පක්ෂව 61 ක් විරුද්ධව 152 ක්… විශ්වාසභංගයෙන් ගම්මන්පිල දිනුම්

205

සජබ – රනිල් – ජා.ජ.බ, ටී.එන්.ඒ.  ගම්මන්පිලට විරුද්ධයි
 හරින් – චමින්ද – විජේදාස – රිෂාඞ් ඇතුළු 11ක් ඇවිත් නැහැ
 රතන හිමි ඇතුළු විපක්‍ෂයේ 4කුත් විශ්වාසභංගයට විරුද්ධ වෙති
 
 බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් පරාජය කිරීමට ආණ්ඩු පක්‍ෂයට ඊයේ (20දා) හැකිවිය.
 
 එම විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු සෙසු විපක්‍ෂයේ සුළු පක්‍ෂවල මන්ත‍්‍රීවරුන්ගේ ඡන්ද 61 ක් හිමිවිය.
 
 ආණ්ඩු පක්‍ෂය තමන් සතු බහුතර බලය නැවත වරක් භාවිත කරමින් ඡුන්ද 152 ක් ලබමින් වැඩි ඡුන්ද 91 කින් බලශක්ති ඇමැතිවරයාට එරෙහිව ඊයේ සහ පෙරේදා (19, 20* දෙදින විවාදයට ගත් විශ්වාසභංග යෝජනාව පරාජය කළේය.
 
 මෙහිදී ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු අනෙකුත් සියලූම පක්‍ෂ, විපක්‍ෂය ගෙනා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ප‍්‍රකාශ කළේය.
 
 ආණ්ඩුවට පක්‍ෂව, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට විශ්වාසය පළකරමින් විපක්‍ෂයේද මන්ත‍්‍රීවරු 4 ක් ඡන්ද ප‍්‍රකාශ කිරීම විශේෂත්වයක් විය.
 
 බලශක්ති ඇමැතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කරුණු 10 කින් යුතු විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා ජනතාව පීඩාවට පත්කළ බව කියමිනි.
 
 මෙම විශ්වාසභංග යෝජනාව මෙරට ඉතිහාසයේ එල්ලවූ 48 වැනි විශ්වාසභංගය විය.
 
 මෙම විශ්වාසභංග යෝජනාව සජබ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් ඉදිරිපත් කළ අතර එම පක්‍ෂයේම කෑගල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා විසින් යෝජනාව ස්ථිර කරනු ලැබීය.
 
 විවාදයේ අවසන් කථිකයාට පෙර ඇමැති උදය ගම්මන්පිල මහතා අදහස් දැක්වූ අතර ඔහුට ඒ සඳහා ආණ්ඩු පක්‍ෂය විසින් විනාඩි 36 ක් වෙන්කර තිබිණි.
 
 මෙම විවාදයේ අවසන් කථිකයා වූයේ සජබ මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතාය.
 
 ඡුන්ද විමසීම ඉලෙක්ටොනික ක‍්‍රමයට සිදුකෙරිණි. එහිදී ආණ්ඩු පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මධුර විතානගේ මහතා ඡුන්දය ප‍්‍රකාශ කිරීම වැරදී විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළේය. එය දුටු විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් හූ කියද්දී මන්ත‍්‍රීවරයා ඔළුවේ අත තියාගන්නා අයුරු දක්නට ලැබිණි.
 
 උදය ගම්මන්පිල මහතාට විරුද්ධව අදහස් පළ කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා යෝජනාවට විරුද්ධව ආණ්ඩුව සමඟ පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීම කැපී පෙනුණි.
 
 ඡුන්දය ප‍්‍රකාශ කිරීමට මන්ත‍්‍රීවරු 11 දෙනකු පැමිණ සිටියේ නැත. හරීන් ප‍්‍රනාන්දු, කුමාර වෙල්ගම, චමල් රාජපක්‍ෂ, විජයදාස රාජපක්‍ෂ ඇතුළු පිරිසක් ඒ අතර විය.
 
 අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල මහතාට පක්‍ෂව ඡුන්දය ප‍්‍රකාශ කළහ. මාස තුනක නිවාඩු ලැබ සිටින මහින්ද සමරසිංහ මහතාද ගම්මන්පිල ඇමැතිවරයාට පක්‍ෂව ඡන්දය ලබාදුන්නේය. විපක්‍ෂ මන්ත‍්‍රී ඒ. එස්. එම්. රහීම්ද ඇමැතිවරයාට පක්‍ෂ විය.
 
 මුස්ලිම් කොංග‍්‍රසයේ ෆයිසර් කාසීම්, එච්. එම්. හාරිස්, නසීර් අහමඞ්, එම්. තව්ෆික් යන මන්ත‍්‍රීවරු පැමිණ සිටියේ නැහැ.
 
 රිෂාඞ් බදියුදීන් මහතාගේ පක්‍ෂයේ ඉෂාක් රහුමාන්, එස්. එම්. මුබාරක් මහතාද ගම්මන්පිල මහතාට පක්‍ෂව ඡන්දය ලබාදුන්නේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment