුරා ගන්නා බවත් ඒ මහතා කීය. නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීම සඳහා දිනපතා ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 7500ක් පමණ අවශ්‍ය වේ. එමගින් නිපදවන විදුලි ධාරිතාවෙන් මෙගාවොට් 810ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන අතර ඉතිරිය බලාගාරයේ ප්‍රයෝජනය සඳහා යොදවා ගනී.

රටේ වාර්ෂික විදුලි නිෂ්පාදනය ජල විදුලියෙන් සියයට 35ක් ගල් අඟුරුවලින් සියයට 35ක් සහ සූර්ය සහ සුළං බලයෙන් සියයට 06ක් පමණ සිදුකෙරේ. ඉතිරි සියයට 24ක ප්‍රමාණය ඩීසල් සහ දැවිතෙල් මගින් නිපදවන අතර ඉන්ධන අර්බුදයක් රටේ පවතින නිසා එමගින් අඛණ්ඩව විදුලිය නිපදවීමට බාධා පැනනැගී ඇත. 2015 මෙගාවොට් 500ක සාම්පූර් බලාගාරය ඉදිකිරීමට නොහැකිවීම නිසා අඛණ්ඩව පැය 24 පුරා විදුලි ලබාදීමට ඉන්ධන මත යැපීමට සිදුවී තිබේ. එම බලාගාරය ඉදිකළේ නම් 2020 වසරේ මෙගාවොට් 500ක් ජාතික පද්ධතියට එකතු කිරීමේ හැකියාව ලැබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment