පගා දී තෙල් ගසමු: වාහනවලින් පෙළපාලි යමු

1442

එදිනෙදා ජනතාවට වුවමනා කරන පාරිභෝගික භාණ්ඩ මිලට ගැනීම සඳහා පගා දීමේ සංස්කෘතිය ශ‍්‍රී ලංකාව තුළ මුල් වරට ඇතිවන්නේ 1970 දී සමගි පෙරමුණු ආණ්ඩුව බලයට ඒමත් සමගය. එම ආණ්ඩුව බලයට පත්වී මාස කිහිපයකට පසු දේශීය වශයෙන් ස්වයං පෝෂණය වීමේ ප‍්‍රතිපත්තිය මුල් කරගෙන පිට රටින් භාණ්ඩ ගෙන්වීම දැඩි ලෙස සීමා විය. ඒ නිසා මාලදිවයිනෙන් ගෙන්වන උම්බලකඩ, චීනයෙන් ගෙන්වූ සහල්, ආනයනික පොප්ලින් සහ චීත්ත, සීනි, පරිප්පු, ටින් මාළු ඇතුළු භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් සමුපකාර කඩ වෙතින් සලාක ක‍්‍රමයට විකිණීම සිදුවිය. ඒ කාලයේදී පවුලක එක් සාමාජිකයකු සඳහා සමුපකාරයෙන් නිකුත් කරන ලද උම්බලකඩ ප‍්‍රමාණය මාසයකටම අවුන්ස භාගයකි. මේ නිසා උම්බලකඩය හොද්දට දමා ආපසු ගෙන පිසදා පිරිසිදු කර බෝතලයක දමා වසා තැබීම හැර උම්බලකඩ කෑමක් ගැන හිතන්නටවත් බැරිවිය. සෙසු පාරිභෝගික ද්‍රව්‍යවල තත්ත්වයද එසේම විය. මේ අතර කිසියම් කෙනකුට දානමානාදී කටයුත්තක් සඳහා උම්බලකඩ රාත්තල් හතරක් හෝ පහක් මිලට ගැනීමට අවශ්‍ය වුණේ නම් ඒ නිමිත්තෙන් සමුපකාර මැනේජර්ට පගාවක් දීමට සිදුවිය. එකල උම්බලකඩ රාත්තලක් රුපියල් 2 කි. උම්බලකඩ රාත්තල් 5 ක් සමුප කඩයෙන් ලබාගනු පිණිස දිය යුතු පගාවද රුපියල් 2 කි. නිදහස් ආර්ථිකය පැමිණීමෙන් පසු පාරිභෝගික බඩු ගැනීම සඳහා පගා දීම වාෂ්ප වූ අතර වෙළෙන්දා පාරිභෝගිකයාට පාගා දී බඩු විකුණන තත්ත්වයක් මතුවිය. මේ සඳහා හොඳම උදාහරණය වූයේ එකල තිබූ සතොස අලෙවි සල්ය. සැපයුම්කරුවන් ඇතැම් බඩු තොග සතොසට වික්කේ මැනේජර් සතුටු කිරීම සඳහා පගාවක් දීමෙනි. පගාවක් නොලැබුනොත් බඩු තොග ප‍්‍රතික්ෂේප කිරීමේ අයිතිය මැනේජර් ට තිබිණ. අප මීට කලින්ද මේ තීරුව ඔස්සේ කියා ඇති පරිදි ඉතිහාසය පුනරුච්ඡාරණය වන බව කාල් මාක්ස් කියා තිබේ. විටෙක ඛේදාන්තයක් ලෙසත් ඊළඟ අවස්ථාවේදී සුඛාන්තයක් ලෙසත් මේ පුනරුච්ඡාරණය වීම සිදුවෙයි. ඒ අනුව මේ දිනවල වාහනයකට පෙට‍්‍රල් ෆුල් ටෑන්ක් එකක් හෝ ඞීසල් ෆුල් ටෑන්ක් එකක් ගසා ගැනීම සඳහා පොම්පකරුට රුපියල් 500 සිට ඉහළට පගාවක් දිය යුතුය. රුපියල් 3000 ඉක්මවා වාහනවලට තෙල් නොගසන ලෙස ෂෙඞ් අයිතිකාරයා පොම්පකරුට නියෝග කර තිබේ. ඒ නිසා වැඩියෙන් තෙල් නිකුත් කිරීමට නම් ඒ සඳහා පගාවක් ලබා ගැනීමේ අයිතිය තමන් සතු බව පොම්පකාරයා අදහස් කරයි. මේ තත්ත්වය තවමත් ගෑස්වලට බලපා නැත. එහෙත් භාණ්ඩ හිඟය දිගටම මේ ආකාරයෙන් තිබුණොත් පගාව නීත්‍යානුකූල ලෙස පිළිගත හැකි ගෙවීමක් බවට පත්වීමට ඉඩ තිබේ.

එහෙත් ශ‍්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් නැති බව පෙන්වන සිද්ධියක් ගැන දැන් අපි සාකච්ඡා කරමු. මීට දින දෙක තුනකට පෙර කොළඹ සිට කල්පිටිය දක්වා රථ පෙළපාලියක් පැවැත්විණි. එයට අධි බල යතුරු පැදි 300 ක් සහ ප‍්‍රාඩෝ රථ 25 ට ආසන්න සංඛ්‍යාවක් සහභාගි විය. පෙළපාලිය පිටිපස්සෙන් තෙල් බවුසරයක් ද ගමන් කළේය. එක්කෝ තෙල් බවුසරය වෙන ගමනක් ගියා විය යුතුය. නොඑසේ නම් පෙර කී පිස්සු යකුන්ගේ වාහනවලට තෙල් ගසනු පිණිස පස්සෙන් ගියා විය යුතුය. කොළඹ සහ කල්පිටිය අතර දුර කිලෝමීටර් 165 කි. කල්පිටියට යන මේ පිස්සු නඩය ඒ ප‍්‍රදේශයෙන් ආවාහ විවාහ කරගෙන එහි නවතින්නේ නැත. ඔවුහු වැඩිදෙනා ආපසු කොළඹ එති. මේ නිසා යෑමට සහ ඒමට ඇති සම්පූර්ණ දුර කිලෝමීටර් 330 කි. භික්ෂුන් වහන්සේ නමක් පුත්තලමේදී මේ යතුරු පැදි සවාරිය නවත්වන ලදී. එහෙත් භික්ෂුවට විහිළු කළ යතුරු පැදිකාරයෝ උන්වහන්සේ ගණන් නොගෙන සිය ගමන ගියහ. මේ යතුරු පැදි සවාරියට පොලිස් ආරක්ෂාවද ලැබිණ. පොලිසියට මේ සම්බන්ධයෙන් කිසිදු දෙයක් කරන්නට නැත. ඉහළ පෙලේ දේශපාලනඥයන් ඕඩරයක් දුන් විට එය ක‍්‍රියාත්මක කිරීමට පොලිසියට සිදුවන අතර එසේ නොකරන පොලිස් නිලධාරීන් තූත්තුකුඩිය, කයිට්ස්, වාලච්චේනායි, බිම්තැන්න වැනි ප‍්‍රදේශවල පිහිටි පොලිසිවලට මාරු කරනු ලැබේ. මේ පෙළපාලිය පසුපස බලගතු ඇමැතිවරු දෙපලක් වීලූ!. හංගන්නේ මොකටද? එයින් එක්කෙනෙක් නාමල් රාජපක්ෂලූ!. අනෙකා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තලූ!. මේ දෙකම ‘ලූ’ කතා නිසා විශ්වාස කිරීමට දුෂ්කරය. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ කිසිත් නොදන්නා බව කියමින් ඔහුගේ මාධ්‍ය අංශය නිවේදනයක් ද නිකුත් කර තිබේ. සනත් නිශාන්තගේ කට්ටියත් වහ වහාම එවැනි නිවේදනයක් නිකුත් කළ යුතුය. කෙසේ හෝ වේවා සාමාන්‍ය ජනතාව වාහනයකට පෙට‍්‍රල් ටිකක් ගසා ගැනීම සඳහා පෝලිම්වල දවස් ගණන් ලගින්නා වූද මාස හයක් තුළ මේ රටේ ඉන්ධන මිල එකට එකක් ඉහල ගොස් ඇත්තා වූද මෙවන් කාලයක මේ ආකාරයෙන් ඉන්ධන නාස්ති කිරීමක් චීනය වැනි රටක සිදුවූයේ නම් සියලූ දෙනාටම සිදුවන්නේ ආණ්ඩුවෙන් වෙඩි කන්නටය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මස්තකප‍්‍රාප්ත වී ඇති මෙවැනි මොහොතක සාමාන්‍ය වැසියන්ට එසේ වෙඩි තබනු නොලැබේ. මේ අතර තවත් වැදගත් කාරණයක් කිව යුතුය. ඉන්ධන හිඟයක් තිබුණා යැයි කියා මෝටර් සයිකල් සවාරි යෑම ආණ්ඩුව තහනම් කර නැත. මේ නිසා මීට එරෙහිවීමේ අයිතියක් කාටවත් නැත. එයද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් මස්තකප‍්‍රාප්ත වීමේ අතුරු පලයක් ලෙස හිත හදා ගැනීම හැර අන් යමක් දුක් විඳින ජනතාවට ඉතිරි වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment