පට්ටම් කැඩුණු කැරම් බෝඞ් එකක් වැනි ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් බෝඞ් එක (වහා විසිරුවා හරිමු – නිසි බලධරයකු යටතට පත් කරමු)

254

එංගලන්තයට ගිය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කොරෝනා නාෂක බයෝ බබල් එක විදගෙන එළියට විත් ඩර්හැම් නගරයේ පාරවල් දිගේ මාස්ක් නැතිව ඇවිදිමින් සිගරට් ගැසූ (බීඩිද විය හැකිය) කුසල් මෙන්ඩිස් (ස්පෙෂල්) විරාත් කෝලි හා සමාන ක‍්‍රීඩකයෙක් බව හිටපු ක‍්‍රිකට් නායක හෂාන් තිලකරත්න සිරස රූපවාහිනියට පවසා තිබේ. මේ රටේ ක‍්‍රිකට් පරිපාලනය ගත් වැරදි තීරණ නිසා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පරිහානියට පත්වූ බවද තිලකරත්න සඳහන් කරයි. මෙය සම්පූර්ණ ඇත්ත කතාවකි. සිගරට් ගැහුවත්, නයිට් ක්ලබ් ගියත්, පාරේ යන බයිසිකල්කාරයන් යටකර මැරුවත් ක‍්‍රීඩකයකු ලෙස පිටියට පිවිසෙන කුසල් මෙන්ඩිස් පසුගිය කාලයේ විවිධ ප‍්‍රාතිහාර්ය දැක්වීය. අද අපේ නිමිත්ත කුසල් මෙන්ඩිස් නොව ක‍්‍රිකට් බෝඞ් එකය. ඊට පෙර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් මේ ආකාරයෙන් හැසිරෙන්නේ මන්ද යන කාරණය පිළිබඳව අපේ විග‍්‍රහය ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න. නූතන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් යනු ෆේස්බුක් එකේ කුණු හරස්කඩකි. අතේ සතේ නැතිව බීඩි බිබී සිට ක‍්‍රිකට් ගැසීමට ගිය ඇතැමකු මාසිකව මිලියන ගණනින් වැටුප් ලබන්නට පටන් ගත්විට මොළේ අවුල් තත්ත්වයකට පත්වෙයි.

ශ‍්‍රී ලංකාවේ මෑතකාලීන ක‍්‍රිකට් පරම්පරා තුන හතරක්ම තිබේ. පළමුවන පරම්පරාව අනුර තෙන්නකෝන්, රෝයි ඩයස්, දුලිප් මෙන්ඩිස් යනාදීන්ගේ පරම්පරාවය. දෙවනි පරම්පරාව අර්ජුන රණතුංග, හෂාන් තිලකරත්න, රන්ජන් මඩුගල්ල පරම්පරාවය. තුන්වැනි පරම්පරාව සංගක්කාර, මහේල, චමින්ද වාස් පරම්පරාව ය. මේ පරම්පරා තුනට අමතරව දැන් සිටින පරම්පරාව ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීම කෙසේ වෙතත් ක‍්‍රීඩාව අනුභව කිරීමේ ව්‍යාපාරයට පිවිස තිබේ. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දෙවැනි පරම්පරාව ඇරඹීමත් සමගම මාළු ලෑල්ලට මැස්සන් වහන්නක් මෙන් බුකී කාරයෝ අපේ ක‍්‍රීඩකයන් වටකොට ගත්හ. දැන් සිටින පරම්පරාව බුකී කාරයන් සමග එකතු වී තරග පාවාදීම් ගැන දැනගන්නට නැත. එහෙත් ඔවුන්ගෙන් වැඩිදෙනා බීමත්කම සහ වනචරකම පිළිබඳව ලකුණු රැස් කළ අය වෙති. මේ අයට අවවාද නොතේරේ. අර්ජුන රණතුංග සිය ගෝලයන් හදාගත්තේ වරදක් කළ විට වරදකාරයාට මළ පහවන ලෙස ගුගුරා කන පැලෙන්නට පහර දීමෙනි. එසේ පහර කෑ ක‍්‍රීඩකයන්ට එරෙහිව වෙනත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය නොවීය.

එකල සිටි ඇතැම් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වරදක් කර එම වරද තම නායකයා වූ අර්ජුන රණතුංගට ආරංචි වූ බව දැනගත් වහාම නිතර නිතර වැසිකිළිය බලා දිව ගියේය. නූතන ක‍්‍රිකට් පරම්පරාවට කන පුපුරා යන ලෙස දඬුවමක් දීමට කෙනකු නැත. එයට හේතුව ඔවුන් සියලූ දෙනාම කිසියම් වනචර වැඩක හෝ හිතුවක්කාර වැඩක කොටස්කාරයන් වීමය. ඒ නිසා මේ වැඩිදෙනා තම තමන්ම තම තමන්ගේ කන පුපුරා යන ලෙස පහර දී ගත යුතුය. පසුගිය අවුරුදු පහ තුළ මේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කළ බේබදු වැරදි, ලිංගික වැරදි යනාදිය ගැන ලිපි පෙළක්ම ලිවීමට පුළුවන. නූතන ක‍්‍රිකට් පරම්පරාව කොතරම් අමාරුවකින් පෙළේද යත් 2021 ජනවාරියේදී වනිඳු හසරංග නමැති ක‍්‍රීඩකයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය නිලධාරිනියක සමග ක‍්‍රිකට් නොවන ක‍්‍රීඩාවක නිරත වී, රටටත්, කණ්ඩායමටත්, තම පවුලේ අයටත්, වෛද්‍ය නිලධාරිනියගේ පවුලේ අයටත් මහත් අපහාසයක් ගෙන දුන්නේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම පරිහානියට පත්වූ ක‍්‍රිකට් බෝඞ් එක දැනට පවතින ක‍්‍රිකට් පාලක මණ්ඩලය විය යුතුය. මෙය පසුගිය පස් අවුරුද්දක පමණ කාලය තුළ වඩ වඩාත් පිරිහෙමින් ප‍්‍රපාතයට ගිය ක‍්‍රිකට් බෝඞ් එකද විය යුතුය. මේ බෝඞ් එක රෙදි මදින අයනිං බෝඞ් එකක් තරමට හෝ පට්ටම කැඩුණු කැරම් බෝඞ් එකක් තරමටවත් නොවටී. මේ බෝඞ් යට සිටින වැඩි දෙනා පල් හොරුය. මීට ස්වල්ප කලකට පෙර නූතන ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වා කෝප් කමිටුව හමුවට කැඳවන ලදී. ඒ, ක‍්‍රිකට් බෝඞ් එකේ සිදුවී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරනු පිණිසය. ශම්මි සිල්වාගෙන් ප‍්‍රශ්න කරන ලද්දේ මහාචාර්ය චරිත හේරත් ය. මහාචාර්ය හේරත් ඇසූ ප‍්‍රශ්නවලට ෂම්මිට උත්තර දීගන්නට බැරිවිය. එයට හේතුව, සමහරවිට, මහාචාර්යවරයකු විසින් නගන බරපතළ ප‍්‍රශ්නවලට උත්තර දීමට තරම් දැනුමක් දුප්පත් ශම්මි සිල්වාට නොතිබීමය. මෙවැනි මිනිහකු ක‍්‍රිකට් පාලක මණ්ඩලය වැනි ජාතික දේපළක් පාලනය කරන්නේ කොහොමද? ශම්මි සිල්වා ක‍්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණි දා පටන් ඉතා වටිනා ක‍්‍රීඩකයන් අපට අහිමි විය.

චමින්ද වාස් පුහුණුකාරකකමින් අස් විය. රංගන හේරත් බංග්ලාදේශයේ ක‍්‍රිකට් පුහුණුකරු ලෙස පත්වීමක් ලැබ ශ‍්‍රී ලංකාව අත්හැර ගියේය. මෙබඳු පරිපාලනයක් යටතේ ක‍්‍රිකට් නොව ඇට බෝල පවා ගැසිය නොහැක. හැබැයි සල්ලි ඔට්ටුවට බූරුවා ගැසීම නම් කළ හැකිය. මේ තිබෙන ක‍්‍රිකට් බෝඞ් එක විසිරුවා හැර එය නිසි බලධාරියකු යටතට පත්කළ යුතුය. ඉන්පසු අගමැති මහින්ද, ජනාධිපති ගෝඨාභය, ක‍්‍රීඩා ඇමැති නාමල් සහ අර්ජුන රණතුංග එකතු වී ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය ගැන පුළුල් මට්ටමින් කතා කළ යුතුය. මේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව හරිගස්සා ඊට සම්බන්ධ පල් හොරුන් එලවා දමා, කලකට පෙර ගිලිහී ගිය ක‍්‍රිකට් කීර්තිය නැවතත් ලබා දීමට අර්ජුන රණතුංගට හැකි බව අපි විශ්වාස කරමු. එසේම විනය වැරදි කරන ක‍්‍රීඩකයන්ට මිකී ආතර් ලා දුන් සොමිය වෙනුවට හොක්ක තැලෙන්නට පහර දෙන මෙන්  අර්ජුනගෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment