පංච මහා බලවේගය පාරට බහිනවා… ශ්‍රීලනිපය කාමරවලට යනවා – හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග

312

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දශක තුනකට අධික කාලයක් ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ජීවන් කුමාරතුංග මහතා පසුගියදා එම පක්ෂයෙන් ඉල්ලා අස්විය. තමන්ට පක්ෂය තුළ වූ කෙණෙහිලිකම් හේතුවෙන් තවදුරටත් එහි සිටිය නොහැකි බැවින් තමා පක්ෂයේ දැරූ සියලූ තනතුරුවලින් ඉල්ලා අස්වූ බව ඔහු පවසා සිටියි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිධුරය දැරූ ජීවන් කුමාරතුංග කැස්බෑව මොරටුව ආසන සංවිධායකවරයාද විය. මේ ඔහු හා ‘ඉරිදා දිවයින සංග‍්‍රහය’ කළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලනිපයේ උප සභාපති ඔබ. එවැනි තනතුරක් දරමින් සිටියදී ඇයි මේ එකපාරම පක්ෂය එපා වුණේ….?

පිළිතුර – පක්ෂයක් විදිහට ශ‍්‍රී ලනිපය අපහසුතාවට පත්වෙලා ඉන්න මොහොතක තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මම එකතු වුණේ. මට ඒ වෙලාවෙ වෙනත් දේශපාලන පක්ෂවලිනුත් ආරාධනා ලැබුණ. නමුත් මම ඒවා භාරගන්නෙ නැතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්ක තමයි එකතුවුණේ. මට මතකයි දකුණු පළාත් සභා මැතිවරණයේදි අපට දෙපාරක් වෙඩි තිබ්බ, ගැහුවා දකුණු පළාතෙන් අපි එළවන්න උත්සාහ කරද්දි ඒ කිසිම දේකින් සැලෙන්නෙ නැතිව දකුණු පළාත් සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරවන්න කැපවීම් කළා. එදා මේ රටේ උඩුයටිකුරුවෙලා තිබුණු දේශපාලන සංස්කෘතිය අවසන් කරල ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙපයින් හිටුවන්න අපි කටයුතු කළා.

2015 මැතිවරණයේදි ඇතිවුණු අවුල්සහගත තත්ත්වය අපිව කළකිරුණ. එදා මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පක්ෂය දෙකට කැඩුව විතරක් නෙමෙයි වෙනත් දේශපාලන පක්ෂයක මුක්කුවක් බවට පත් කළා. පාක්ෂිකයන් අපෙන් ඈත්වුණා. අදත් වෙන්නෙ ඒක තමයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පංචමහා බලවේගය, ප‍්‍රතිපත්ති ගොන්න අතේ තියාගෙන කිසිම දෙයක් වෙන්නෙ නැති ගාණට ඉන්නව. අද පංචමහා බලවේගයම පාරට බැහැල ඉන්නව. අපේ නායකයො කාමරවලට වෙලා දොරවල් වහගෙන ඉන්නව. ඒ වගේම මට නම් පෙන්නේ මේ මොහොතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් දේශපාලන කඳවුරු විසින් පාවිච්චි කරන බවක් තමයි.

ප‍්‍රශ්නය – ඔබ කියන විදිහට කවුද මේ හානිය ශ‍්‍රී ලනිපයට කරන්නේ….?

පිළිතුර – මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා. අද ශ‍්‍රී ලනිපයට අවශ්‍ය නායකත්වය ලැබෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – ඔබ අලූතෙන් සාමාජිකත්වය ලබාගන්න නව ලංකා නිදහස් පක්ෂයේ මොන වගේ තනතුරක්ද ඔබට ලැබෙන්නේ..?

පිළිතුර – නියෝජ්‍ය සභාපති තනතුර. ඒක ලියාපදිංචි පක්ෂයක්. අපි ඉදිරියේදී බොහොම පුළුල් දේශපාලන ගමනක් යන්න අවශ්‍ය පදනම සකස්කරගෙන අවසන්. අපේ බලාපොරොත්තුව පුද්ගලයෙක් කරලියට ගෙන ඒම නෙමෙයි. නිවැරැදි වැඩපිළිවෙළක්. වර්තමානයේ අර්බුදකාරී ප‍්‍රශ්නවලට විසඳුම් සහිත සැලසුම්සහගත වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන ඒමයි බලාපොරොත්තුව.

ප‍්‍රශ්නය – ඔබ එදා මාධ්‍ය හමුවේ කියපු දේවල් එක්ක හිතෙන්නෙ ඔබට ශ‍්‍රීලනිපය පල නොකියා පලා බෙදුවා කියා…

පිළිතුර – ඇත්තවශයෙන්ම ඔව්. හැබැයි මට වෙච්ච පුද්ගලික කෙණහිලිකම් මම ඉවසගෙන හිටිය. පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් අවස්ථා දෙකක් තිබුණ අපේ පාර්ලිමේන්තු නියෝජනයට. එතන හිටිය සීනියර්ම කෙනා මම. ඒ අවස්ථාව මට ලැබිය යුතුවම තිබුණ. නමුත් නාගරික කොට්ඨාසයවත් දිනාගන්න බැරිවුණු කෙනෙක් වෙච්ච මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයගෙ පෞද්ගලික ලේකම්ව එතන්ට දාල නාමයෝජනා යැව්ව. පසුවෙනිදා මම එතුමා හම්බවෙලා ඒ ගැන ඇහුවාම උඩ බලාගෙන උගුර කහ කහ හිටිය ඒකට උත්තරයක් දුන්නෙ නෑ. අන්තිමට වුණෙ කොළඹ දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන දෙකක් දිනාගන්න තිබුණු අවස්ථාව අහිමි කළා විතරක් නෙමෙයි අපේ පාක්ෂිකයන්ට ලොකු අසාධාරණයක් කළා.

ප‍්‍රශ්නය – 2015 පෙරළියෙදි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඔබව අපි ක‍්‍රියාකාරී විදිහට දැක්කෙ නෑ. මෛත‍්‍රිපාල සිරිසේන මහත්තය ඔබව හිතාමතාම පැත්තකට කරල තිබ්බද?

පිළිතුර – මගේ පුද්ගලික දුර්වලතාවක් තමයි මාධ්‍ය ඉදිරියේ නිතර පෙනී නොසිටීම. ඒත් මම මගේ පක්ෂය වෙනුවෙන් මොරටුව මැතිවරණ කොට්ඨාශය තුළත්, කැස්බෑව මැතිවරණ කොට්ඨාශය තුළත් පක්ෂය වෙනුවෙන් වෙන්න ඕන දේවල් කළා. 2015දී වුණු සිදුවීම් එක්ක පාක්ෂිකයන් යම් පසුබැසීමක හිටිය තමයි. නමුත් මම බොහොම අමාරුවෙන් ඒ බිඳුණු පාක්ෂිකයන් යම් මට්ටමකට ගෙනාව.

ප‍්‍රශ්නය – අපි දැක්ක මැද කොළඹ කාර්යාලයක් පසුගිය දිනක විවෘත කළ වෙලාවෙ මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයත් එක්ක ඔබතුමත් ඉන්නව. එකට කේක් කපල, කේක් කෑවා…

පිළිතුර – මට උත්සවවලට කතා කරනවා. මැද කොළඹ අවුරුදු දෙකක් සංවිධායකවරයා විදිහට කටයුතු කරපු ආසනයක්. මම ඒ වෙලාවෙ මෙහෙම තීන්දුවක් ගන්න තීරණය කරල තිබුණෙ නෑ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධායනක ආණ්ඩුවක් පිහිටුවාගන්න එක අදහස තමයි මගේ තිබුණෙ. ඒ අදහස ඉටුකරන්න එතන ඉඳන් බෑ කියල මට තේරුණා.

ප‍්‍රශ්නය – මෛත‍්‍රිපාල සිරිසේන මහත්තය විතරද ජීවන් කුමාරතුංග කියන චරිතයට එරෙහි වුණේ…

පිළිතුර – ඇත්තම මෛත‍්‍රිපාල සිරිසේන මහත්තය මට එරෙහි වුණ නිසාම මේ තීරණය ගත්ත කියනව නෙමෙයි. ඒවා සුළු ප‍්‍රශ්න මම මගේ දේශපාලනය තුළ මුහුණ දුන්න දේවල් දකිද්දි. හැබැයි වර්තමානයේ පක්ෂයක් විදිහට රටට ඉටුකළ යුතු යුතුකම ඉටුකරන්නට ශ‍්‍රී ලනිපය අසමත් කරල තියෙන්නෙ පක්ෂ නායකයො.

ප‍්‍රශ්නය – ඔබතුමා කියන්නෙ ආණ්ඩුවට මේ වෙලාවෙ තියෙන ජනතා විරෝධය හරියට පාවිච්චි කරන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අසමත්වෙලා තියෙන බවද?

පිළිතුර – ශ‍්‍රීලනිපය වෙලාවට මාධ්‍ය ඉදිරියට ඇවිත් ආණ්ඩුවට සුදුහුණු ගානව. වෙලාවට විවේචනය කරනව. මේ දෙබිඩි පිලිවෙත ඇත්තටම පොදුජන පෙරමුණේ වගේම ශ‍්‍රී ලනිපයෙ පාක්ෂිකයත් බොහොම කලකිරීමෙන් තමයි ඉන්නෙ. රැවුලයි කැඳයි දෙකම බේරගෙන යන්න මේ වෙලාවෙ බෑ. පක්ෂය වෙනුවෙන් මේ වෙලාවෙ අපි හරි තීන්දුවක් ගන්න ඕන.

ප‍්‍රශ්නය – මධ්‍යම කාරක සභාවෙදි මේව ගැන කතා කළේ නැද්ද?

පිළිතුර – මධ්‍යම කාරක සභාවෙ සියයට අනූපහක්ම කියන්නෙ ආණ්ඩුවෙන් ඉවත්වෙලා ස්වාධීනව ඉන්න ඕන කියන එක. හැබැයි ඒ වෙලාවට සභාපතිතුමා බොහොම ඇල් මැරුණු දියාරු පිළිතුරක් දීල මගහරිනව.

ප‍්‍රශ්නය – ජීවන් කුමාරතුංග, කුමාර වෙල්ගම වගේ අයත් ශ‍්‍රී ලනිපයෙන් අයින්වෙලා යනව. දැන් මෙහෙම ගියොත් ශ‍්‍රීලනිපයට අනාගතයක් තියෙයිද?

පිළිතුර – ශ‍්‍රී ලනිපයට තියෙන ලෙංගතුකම අදත් මගේ තියෙනව. වර්තමානයේ ඉටුවිය යුතු යුතුකම විදිහට මම දකින්නෙ පක්ෂ පාට මදකට පැත්තකින් තියල රට සහ ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන ඒමයි. නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පණදීල තියෙන්නෙ ඒ වැඩපිලිවෙළට. දැනටමත් ජාතික වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් සකසමින් තියෙනව. ඒක බොහොම කෙටි කාලයකින් රටේ ජනතාව ඉදිරියට අරගෙන එනව. ඒ වැඩපිළිවෙළක ජයග‍්‍රහණය කරවන්න කටයුතු කිරීම තමයි නව ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කටයුතු කරන්න. ඒ වගේම අපේ වැඩපිළිවෙළ පිළිගන්න ප‍්‍රගතිශීලී බලවේග විශාල ප‍්‍රමාණයක් අපිත් එක්ක එකතුවෙන්න කැමැත්ත පළ කරල තියෙනව.

ප‍්‍රශ්නය – නව ලංකා නිදහස් පක්ෂය පිහිටුවීම සමහරු අර්ථගන්වන්නෙ වෙල්ගම මහත්තය කාගෙ හරි ලණුවක් කෑමක් විදිහට. ඔබත් කෑවේ ඒ ලණුවෙ අනිත් පැත්තද?

පිළිතුර – මම කුමාර වෙල්ගම දරපු මතය තමයි පවුල් දේශපාලනය අවසන් වෙන්න ඕන කියන එක. ජනාධිපතිවරණයට ඉස්සරවෙලා එතුමා කිව්ව දේවල් අද වෙමින් තියෙනවා. එතුමට ලොකු තනතුරු අරන් ආණ්ඩුවෙ ඉන්න පුළුවන්කම තියෙද්දි ආණ්ඩුවෙන් එළියට බැස්සෙ ලොකු කැපකිරීමක් කරල. එතුමා අනාගතයට ලොකු දේශපාලන වේදිකාවක් හැදුව. මම හිතනව නව ලංකා නිදහස් පක්ෂය ජනතා බලාපොරොත්තු ඉටුකරන වේදිකාවක් වේවි.

ප‍්‍රශ්නය – ඇත්තටම කුමාරතුංග කියන නාමයට කවුරු හරි බයයිද?

පිළිතුර – මට ඒක හරියටම කියන්න බෑ. ඒත් මට හිතාගන්න බෑ ඇයි මේ කෙණහිලිකම් කියල.

ප‍්‍රශ්නය – ඔබතුමා කියල තිබුණ කුමාරතුංග භීතිකාවක් ගැන…

පිළිතුර – මෛත‍්‍රිපාල සිරිසේන රටේ ජනාධිපති කරන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විශාල බරක් කරගහගෙන ලොකු වගකීමක් ඉටු කළා. හැබැයි එතුමියට කලකිරවීම් ඇතිකරල එතුමියම එතනින් ඉවත් කළා. ඇයටත් පළ නොකිය පලා බෙදුව. ඒ හින්දම ජීවන් කුමාරතුංගට එහෙම වෙනවද කියල දන්නෙ නෑ.

ප‍්‍රශ්නය – ඔබතුමාගෙ පරමාදර්ශී දේශපාලන නායිකාව එතුමියනෙ. හිතෙන්නෙ නැද්ද ඔබ එතුමිය පස්සෙ යන නිසා ඔබ කියන කෙණහිලිකම් ඇතිවෙනව කියල….

පිළිතුර – ඔව් එතුමිය බණ්ඩාරනායක ගුණසමරුවට හෝ විජය ගුණ සමරුවකට මට ආරාධනා කළාම මට එතුමියව මගහරින්න බෑ. මම පක්ෂයෙ වගකිව යුත්තෙක් හැටියට ඇයි ඒවට යන්නෙ කියල මගෙන් ප‍්‍රශ්න කරනව. ඇයි මම ඒවාට නොගිහින් ඉන්නෙ. එහෙම හැංගිලා යන්න තරම් මගේ කොන්ද කඩාගෙන නෑ මම.

ප‍්‍රශ්නය – ඔබට දේශපාලනයට වඩා ඥාතීත්වය ලොකුයිද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. දේශපාලන ගමනේ එතුමිය මට විශාල ශක්තියක් වුණු නායිකාවක්.

ප‍්‍රශ්නය – මේ හැමදේකම තියෙන්නෙ විමුක්ති කුමාරතුංග කරලියට ගෙන ඒමේ පූර්ව සූදානමක්ද?

පිළිතුර – නෑ… එහෙම සැලැස්මක් නෑ. මම කියන්නෙම පුද්ගලයෙක් දිනවීමක් ගැන නෙමෙයි. මොකද පුද්ගලයෙක් දිනවල ජනතාව දැන් ෆේල්වෙලා තියෙන්නෙ. දිනවපු පුද්ගලයත් ෆේල්වෙලා තියෙන්නෙ. ඒ නිසා පුද්ගලයන් ජයග‍්‍රහණය කරවීම කෙරෙහි ජනතාවට ලොකු කලකිරීමක් තියෙනව. ඒ නිසා වැඩපිළිවෙළක් ජයග‍්‍රහණයක් කරවමු. අපි හදන වැඩපිළිවෙළ ජනතාව ලවා අනුමත කරගෙන ඒක ව්‍යවස්ථාවට ඇතුල් කරනව. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට රට ගෙන යනවා. නුසුදුසු පුද්ගලයෙක් අතට බලය යෑම නිසා අනර්ථයක් මිස සුගතියක්නම් වෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – නව ලංකා නිදහස් පක්ෂය හරහා කාවද කරලියට ගෙන්නේ. ඒක ඇතුළෙ තරුණ නායකත්වයක් අපි දකින්නේ නෑ?

පිළිතුර – රට පිළිගත්ත වැඩපිළිවෙළක් අපි ඉදිරියට ගෙනාවොත් මේක වටේ විශාල ජනතා ප‍්‍රසාදයක් ඇතිවෙයි. ඒකට විශාල තරුණ පිරිසක් ආකර්ෂණය වෙයි. තරුණයො තමයි මේකෙ වගකීම ගන්න ඕන. ඒ අයට අවශ්‍ය දොරවල් විවෘත කිරීම තමයි අපේ අරමුණ. ඒ සියල්ල සැලසුම් කරල තියෙනව. ඒ තරුණ පිරිසට අවශ්‍ය දේශපාලන දැනුම ලබාදෙන්න ඕන සැලසුම් අපි සකස් කරල තියෙන්නෙ.

ප‍්‍රශ්නය – තරුණයන් අතට දේශපාලනය දෙන්න යනව කියන ඔබතුමාගේ අදහසින් මට ආයෙත්මත් දැනෙන්නෙ ඔබලා මේ උත්සාහ කරන්නෙ විමුක්ති කුමාරතුංග කරලියට ගෙන ඒමට නේද කියල…

පිළිතුර – නෑ… විමුක්ති කියන්නෙ එක නමක් විතරයි. විමුක්තිත් මේ වැඩපිළිවෙළ පිළිඅරගෙන එන්න ඕන. මේ ජාතික වැඩපිළිවෙළට නායකත්වයට ඔහු සූදානම් නම් විමුක්තිටත් ඒ අවස්ථාව තියෙනව.

ප‍්‍රශ්නය – කොහොම නව ලංකා නිදහස් පක්ෂයෙ ඉදිරි සංවිධාන කටයුතු සිද්ධවෙන්නේ…

පිළිතුර – ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන් රටේ ඒ ඒ ක්ෂේත‍්‍රවල තියෙන අර්බුද සඳහා විසඳුම් සකස්කරමින් ඉන්නෙ. තව කෙටි කාලයක් තුළ ජාතික වැඩපිළිවෙළ ඉදිරිපත් වෙනව. ඒක අවසන්වූ වහාම අපි ඒක ජනතාව ඉදිරියට ගෙන එනව. විවිධ අයුරින් මේ වැඩපිළිවෙළ අපි ජනතාව අතරට ගෙනිහින් ඔවුන්ගේ අදහසුත් අපි අරගන්නව. අවසානයෙදි මේ වැඩපිළිවෙළ ගැන අපේ මතය තමයි ඒක රටේ ව්‍යවස්ථාවට ඇතුළුවෙන්න ඕන කියන එක. එතකොට ජනතාවටත් නෛතික බලයක් එනව මේ වගකීම භාරගත්ත රජය ව්‍යවස්ථාව රකිනවද කියල. එහෙම නොවන අවස්ථාවල නීතිය හමුවට යන්න අපි අවස්ථාව ලබාදෙනව. මේ තියෙන අර්බුදවලින් ගොඩ එන්න නම් පුරවැසියන් විදිහට අපි හැමෝම කැපවෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපේ අනාගත දරු දැරියන්ට සෞභාග්‍යවත් රටක් වෙනුවෙන් උරුමකම් කියන්න පුළුවන් වෙන්නෙ.

ප‍්‍රශ්නය – මොන වගේ බලවේගද ඔබතුමන්ලත් එක්ක මේ මොහොතේ එක්වෙලා ඉන්නෙ…

පිළිතුර – ආණ්ඩුවෙන්, අනෙක් පක්ෂවලින් බොහෝ පිරිසක් අපිත් එක්ක එකතුවෙන්න බලාගෙන ඉන්නව. මම හිතනව ජයග‍්‍රාහී බලවේගයක් ගොඩනැඟෙමින් ඉන්නව කියල.

ප‍්‍රශ්නය – අලූතෙන් පක්ෂයක් පිහිටුවල, ඒවායේ ප‍්‍රචාරණ කටයුතු කරල ජනතාව අතරට යන්න ලේසි නෑ. ඒකට වියදම් කරන්න මුදල් ඕන. නව ලංකා නිදහස් පක්ෂයට එහෙම මූල්‍යමය හැකියාවක් තියෙනවද?

පිළිතුර – ජනතාවගේ බලය තියෙනව නම් සල්ලි අපට අවශ්‍ය වෙන්නෙ නෑ. මගේ දේශපාලන ජීවිතයෙදි ජනතාව මාව ඔසවා තැබුව මිසක් සල්ලි බලයෙන් නෙමෙයි බලයට ආවෙ. සල්ලි විසිකරල බලය ලබාගැනීමේ දේශපාලන සංස්කෘතිය හැදුවෙ වර්තමානයෙ බලයෙ ඉන්න පිරිස තමයි. හැබැයි ජනතාවාදී ආණ්ඩුවක් රජයක් පිහිටුවීමේදී අවසානයේදී දිනන්න ඕන රට සහ ජනතාව මිසක් සල්ලි වියදම් කළ අය හෝ පක්ෂ පාට නෙමෙයි. මෙන්න මේ අර්ථවත් වැඩපිළිවෙළට තමයි අපි නායකත්වය දෙන්න බලාපොරොත්තු වෙන්නෙ.

ප‍්‍රශ්නය – ඔබතුමා කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරල තියෙනව. නියෝජ්‍ය අමාත්‍යධුරයන් දරල තියෙනව. මේ ආණ්ඩුව රට ගෙන යන වැඩපිළිවෙළ ගැන හිතෙන්නේ…

පිළිතුර – මේ ආණ්ඩුව දැන් කරන්න ඔවුන් මැතිවරණයට පෙර පොරොන්දු වුණු වැඩපිළිවෙළ නෙමෙයිනෙ. එදා මේ ආණ්ඩුව ඉදිරිපත් කළේ ජනතාවාදී වැඩපිළිවෙළක් නෙමෙයි. ජනතාව කලකිරිල තියෙන්නෙ ඒකයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තය දිනවන්න ජනතාව පෙළගැහුණෙ පිරිසිදු පාලනයක්, හොරුන්ට දඬුවම් දෙයි කියල බලාපොරොත්තුවෙන්. ඒත් ඒ කිසිම දෙයක් වුණෙ නෑ. අද වංචාව දූෂණය මොකෙන්ද කෙරෙන්නෙ නැත්තෙ. අද ජනතාවගේ කරපිට නැගල මේ පාලකයො කරන්නෙ ඒ අයට ඕන ගමන යන එක.

ප‍්‍රශ්නය – වර්තමානයේ තියෙන අර්බුදවලට කොහෙද විසඳුම් තියෙන්නේ…

පිළිතුර – මුලින්ම වංචාවට දූෂණයට තිත තියන්න ඕන. ඒකට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්න ඕන. එක එක්කෙනාගෙ ගිණුම්වලට කොමිස් විදිහට යන ඩොලර් කුට්ටි නැතිකරන්න ඕන. එහෙම වුණොත් අපේ ඩොලර් සංචිත ශක්තිමත් කරන්න පුළුවන්. අපේ මහබැංකුවෙ ඉන්න ආර්ථික ඔස්තාර්ලට තේරෙන්න ඕන කොරෝනා වසංගතය එනකොටම අපි ආර්ථිකය හසුරුවා ගන්න කොහොමද කියල. එහෙම පූර්ව සැලැස්මක් අනුව කටයුතු කළා නම් මෙච්චර රට වැටෙන්නෙ නෑ.

අද ආයෝජකයො එන්නෙ නැත්තෙ රටේ තියෙන වංචා නිසා. කොමිස් නිසා. ශ‍්‍රී ලංකාව දූෂිත දර්ශකයෙ ඉදිරියට එමින් තියෙනවා. අපි මේවයි නිවැරැදි කරන්න ඕන. ජාත්‍යන්තරයට අපි ගැන විශ්වාස ඇතිකරන්නෙ නැතිව අපිට ඉදිරියට යන්න බෑ.

ප‍්‍රශ්නය – කවදද මේ හැම අර්බුදයකටම විසඳුම් තියෙන ඔබතුමන්ලගෙ වැඩපිළිවෙළ එළියට දාන්නෙ…

පිළිතුර – තව මාසයක් ඇතුළත ඒක එළියට දාන්න පුළුවන් වෙයි.

සංකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment