පකිස්තාන ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලියත් ජයගනිති

226

අයිසීසී කාන්තා ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති දෙවෙනි එක් දින ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 73 ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම ඊයේ (03 වැනිදා) සමත්විය.

ඒ අනුව තරග තුනකින් යුත් තරගාවලියේ තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 253ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 180ක් පමණි. පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිනි සිඩ්‍රා අමීන් පන්දු 150ක් තුළ ලකුණු 123ක් ලබා ගත්තාය. ඒ සඳහා හතරේ පහර 11ක් එල්ල කළ අමීන් අනෙක් ආරම්භක පිතිකාරිනි මුනීබා අලී සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 158 ක සම්බන්ධතාවයක් පැවැත්වූවාය. මුනීබා ලකුණු 56ක් ලබා ගත් අතර නායිකා බිස්මා මරූෆ් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තාය.

ජයග්‍රහණය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හර්ෂිතා මාධවී සහ කවීෂා දිල්හාරි දෙදෙනා සමත් වුවද කවීෂා දිල්හාරි ලකුණු 32කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂිතා මාධවී ලකුණු 41ක් ලබා ගත් අතර දුවද්දී දැවී යාමට වීම හේතුවෙන් ඇයගේ ඉනිම නිමා විය.

ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ ෆාතිමා සෆ්නා ලකුණු 26 කට කඩුලු 4ක් දවා ගත්තාය.

ලකුණු සාරාංශය

පකිස්තානය 253/2,සිඩ්‍රා අමීන් 123,

මුනීබා අලී 56

පන්දු යැවීම

කවීෂා දිල්හාරි 43/1, ඕෂධී

රණසිංහ 44/1

ශ්‍රී ලංකාව 180/9

හර්ෂිතා මාධවී 41,කවීෂා දිල්හාරි 32,හන්සිමා කරුණාරත්න 27, ප්‍රසාදි වීරක්කොඩි 20

ෆාතිමා සෆ්නා 26/4, ඔමයිමා

සොහාලි 35/2

advertistmentadvertistment
advertistmentadvertistment