පංච සම්පත්ති ජය මුහුර්ථ

227

මෙහි ඇත්තේ දවස, නැකත, ලග්නය, තිථිය, තත්කාල හෝරාව යන ජ්‍යොතිෂ්‍යමය කරුණුවල බලය උද්දීපනය කරවීමයි. මුහුර්ථිවල නම්වලින්ම හෙළිවන්නේ මෙය ජය මුහුර්ථියක් බවයි. තරඟ විභාග, නීතිමය කටයුතු ඇතුළු ජයග්‍රහණයට අදාළ ඕනෑම කටයුත්තක් සඳහා සුබපල උදාකිරීමට මෙම නැකත් පංතිය සමත් වේ. මෙම ජය මුහුර්ථි පහත සඳහන් කරමි.

  1. මහේෂ්වර සම්පත්ති ජය මුහුර්ථිය

ඉරිදා හෝ අඟහරුවාදා දිනක අස්විද බෙරණ. කැති, රෙහෙණ, මුවසිරස යන පඨවි ගණයට අයත් නැකත් පහෙන් එකක් ද, පුර අව දෙපක්‍ෂයේම පෑළවිය, සැටවක යන නන්දා තිථියක් ද යෙදුනු විට මේෂ, සිංහ, වෘශ්චික ලග්නයක් ද ගුරුගේ තත්කාල හෝරාවේ ගුරුගේ පංචම හෝරාව ද යොදාගත් විට එය ‘මහේෂ්වර සම්පත්ති යෝගයයි’ ඉරිදාක නම් සිංහ

ලග්නයද, අඟහරුවාදාක නම් මේෂ හෝ වෘශ්චික ද උදාකර ගත යුතුයි. වෘෂභ වාහනයෙන් ගමන් කරමියි සිතා නැගෙනහිර බලා පිටත්වන්න. ජය ලැබේ.

  1. කාල සම්පත්ති ජය මුහුර්ථිය

සඳුදා හෝ බදාදා දිනක අද, පුනාවස, පුෂ, අස්ලිය, මා පුවපල් යන ආපෝ ගණයට අයත් නැකත් හයෙන් එකක් ද, පුර අව දෙපක්‍ෂයේම දියවක, ශතවක, දොළොස්වක යන භද්‍රා තිථියක් ද යෙදුනු විට සඳුදා නම් කටක ලග්නය ද, බදාදා නම් මිථුන හෝ කන්‍යා ලග්නය ද සමඟ සිකුරුගේ තත්කාල හෝරාව තුළ එම පංචම හෝරාවද යෙදුනි නම් එය කාල සම්පත්ති ජය මුහුර්තියයි. සිංහ වාහනයෙන් පිටත්වෙමියි සිතාගෙන දකුණ බලා යන්න. ජය ලැබේ.

  1. ශ්‍රී සම්පත්ති ජය මුහුර්ථිය

බ්‍රහස්පතින්දා දිනක උත්‍රපල්, හත, සිත, සා විසා යන තේජෝ ගණයට අයත් නැකැත් පහෙන් එකක් ද, පුර අව දෙපක්‍ෂයේම තියවක, අටවක, තෙළොස්වක යන ජයා තිථියක් ද සමඟ ධනු හෝ මීන ලග්නය යෙදුන විට කුජගේ තත්කාල හෝරාවේ කුජ පංචම හෝරාව පවතින කාලය ශ්‍රී සම්පත්ති ජය මුහුර්ථියයි. නාග වාහනයෙන් පිටත් වෙමියි සිතාගෙන බටහිර බලා පිටත්වන්න. ජය ලැබේ.

  1. බ්‍රහ්ම සම්පත්ති ජය මුහුර්ථිය

සිකුරාදා දිනක අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල සුවන යන වායෝ නැකත් හයෙන් එකක් ද, පුර අව දෙපක්‍ෂයේම ජලවක, නමවක, තුදුස්වක යන රික්තා තිථියක් ද සමඟ වෘෂභ හෝ තුලා ලග්නය ද සමඟ බුධගේ තත්තාල හෝරාවේ බුධගේ පංචම හෝරාව ද යොදාගත් විට ‘බ්‍රහ්ම සම්පත්ති’ ජය මුහුර්තයයි. ඇත් වාහනයෙන් ගමන් කරමියි සිතාගෙන උතුර බලා පිටත්වන්න. ජය අත්වේ.

  1. විෂ්ණු සම්පත්ති ජය මුහුර්ථිය

දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවති යන ආකාශ ගණයට අයත් නැකත් පහෙන් එකක් ද, පුර අව දෙපක්‍ෂයේම විසේනිය, දසවක, පසළොස්වක හෝ අමාවක යන පූර්ණා තිථියක් ද මකර, කුම්භ, ලග්න දෙකින් එකක් ද ශනි තත්කාල හෝරාවේ ශනිගේ පංචම හෝරාව ද සෙනසුරාදා දිනක යෙදුණු විට එය විෂ්ණු සම්පත්ති ජය මුහුර්තියයි. මයුර වාහනයෙන් ගමන් කරමියි සිතා අහස මුදුන බලා පිටත්වන්න. ජය අත්වේ.

මේවායේ ඇති විශේෂත්වය නම් එක් එක් නැකත් අනුව බැලිය යුතු දිසාවක් සහ ගමන පිටත්වීම සඳහා මනඃකල්පිත සිතාගත යුතු සත්ත්ව වාහනයක් තිබීමයි. මෙය පැරණි ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව පරම්පරාගතව රැකගෙන එන ජ්‍යොතිෂ නැකත් පෙළක් වන අතර ඉතිහාසගත තත්ත්වය අනුව මේ තුළ ශාස්ත්‍රීය අගයක් මෙන්ම කෞතුක අගයක් ද තිබේ.

හේළි සරත් රාජකරුණා
විද්‍යා ජ්‍යොතිෂ දල්ලුගල, රඹුක්කන.
දුරකථන අංකය :-035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment