නොරොච්චෝලේ යළි අද නැගිටියි

127

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අක්‍රිය වූ යන්ත්‍රය යළි ක්‍රියාත්මක කර අද (26 දා) සිට ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

පසුගිය 15 වැනිදා යන්ත්‍ර තුනෙන් පළමු යන්ත්‍රයේ කාර්මික දෝෂයක් වාර්තාවීමත් සමග එම යන්ත්‍රය අක්‍රිය කිරීමට බලාගාර ඉංජිනේරුවන් කටයුතු කර තිබිණි.

එම යන්ත්‍රය පසුව පරීක්‍ෂා කිරීමේදී බටයක දෝෂයක් සිදුව තිබෙන බව හඳුනාගෙන එම බට කොටස ඉවත්කර අලුත් කොටසක් එයට එක්කිරීමට කටයුතු කර තිබිණි.

බලාගාරයේ යන්ත්‍ර තුනක් පවතින අතර ඉන් මේ වනවිට එක් යන්ත්‍රයක් පමණක් ක්‍රියාත්මකව පවතී. මෙහි තවත් යන්ත්‍රයක් අනිවාර්ය අලුත්වැඩියා සඳහා නතර කර තිබෙන අතර එහි අලුත්වැඩියා කටයුතු සැප්තැම්බර් මස අවසානයේ නිමවීමට නියමිතය. මෙහි අනෙක් යන්ත්‍රයේ ද දෝෂයක් හටගත් අතර එය අලුත්වැඩියා කර ඊයේ (25 දා) ජලය පිරවීමට කටයුතු කර තිබිණි. ජලය පිරවීමෙන් පසු යන්ත්‍රය ක්‍රියාත්මක කර දෝෂයක් ඇති නොවුවහොත් අද (26 දා) රාත්‍රිය වනවිට ජාතික පද්ධතියට නිපදවන විදුලිය එක්කළ හැකි බව ද එම නිලධාරියා කීය.

මෙහි යන්ත්‍ර තුනෙන්ම මෙගාවොට් 900 ක විදුලියක් නිපදවන අතර බලාගාරයේ කටයුතු සඳහා මෙගාවොට් 90ක් රඳවාගෙන මෙගාවොට් 810ක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment