නෝනාවරුනි මහතුනි කරුණාවන්ත – කියනව අපේ දුක ඔහෙලට අහගන්ට…

1762

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ අවස්ථාවේදී තාප්පවල චිත‍්‍ර ඇන්ද තරුණ පිරිස අද කොහේදැයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප‍්‍රසිද්ධ කතාවකදී පසුගිය දා විමසීය. ඒ තරුණ පිරිස කොහිදැයි දැනගැනීම සඳහා ඊළඟ ජනාධිපතිවරණයේ ප‍්‍රතිපල එනතුරු බලා සිටිය යුතුය. ගිය වතාවේ ගෝඨාභයට ඡුන්දය දුන් හැටපන් ලක්ෂයෙන් අඩුවන ඡුන්ද ගණනක් ඊළඟ ජනාධිපතිවරණයේදී දැකගත හැකි වන්නේද, එසේ අඩු වූ ඡුන්ද ප‍්‍රමාණය තුළ එදා තාප්පවල චිත‍්‍ර ඇන්ද තරුණ පිරිසද සිටින බව ස්ථිරය. අපගේ ආයතනික සහෝදරයා වූ The Island පත‍්‍රයේ පළවූ පුවතකින් අද මේ කතු වැකිය අරඹනු ලැබේ. කරුණාවන්ත වියපත් කාන්තාවක් පසුගිය දවසක යාචක ගැහැනියකට මුදලක් දුන්නාය. පසුම්බියෙන් මුදල් ගන්නා අතර යහපත් කාන්තාවගේ ක්‍රෙඩිට් කාඞ් එක බිම වැටිණ. ඇයට නොදැනෙන්නට එම ක්‍රෙඩිට් කාඞ් පත අහුලාගත් යාචක කාන්තාව ප‍්‍රදේශයේ තිබෙන සියලූම සුපර් මාර්කට්වලින් බඩු ගන්නට පටන් ගත්තාය. එහෙත් පසුව ඇය පොලිසියට හසුවිය. පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ පෙරකී යාචක කාන්තාවට සිඟා කෑමෙන් උපයාගත් සුවිශාල ධනස්කන්ධයක් තිබෙන බවත් ඒ අතර ඇයට අයත් විශාල නිවෙස් දෙකක් ඇති බවත්ය. තමාට සිඟමන් දුන් යහපත් ත්‍යාගශීලී කාන්තාවගෙන් සොරාගත් ක්‍රෙඩිට් කාඞ් පත යොදාගෙන යාචක කාන්තාව විසින් වොෂින් මෙෂින් එකක්, තම සැමියා සඳහා මත්පැන් තොගයක් සහ මිල අධික ආහාර ද්‍රව්‍යය ද ලබාගෙන තිබිණ. ශ‍්‍රී ලංකාව තුළ අන් කවරදාකටත් වඩා සිඟන්නෝ බෝවී සිටිති. කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පවතින් සිඟන උවදුර වඩාත් අමානුෂික තත්ත්වයක් පෙන්වයි. කුඩා දරුවන් කුලියට ගෙන ඔවුන්ට නිද්‍රාජනක ඖෂධ පොවා නිදි ගන්වා ඇකයේ ගසාගෙන සිඟමන් යදින ගැහැනුද කපුරු, පාන්තිර, හඳුන්කූරු විකුණන ව්‍යාජයෙන් සිඟමන් යදින ගැහැනුද මෙරට නාගරිකය තුළ බහුලය. සෑම සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිටම සිඟන ගැහැනු හතර පස් දෙනෙක් සිටිති. ආණ්ඩුව මේ සමාජ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගත යුතුය. මහ පාරවල සිඟමන් යදින ජනයා ගෙනගොස් පුනරුත්ථාපනය කරන කඳවුරක් රිදියගම තිබේ. මේ කඳවුරට සිඟන්නන් දහ දෙනකු ගෙනගිය විට ඉන් නව දෙනෙක්ම පැන යති. කඳවුර තුළ පුනරුත්ථාපනය වී එළියට ගොස් රැුකියාවක් කර මුදලක් උපයනවාට වඩා සිඟමන් යැද දිනකට රුපියල් තුන් දහසේ සිට දස දහස් දක්වා වූ දෛනික ආදායමක් ඉපැයීමට ඔවුහු කැමැත්තාහ. සිඟා කෑම යනු පුළුල් ව්‍යාපාරයකි. සිඟා කෑම සඳහා මිනිසුන්, ළමයින් සහ ගැහැනුන් පුරුදු කරන, ”නෝනාවරුනි මහතුනි කරුණාවන්ත, කියනව අපේ දුක ඔහෙලට අහගන්ට” යනුවෙන් ඔවුනට කවි කට පාඩම් කරන හිඟන මුදලාලිලා මේ රටේ සිටිති. 2018 දී මෙරට කළ සමීක්ෂණයකදී හෙළිදරව් වුණේ සිඟන්නන් 85000 සිට ලක්ෂය දක්වා පිරිසක් මෙරට නාගරිකයෙහි සිටින බවය. එසේම ඔවුන්ගෙන් 79% ක් කිසිදු ශාරීරික ආබාධයක් නැති අය බවද හෙළිවිය. මුදල් ඉල්ලන යාචකයන් මුදල් නොලැබුණ විට ප‍්‍රචණ්ඩ ලෙස හැසිරෙති. තමන්ට මුදල් නොදෙන අයට කුණුහරුපයෙන් බැණ වැදීම හෝ කෙළගැසීමත්, කාසිවලින් වාහනවල ඉරි ඇඳීමත් ඇතැමකුගේ කුණු ගතියයි.

 මේ කතුවැකිය මගින් අප ඉස්මතු කරන්නට උත්සහ කරන්නේ සිඟන්නන් පිළිබඳ ප‍්‍රශ්නය පමණක් ම නොවේ. මේ රටේ ඇතැම් දේශපාලනඥයෝද සිඟන්නන් හා සමාන වෙති. ඔවුහු පළමුව ජනතාවගේ ඡුන්දය සොරා ගනිති. එම ඡුන්දය ඔස්සේ බලයට පැමිණ මහජන දේපළ සොරා ගනිති. අතේ සතේ නැතිව දේශපාලනයට එන ඉරටු කැබලි වැනි ඇතැම් දේශපාලනඥයෝ පළමු මහ මැතිවරණයෙන් පසු සුවිශාල පංචස්කන්ධයකින් සමන්විත යෝධයන් බවට පත්වෙති. එවිට තවදුරටත් මෝටර් රථවල ගමන් කිරීමට ඔවුනට නොහැක. ඒ අනුව මොන්ටෙරෝ, ප‍්‍රාඩෝ, V 8 හෝ රේන්ජ් රෝවර් වැනි ලොරි භාග තරම් විශාල සුඛෝපබෝගී රථ මිලට ගැනීමට ඔවුන්ට සිදුවේ. මේවා මහජන මුදල්ය. මන්ත‍්‍රීවරයකුට ලැබෙන මාසික වැටුප සහ ඔවුන් පරිහරණය කරන රථවාහනවල මිල අතර විශාල පරතරයක් තිබේ. මේ ගැන විමසන විට ඔවුන් කියන්නේ තමන් සිඟන්නන් නොවන බවත් තම පියා අසුවල් මුදලාලි බවත් පියා සතුව ගොඩමඩ ඉඩම් අච්චර මෙච්චර තිබුණ බවත්ය. ඇතැම් ඇමැතිවරුන්ගේ ගෙදර ඇමැතිතුමාට අමතරව පවුලේ සියලූම දෙනාට වෙන වෙනම වාහන තිබේ. ඔවුන්ගේ ගෙවතු කාර් සේල් හා සමානය. සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී වූද හිටපු යුද හමුදාපති වූද සරත් ෆොන්සේකා පසුගිය දිනක වැදගත් හෙළිදරව්වක් කළේය. ඉකුත් යහපාලන ආණ්ඩුවේ සිටි කෙනෙක් එයාර් බස් ඞීල් එකක් හරහා ඇමරිකන් ඩොලර් මිලියන විස්සක් උපයාගත් බව ඒ හෙළිදරව්වය. ඒ පිළිබඳ කතාව කෙටියෙන් මෙසේය. ඊට පෙර තිබූ ආණ්ඩුව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා AIR BUS ගුවන් යානා කිහිපයක් ඇනවුම් කර තිබුණි. යහපාලන ආණ්ඩුව එම ඞීල් එක කැන්සල් කළේය.

 එසේ කැන්සල් කිරීමට වන්දි වශයෙන් එයාර් බස් සමාගමට ඩොලර් මිලියන 150 ක් ගෙවීමට සිදුවිය. යහපාලන ලොක්කා එයින් ඩොලර් මිලියන විස්සක් ගසා කා ඉතිරි ඩොලර් මිලියන 130 එයාර් බස් සමාගමට දුන්නේය. තත්ත්වය මෙසේ නම් ක්‍රෙඩිට් කාඞ් එක සොරාගත් යාචක කාන්තාව සතුව ගෙවල් දෙකක් තිබීම ගැන අප පුදුම විය යුතු නැත. අප පුදුම විය යුත්තේ ඇයට ගෙවල් හතරක් වාහන පහක් සමග ඇමැතිකමක් නොතිබීම ගැනය.

advertistmentadvertistment
advertistmentadvertistment