පකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් ලසිත් – ප්‍රවීන් සහ චාමික හැළෙති

446

පකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 18 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න දඟ පන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙනිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඇතුළත් නොකිරීමට තීරණය කර ඇත.

ඔස්‌ට්‍රේලියාවට එරෙහිව ඉකුත්දා නිමාවට පත් වුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ලසිත් ඇඹුල්දෙනිය ක්‍රීඩා කළ අතර එහිදී ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට ඔහු අපොහොසත් වූ අතර තරගාවලිය අතරතුරදී කොවිඩ් ආසාධනය වීම හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රමටද එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගිලිහී ගියේය. ජයවික්‍රම සහ කරුණාරත්න කෝල්ට්ස් පිටියේ පෙරේදා නිමාවට පත් වුණු තුන් දින තරගය සඳහා ක්‍රීඩා කළ නමුත් එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කරුණාරත්න අසමත් වූවේය.

පකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් ලසිත් - ප්‍රවීන් සහ චාමික හැළෙති

මේ අතර කොවිඩ් ආසාධනය වීම නිසා ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වූ මැද පෙළ පිතිකරු ධනංජය ද සිල්වා, දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සි සහ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු යළි කණ්ඩායමට එක් කර තිබේ. කෙසේ වෙතත් වැන්ඩර්සිගේ සහ අසිතගේ ආදේශකයන් ලෙස කණ්ඩායමට එක් කරන ලද ලක්ෂාන් සඳකැන් සහ ලක්ෂිත මානසිංහ පකිස්තානයට එරෙහි කණ්ඩායමට කැඳවා නොමැත. පාකිස්තානු පිලට එරෙහිව පැවැති පුහුණු තුන් දින තරගයට ක්‍රීඩා කළ මානසිංහ පළමු ඉනිමේදී ලකුණු 85 කට කඩුලු 4ක්ද දෙවැනි ඉනිමේදී එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත්වූවේය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම සඳහා ඔස්‌ට්‍රේලියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී මංගල ටෙස්ට් තරගයකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමින් ලොව සිව්වැනියට හොඳම පන්දු යැවීම වාර්තා කළ ප්‍රභාත් ජයසූරියද එක්ව සිටී. එම තරගයේදී ප්‍රභාත් ඉනිම් දෙක තුළ කඩුලු 12ක් දවා ගැනීමට සමත් වූ අතර තරගයේ වීරයා සම්මානයද හිමි කර ගත්තේය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර පළමු ටෙස්ට් තරගය හෙට 16 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීත් දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

ජයසූරියට අමතරව දුනිත් වෙල්ලාලගේ ද කණ්ඩායමේ 18 දෙනා අතර ස්ථාන හිමි කර ගෙන තිබේ.

නායක දිමුත් කරුණාරත්න ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර මේ වනවිට 7 වෙනි ස්ථානයේත් ඇන්ජලෝ මැතිව්ස් 14 වන ස්ථානයේත් දිනේෂ් චන්දිමාල් 29 වන ස්ථානයේත් පසු වීම ශ්‍රී ලංකා සංචිතයට සවියක් වී තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment