නොලියැවෙන “දෙමළ දුයිෂෙන්” කතාව…

220

මම මෙහි “දෙමළ දුයිෂෙන්” යැයි ලියන්නේ “දෙමළ මහා සෑය” කියන්නා සේ ම බැතියෙනි. ආදරයෙනි. ගෞරවයෙනි. ඒ පසුබිමෙහි තබා මිස මේ කතාව තේරුම් ගැනීම අපහසු විය හැකි බැවිනි.

ඒ “දෙමළ දුයිෂෙන්” වනාහි, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ යටියන්තොට කැන්දල්ඔය දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති කරුණාකරන් සහෝදරයා ය.

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරම ප්‍රදේශවලින් එකක් වූ කැන්දල්ඔය නාවලපිටිය සීමාවේ පිහිටි, එහෙත් අතිශය සුන්දර ඊටත් වඩා දුෂ්කර ප්‍රදේශයකි. යටියන්තොට නගරයේ සිට බැලුවත් අති දුෂ්කර මඟක කිලෝමීටර් 33 ක් පමණ යා යුතුය. මාර්ගයේ අබලන් තත්ත්වය නිසා ම බස් රථය පාසලට කිලෝ මීටර් 12 පමණ තිබියදී නවතයි. පිටින් එන ගුරුවරයෙකු වේ නම්, නිසැකවම මේ කිලෝ මීටර් 12 උදේ හවස පයින් යා යුතුය. දරුවන් ගැන ගැටලුවක් නැත. ඔවුන් පාසල අවටම වතු කම්කරු දරුවන් ය. රටේ සාමාන්‍ය තත්ත්වය අනුව නම් වසාදමා වල් බිහි ව තිබිය යුතු පාසලකි. ඒ මේ විදුහල්පතිවරයා නැත්නම් ය.

පාසලේ හැම අඩුපාඩුවකට ම, ගැටලුවකට ම ඔහු, ඔහුගේ ම පිළිතුරු නිර්මාණය කර ඇත්තේ ය. ගුරුවරුන්ගේ අඩුවට තමන් ම ඒ විෂයයන් ඉගෙන හෝ පාසලේ ආදි සිසුවකු මෙහෙයවා හෝ විශ්ව විද්‍යාල මිතුරෙකුගෙන් හෝ උදව් ගෙන කිසිදු අඩුපාඩුවක් දරුවන්ට සිදු නොවන්නට වග බලාගෙන තිබේ.

පාසලේ පිරිසිදුකම ද, පරිපූර්ණභාවය ද ඔහුගේ කැපවීම් ය. සියල්ලෙහි සුසාධිතබව (Well made) අනිවාර්යය වෙයි. එය කැපී පෙනෙන්නේ අඩි 100ඥා100 වත් නැති “ක්‍රීඩා පිටිය” යැයි නම් කෙරූ බිම් කඩෙහි, සියලු අංගෝපාංග අඩුවක් නැතිව පවත්වන ක්‍රීඩා උත්සවයෙහි ය. ඒ ඉඩෙහි පවා නිවාස හදයි, ඔලිම්පික් පහන දල්වයි, පදක්කම් ගෙන යන ග්‍රීක කන්‍යාවන් හිදී!. පරිපූර්ණය…! ඒ දරුවකු හෙට ඔලිම්පික් උළෙලට ගිය ද එහි සිදුවන දේ ගැන වික්ෂිප්ත නොවනු ඇත. ඔහු සියල්ලෙහි පිළිවෙළ දනී. අධ්‍යාපනය නැතහොත් ශික්ෂණය යනු මෙය නොවෙද?.

නොලියැවෙන "දෙමළ දුයිෂෙන්" කතාව…
බස් රථය අසීරුවෙන් රැගෙන එන අයුරු

කරුණාකරන් මහතා නැවතී සිටින්නේ පාසලේ ම ය. ඔහු පැය අටේ රාජ්‍ය සේවකයකු හෝ පැය හයේ විදුහල්පතිවරයකු නොවේ. ඔහු පූර්ණ කාලීන ජාතික සේවකයෙකි.

වතුකරයේ දරුවන්ට යෞවනය ඉක්මවන්නටත් පෙර මුහුණ දෙන්නට වන ව්‍යසනය මත්පැන් හා දුම්වැටිය. වයස අවුරුදු පහළොව පමණ වන විට පවා මත්පැනට යොමු වන්නේ පාරිසරික සාධක හා අනියම් පෙළඹවීම් නිසාය. සංඛ්‍යා ලේඛනවල නැති මේ ඛේදවාචකය කැන්දල්ඔය වතුයායටත් දරු සම්පතටත් පොදු වන්නට ඉඩ තිබුණි. එහෙත් කරුණාකරන් නමැති කරුණාභරිත ගුරු දෙවියා ඔවුන් ගලවාගෙන ඇත්තේය.

පාසල් වේලාවෙන් පසු මේ විදුහල්පතිවරයාට දරුවන් අත හැරුණේ නැත. එසේ අතහැරියා නම් අද අපට කතා කරන්නට විශිෂ්ට පාසලක් නැත.

මේ දරුවන්ගෙන් බහුතරයක දෙමාපියෝ වතු කම්කරුවෝ නැතිනම්, දෛනික කුලීකරුවෝ ය. ආහාර සඳහා මුළු දිනයම ඔට්ටු වෙන ඔවුනට දරුවන් සිය තුරුලේ හොවා “හදන්නට” ඉඩක් නැත.

මේ අඩුව පුරවන්නේ කැන්දල් ඔය විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරු මණ්ඩලයයි. ඔවුන් දරුවන්ට පාසලේ පැය විසිහතරේම වුව ආරක්ෂාව සහිතව ඉගෙනගැනීමට අධ්‍යයන කටයුතුවලට ඉඩ විවර කරයි. පාසල් වේලාවෙන් පසු චිත්‍රපටයක් බලා ඒ ගැන කතා කිරීම, පොතක් ගැන, ගීතයක් ගැන කතා කිරීම, විනෝදාස්වාද හෝ වාද විවාද දරුවන්ගේ අභිරුචිය පරිදි ආකර්ෂණය ලැබෙන පරිදි සිදු කෙරෙයි. දරුවන්ට මත්පැනෙහි දුම්වැටියේ ආස්වාදය සොයා යන්නට උවමනාවක් නැත. පාසල ඔවුනට ජීවිතයේ අපමණ සෞන්දර්යයන්ට දොර විවර කර දෙයි.

නොලියැවෙන "දෙමළ දුයිෂෙන්" කතාව…
පාසල

දෙමාපිය තුරුලේ වැඩෙන්නට වරම් නැති දරුවෝ පාසල් තුරුළේ රැකගෙන සාහිත්‍ය, කලා, චිත්‍රපට ආදියෙහි නිරත කර මතින් ඈත් කර, ආනන්දයෙන් ප්‍රඥාවට සමීප කරන්නට විදුහල්පතිතුමා සිය කාලය, ශ්‍රමය, ධනය මතු නොව සිය අනාගතය ද කැප කර ඇති සේය.

එමතු නොවේ. ඉගෙනුමට පසුබාන දරුවන් විෂයෙහි විදුහල්පතිතුමාගේ මැදිහත්වීම අපූරුය.

එවැනි දරුවන් තමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ තේ වත්තේ වැඩ කිරීමට යවයි. අවු වැසි සීතල මැද, අවම ප්‍රතිලාභයකට ශ්‍රමය වැගිරීමේ අපහසුව අත්දැකීමෙන් දැනීමට ඉඩ දෙයි.

එක් පැත්තකින් ජීවිත කාලයම ඒ දුක විඳි දෙමව්පියන්ට සහනයක් වීමේ අධිෂ්ඨානය ද, අනික් පසින් ඒ දුක්ඛිත ජීවිතය අර්ථ විරහිත ශ්‍රම වැගිරීම ඒ ආකාරයෙන් ජීවිත කාලය පුරාම කරන්නට වේ යැයි බියද දරුවන් තුළ උපදී. ඔවුහු නව ජවයකින්, කැපවීමකින් අධ්‍යයන කටයුතුවලට යොමු වේ. කැප වේ.

“වතු කම්කරු රැකියාව පහත් රැකියාවක් විදිහට මම දරුවන්ට ඒත්තු ගන්වන්න උත්සහ කරනවා නෙවෙයි. මේ හැම දරුවෙක්ම වෛද්‍යවරයෙක්, නීතිඥයෙක්, ගුරුවරයෙක්… වගේ වෘත්තිකයෙක් කරනවා කියන උත්සහයක නෙවෙයි පාසල ඉන්නේ… නමුත් මේ දරුවෝ කියන්නේ ඕනෑම උසස් තත්ත්වයකට පත් වෙන්න පුළුවන් බීජ. අපි ඒ බීජ සරු පසක පැල කරලා එක වගේ වතුර පොහොර දාලා, පැළෙන් පැළේ වෙනස්කම් අනුව සාත්තු කළොත් තමයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ. අමාරුවෙන් එක පැළයක් දෙකක් වෙන්කරගෙන ලොකු කරලා ‘මේක තමයි අස්වැන්න’ කියලා කියන්න බෑ. වගාවේ හැම ගහකම එකතුව තමයි අස්වැන්න. අපේ අධ්‍යාපනයෙයි, විභාග ක්‍රමයෙයි තියෙන ගැටලුව තමයි ‘අස්වැන්න’ වෙනුවට ගහකින් දෙකකින් තෘප්තියට පත්වීම.”

ඒ කරුණාකරන් විදුහල්පතිවරයාගේ දැක්ම ය.

නොලියැවෙන "දෙමළ දුයිෂෙන්" කතාව…
පුස්තකාලයක් ලෙස සකස් කළ බස් රථය

පාසල ගැනත් විදුහල්පතිවරයා ගැනත් ලියන්නට ආසන්න හේතූව ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලයත්, මොබිටෙල් ආයතනය ඇතුළු ආයතනත් එක්ව ලබා දුන් පාසල් පුස්තකාල බස් රථය කැන්දල්ඔය දෙමළ විද්‍යාලයට ලැබීමය.

ඈත දුෂ්කර ප්‍රදේශයක පිහිටීමත්, මාර්ග අපහසුවත් නිසා බස්රථය පාසලට ගෙන යන්නට හැකිවේද යන්න විවිධ මතවාද නැගිණි.

එවැනි බාධා කරුණාකරන් විදුහල්පතිතුමාටවත් පාසලටවත් “බාධා” නොවේ.

බස්රථය ගෙන ආ ඈදාගෙන යෑමේ රථය අගනුවර ප්‍රදේශයේ ඩිපෝවක එකකි. ඒ දුෂ්කර මාර්ගයේ යන්නට නුහුරු නිසාම ඔවුන් බිය වන්නට ඇත. පාසලට කිලෝමීටර් 20 ක් පමණ තිබියදී එය දමා ගොස් ඇත.

එහෙත් කරුණාකරන් වැනි මිනිහෙක් “විනාශ කළත් පරාජය කරන්නට බැරි” අඳෝනා නොනගන, පැමිණිලි නොකරන කෙනෙකි. නාවලපිටිය ඩිපෝවෙන්, තමන් වියදම් කරගෙන අදාළ පහසුකම් සපයාගෙන බසය පාසලට ගෙන ගියේ ය.

බසය තබන ආවරණය සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙනි.

මෙපමණක් නොවේ. උසස් පෙළ කඩයිම ඉක්මවන්න මේ කඳුකර පාසලේ දරුවන් 37 දෙනෙකු සමත්ව සිටී. ඔවුන් 37 දෙනාම උපාධිධාරින් වනවා නියතය. ඊට ඇවැසි වැඩ පිළිවෙළ පාසලම සකස් කර ඇත.

පාසලේ භෞතික මානව සම්පත්, ඒවායෙහි “නිල” ගුණාත්මකභාවය, භෞමික දුෂ්කරතාව, පාරිසරික දුෂ්කරතාව, සමාජීය පසුබිම ආදිය දෙස බලන විට මේ ජයග්‍රහණය වනාහි “ඇස් කන් ඇදහිය නොහැකි” ආශ්චර්යයකි.

මෙවන් කර්ණ කටුක මුඩු බිමක මේ තරම් අස්වැන්නක් නෙළිය හැක්කේ බෝධිසත්ව කැපවීමෙන්, මාතෘ දයාවෙන් හා පිතෘ නිස්සරණාධ්‍යාශයෙන් දරුවන් වෙනුවෙන් ජීවිතය දුන් “දුයිෂෙන්” කෙනෙකුට මිස වෙන කාටද?

නොලියැවෙන "දෙමළ දුයිෂෙන්" කතාව…
බස් රථය විවෘත කරමින්

වතු පරිසරයෙහි ලා ප්‍රමාණ කරන්නේ අපේ පහසුවට නමුත්, එතුමන්ගේ ආධ්‍යාශය හා ප්‍රවේශය ජාතික අධ්‍යාපනය සකස් විය යුත්තේ කෙසේද, නියමාර්ථයෙන් “ශික්ෂණය” යනු කුමක්ද? යනාදියට සදාදර්ශයක් දී නැතිද?

මේ කියන්නේ මේ සියල්ලට කරුණාකරන් විදුහල්පතිතුමාට සම්මාන දෙන්නට කියා නොවේ.

මේ කියන්නේ මේ දරුවන්ට ඇඳුම් පැළඳුම් කෑම බීම පොත් පත් අරන් එන්නට කියා නොවේ. එවැනි කිසිවක් අවශ්‍ය නැත. මේ දරුවන්ට අවශ්‍ය ඔවුන්ගේ විදුහල්පතිතුමාට ඔවුන්ට දීමට බැරි විශ්ව අත්දැකීම්ය. ලෝකයත් සමඟ ඉදිරියට යන්නේ කෙසේද ලෝකය ඉදිරියට යන්නේ කෙසේද?, මේ දුර්ගයේ සිට ම ලෝක අත්දැකීම් ගන්නේ කෙසේද, ඔබේ අත්දැකීම් මොනවාදැයි ඔවුන් සමඟ අඩුම තරමේ කතා කරනවා නම් හොඳය.

ඇවිත් සතියක් නැවතී ඔවුන් සමඟ ඉංග්‍රිසියෙන් කතා කර ගියත් සෑහේ.

“පහසුකම් අඩුවීම, විෂය ගුරුවරු හිඟය, දරුවන්ට පොත්පත් සපත්තු ඇඳුම් වගේ දේවල් තියෙනවා. නමුත් ඒවා හැමදාම තිබුණා. වැරහැලි ඇඳීම හරි බඩගින්නේ ඉඳීම හරි ලස්සන පංති කාමර නැති එක අධ්‍යාපනයට බාධාවක් කර ගත යුතුයි කියලා මම හිතන්නේ නෑ. නමුත් ඒවා තියෙනවා නම් අපේ ගමන පහසුයි. දරුවන්ට දුක් නොවිඳ ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා නම් ඒක තමයි සතුට.

නමුත් අපිට අවශ්‍ය ලෝකය සමඟ ඉදිරියට යන දරුවෙක්. කොළඹ රාජකීය විද්‍යාලයෙ දරුවන්ට ලැබෙන කෑම, ඇඳුම්, ගුණතේමක යටිතල පහසුකම් නැතිවීම අපේ දරුවක්ට අනාගතයට බාධාවක් වෙන එකක් නෑ. නමුත් ඔවුන් ලබන ජාත්‍යන්තර අත්දැකීම්, භාෂා හා තාක්ෂණික දැනුම, අන්තර්ජාලය ඔස්සේ ජාත්‍යන්තර ලෝකයත් එක්ක ඉදිරියට යෑම වගේ දේවල් නැතිව බෑ. ආන්න ඒ දේවල් අපිත් එක්ක බෙදාගන්න ඉදිරිපත් වෙනවා නම් ඒක මේ දරුවන්ට කිව නොහැකි තරම් වටිනා දෙයක්.”

විදුහල්පති තුමාගේ අදහස එයයි.

ස්ථීරවම ඔවුන්ට ඕනෑ නිකම්ම නිකං “වැඩසටහනක්” නොව “වැඩපිළිවෙළකි.” ඔවුන් ලෝකය ඉදිරියට ගෙනයාමට විශිෂ්ටයන් හා සමානයන් ලෙස ගෙනයාමට රටට වගකීමක් යුතුකමක් තිබේ. එවිට යටියන්තොට කැන්දල්ඔය සීතල කඳුමුදුනේ තමන් රෝපණය කළ වනස්පතින් දෙස බලා ප්‍රිතියෙන් උදම්වන දවස් රාශියක් අපේ දුයිෂෙන්ට තිබෙනු ඇත. ඒ හැම මොහොතක්ම ඔහුට අමිල සම්මානනීය මොහොතවල් වනු ඇත.

ගාමිණි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment