නොරෝච්චෝලේ කැඩුණු යන්ත්‍රය ලබන සතියේ සිට වැඩ

101

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අලුත්වැඩියා සඳහා නතර කර තිබූ යන්ත්‍රයේ ද වැඩ අවසන් කර ලබන සතිය වනවිට එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය.

බලාගාරයේ යන්ත්‍ර දෙකක නිපදවන මෙගාවොට් 540 ක් මේ වනවිට ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අලුත්වැඩියා කළ යන්ත්‍රයේ ජනනය කරන විදුලිය ක්‍රමක්‍රමයෙන් වැඩිකර මෙගාවොට් 2700 ක් ජාතික පද්ධතියට එක්කිරීමට අදහස් කර ඇත. බලාගාරය සතුව මේ මස අවසන් වනතෙක් ගල්අඟුරු සංචිත පවතී. ගල්අඟුරු ගෙන ඒම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය අවලංගු වීම නිසා 2021 වසරේ කැඳවූ ටෙන්ඩරයට අනුව ගල්අඟුරු නැව් 19 ක් ගෙන ඒමේ හැකියාව පවතින බව බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම නැව් 19 ට අදාළව ගල්අඟුරු නැව් තුනක් ගැනීම සඳහා අත්තිකාරම් ගෙවා ඇතැයි ද ඔහු කීය. ඒ අනුව ගල්අඟුරු තොග රැගත් නැව් දකුණු අප්‍රිකාවේ සිට මේ මස 24, 30 සහ නොවැම්බර් 05 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව ද ඔහු කීය. මෙම නැව් තුන පැමිණීමෙන් පසු මේ වසරේ දෙසැම්බර් මුල් සතිය වනතෙක් බලාගාරය පවත්වාගෙන යා හැකිය. ගල්අඟුරු නැව් 08 ක් ගෙන්වීමට අදහස් කර තිබෙන අතර එම නැව් පැමිණියහොත් ජනවාරි මස මැද වනතෙක් බලාගාරය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment