පඩිය පෙට්‍රල් ෂෙඩ් එකට හරවනවා වෙනුවට අඩිය පාපැදියට තියන්න

515

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

නිලධාරීන් ඉන්නේ ක්‍රීඩාව බ්ලොක් කරන්න නොවෙයි
පාපැදිය ලෙඩ ගණනාවකට දිව ඔසුවක්
තවමත් අපි තමයි ලොක්කෝ කියලා ලෝකෙට කියන අය සිටීම කනගාටුවක්

පොදු මහජනතාවට සිය හුරු පුරුදු ප්‍රවාහන මාධ්‍යයෙන් ඈත්ව යළිත් පාපැදියට ගොඩ වෙන්නට සිතෙන කලක් උදාවන මේ කාලයේ පාපැදි සම්මේලනයේ නිලවරණය ඉකුත් 28 වැනි දා පැවැත්විණි. එම නිලවරණයේදී ඡන්ද 22කින් ජයගනිමින් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පත් වූයේය. ඊට අමතරව ඔහු ග්‍රාමීය ආර්ථික බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද වේ. ක්‍රීඩාවටත් එහා ගිය සේවයක් පාපැදියෙන් රටට අවැසි කල නව සභාපතිවරයා හමු වී “දිවයින ඉරිදා සංග්‍රහය” සිදු කළ සාකච්ඡාව පහත දැක්වේ.

ප්‍රශ්නය – වර්ෂ 2015 සහ 2017 අතර කාලයේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔබ මෙවර නැවත එම තනතුරු සඳහා තේරී පත් වුණා. ඔබ ඇයි දෙවන වරටත් ඒ සඳහා ඉදිරිපත් වුණේ?

පිළිතුර – හැම පැත්තෙන්ම පැමිණි ඉල්ලීම් සලකා බලා මම ඒ සඳහා ඉදිරිපත් වුණා. සියලු ක්‍රීඩා සංගම් සහ සමාජවල සහාය ඇතිව රටේ පාපැදි ක්‍රීඩාව සහ පාපැදිය වඩාත් ප්‍රචලිත කිරීමයි මාගේ මේ දෙවැනි ආගමනයේ අරමුණ.

ප්‍රශ්නය – ඒත් නිලවරණය දවසෙම ඔබව ක්‍රීඩා සමාජ සහ සංගම් ගණනාවක් ප්‍රතික්ෂේප කර තිබුණා. ඇතැම් පිරිසක් නිලවරණය වර්ජනය කර තිබුණා. ඔබ කොහොමද ඒ හැම දෙනාගේම සහාය ලබා ගන්නේ?

පිළිතුර – ක්‍රීඩා සමාජ 39න් 27ක නියෝජිතයන් නිලවරණය දා පැමිණ තිබුණා. මට ඡන්ද විසි දෙකක් ලැබුණා. මගේ පාර්ශ්වය නිලවරණය ජය ගත්තා. අපි දිනන බව පිරිසක් දැනගෙන සිටියා. ඒ අය නිලවරණයට ආවේ නැහැ. ඔවුන්ට ක්‍රීඩාශීලීත්වයක් නැහැ. ක්‍රීඩාශීලීත්වය කියන්නේ තරගයෙන් දුවන එක නොවෙයි. තරගයට ඉදිරිපත් වන එකයි. එසේ නොපැමිණි පාර්ශ්වද එකතු කරගෙන රටේ පාපැදි ක්‍රීඩාව නැංවීම නව නිලධාරි මණ්ඩලය යටතේ සිදු කරනවා.

ප්‍රශ්නය – ඔවුන්ගේ සහාය ද ලබාගෙන එම කාර්යයන් සිදුකිරීම සඳහා ඔබ දැනටමත් වැඩපිළිවෙළක් ඇති කර තිබෙනවාද ?

පිළිතුර – අපි තවමත් පත්වුණා විතරයි. ඉදිරියේදී ඒ කටයුතු කරනවා. හැබැයි සියලු පාර්ශ්වවල සහය ලබා ගන්නවා කියන්නේ අපේ දුර්වලකමක් ලෙස සිතන්න එපා. මේ රටම එක අරමුණක් වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක්. දේශපාලනිකවත් එය අදාළයි. පටු වාසි තකන්න එපා. රට ගොඩනැඟීම පුළුල් අරමුණ කරගන්න. ඒ වෙනුවෙන් හැමදෙනාම එකතු විය යුතුයි.

ප්‍රශ්නය – ඔබ යළි සභාපති ධූරයට ඉදිරිපත් වුණේ පාපැදියෙන් ගොඩ එන්න කියලයි ඇතැමුන් කියන්නේ?

පිළිතුර – පාපැදි ක්‍රීඩාවෙන් ජීවත් වෙන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ අයට අපේ ආගමනය දිරවන්නෙ නැතුව ඇති. අපිට ඕන වෙලාවක මෙතනින් යන්න පුළුවන්. අපි ආවේ පාපැදිය ජීවත් කරන්න මිසක් පාපැදියෙන් ජීවත් වෙන්න නොවෙයි. ගිය වතාවෙ එක ඡන්දයකින් සභාපති වුණු මම මේ වතාවේ වැඩි ඡන්ද විසි දෙකක් ලබා ගත්තේ ක්‍රීඩා සමාජ විසින් අප කෙරෙහි දක්වන විශ්වාසය නිසයි.

ප්‍රශ්නය- ඔබ කෙසේ කීවත් ජාත්‍යන්තර පාපැදි සම්මේලනය පවා තවමත් ඔබගේ පත්වීම පිළිගන්නේ නැති බවයි වාර්තා වෙන්නේ?

පිළිතුර – මේ තැන් දාලා යන්න බැරි, මේවා අහිමි වූ බව තවමත් පිළිගන්නට හිත් නොදෙන, පාපැදියෙන් හම්බ කරපු ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් මත තවමත් බලයේ ඉන්නේ අපි යැයි ජාත්‍යන්තරයට කියනවා ඇති. අපි ඒවා නිවැරදි කරන්න කටයුතු කරනවා. මේ ගමන යන විට අපිට ජාත්‍යන්තර පාපැදි සම්මේලනයේ ආශිර්වාදය අවශ්‍යයි.

ප්‍රශ්නය – ජාතික ඔලිම්පික් කමිටුව පවා පාපැදි සම්මේලනයේ නිලවරණය නිරීක්ෂණය කිරීම වර්ජනය කර තිබුණා. එහෙම වුණේ ජාතික ඔලිම්පික් කමිටුව පවා ඔබව පිළිගන්න සූදානම් නැද්ද?

පිළිතුර – ඒ අවස්ථාවේ බලය තිබුණේ අපට නොවේ. ඉදිරියේදී අපි ජාතික ඔලිම්පික් කමිටුව සමඟ වඩාත් සමීපව අත්වැල් බැඳගත් ගමනක් යෑමට කටයුතු කරනවා. විශේෂයෙන් බිම් මට්ටමේ පාපැදි ක්‍රීඩාව දියුණු කිරීමට කටයුතු කරනවා. බලය විමධ්‍යගත කර හැම දෙනාගේම සහාය ලබා ගන්නවා. මේක බදාගෙන කරන්න පුළුවන් වැඩක් නොවෙයි.

ප්‍රශ්නය – ඔබ පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රටේ පාපැදි ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ විශේෂ සේවාවන් මොනවද?

පිළිතුර – එස් එල් ටී ස්පීඩ් අප් පාපැදි සවාරිය ආරම්භ කළේ අපි. ඒ වගේම දිස්ත්‍රික් පාපැදි තරගාවලි ආරම්භ කළා. ටී කප් රේස් එක පටන් ගත්තා. සියලු දෙනාටම සයිකලය යන වැඩසටහන ආරම්භ කළා. බිම් මට්ටමේ පාපැදි ක්‍රීඩා සමාජ ප්‍රතිසංවිධානය කිරීම ද එකල අප සිදුකළ සේවාවන්ට අයත් වෙනවා.

ප්‍රශ්නය – එකල මෙන් නොව පාපැදිය ක්‍රීඩාවකටත් එහා ගිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ජනතාව අතරට රැගෙන යායුතු අවස්ථාවකයි අප දැන් සිටින්නේ. මොනවද ඔබ ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග?

පිළිතුර – පාපැදිය නැංවීමට පාසලෙන්ම වැඩසටහනක් පටන් ගන්නවා. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා සමඟ එක්ව පාපැදි ක්‍රීඩාව පාසල තුළ ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. පොඩි කාලේ ඉඳන් පාපැදියට ගොඩවෙන ළමයා වැඩිහිටියකු වූ පසුවත් පාපැදිය අතාරින්නෙ නැහැ. පාසලේ ගේට්ටුව ළඟට කාර් එකෙන් හෝ ත්‍රීවිල් එකෙන් හෝ පාසල් වෑන් රථයෙන් ගොස් බසින ළමයා වෙනුවට පාපැදියෙන් පාසලට ළමයා ඇතුළු වන සංස්කෘතියක් අපි ගොඩනැඟිය යුතුයි. ඒ වගේම කිලෝමීටර් විස්සක් විසිපහක් පමණ කෙටි දුරක සිට රාජකාරියට පැමිණෙන්නන් පාපැදිය ඔවුන්ගේ ප්‍රවාහන මාධ්‍ය කළ යුතුයි. එසේ පැමිණෙන්නන් දිරිගැන්වීමට කටයුතු කළ යුතුයි. ඔවුන් රටට ඩොලර් ඉතුරු කරන පිරිසක්. ඔවුන් පරිසරයට කාබන් බැහැර නොකරන පිරිසක්. ඒ නිසා ඒ අයව අගය කළ යුතුමයි. දුප්පතාගේ වාහනය යැයි කියූ පාපැදිය රටේ ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍ය කරන්න ඕන. ලොව ඉතා දියුණු රටවල් වන ජපානයේ, එංගලන්තයේ සහ නෙදර්ලන්තය යන රටවල ජනතාව බහුල වශයෙන් පාපැදිය භාවිතා කරනවා. එංගලන්ත අගමැති මොරිස් ජොන්සන් මහතා පවා කෙටි දුර ගමන් සඳහා පාපැදියෙන් තමයි යන්නේ.

ප්‍රශ්නය – එම රටවල තරම් පාපැදිකරුවන් සඳහා නිසි ආරක්ෂාවක් අපේ මාර්ග පද්ධතියේ තිබෙනවාද ?

පිළිතුර – ඔව්. පාපැදි ලේන් දැනටමත් ඇතැම් මාර්ග වල තිබෙනවා. ඒවා හැම මාර්ගයකම ඇති කළ යුතුයි. මහා මාර්ගයේ විනය ආරක්ෂා කිරීම දැන් පෙරට වඩා හොඳයි. ඒ වගේම පාරේ දූවිලි තත්ත්වය පිළිබඳව ද ද අපි අවධානය යොමුකර තිබෙනවා. ඒ සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍යයි. මෙහිදී තවත් කාරණයක් තිබෙනවා. පාපැදියෙන් රාජකාරියට පැමිණෙන පුද්ගලයාට ඇඟපත සෝදාගෙන කාර්යාල පරිශ්‍රයට පිවිසීමට අවශ්‍ය පහසුකම් එම කාර්යාල පරිශ්‍රය තුළ ඇතිකළ යුතුයි.

ප්‍රශ්නය – ජනතාව පාපැදියට කිට්ටු වෙන්න හදන විට පාපැදියේ මිලද ඉහළ යමින් තිබෙනවා. ජනතාවට දරාගන්න පුළුවන් මිලකට පාපැදියක් ලබාදෙන්න වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර – රජය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පාපැදියේ මිල පමණක් නොවෙයි අමතර කොටස් වල මිල පවා පහළ දැමිය යුතුයි. ඒ සඳහා බදු සහනයක් අත්‍යවශ්‍යයි. ඒ වගේම ලංකාවෙ පාපැදි නිෂ්පාදනය ඇති කරන්න ඕන. පාපැදි එකලස් කිරීමේ කර්මාන්තශාලා වැඩි කරන්න ඕන. පාපැදි අලුත්වැඩියා කරන ස්ථාන දහසක් පමණ රටවටා අලුතින් පිහිටුවන්න ඕන. ඔවුන්ට රාජ්‍ය බැංකුව හෝ පෞද්ගලික බැංකු හරහා ණය සහන ලබා දීමටත් කටයුතු කරනවා. මේ සියලු දේ හරහා රැකියා දහස් ගණනක් රටේ බිහි වෙනවා. මේවායින් දියුණු වෙන්නේ පාපැදිය පමණක් නොවේ රටේ සංවර්ධනයටත් සෘජුවම එය හේතු වෙනවා.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මට්ටමෙන් අපට සහාය ලබා ගත හැකි මාර්ග තිබෙනවා ද?

පිළිතුර – ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා සහාය දෙන ලෙස ජාත්‍යන්තර පාපැදි සංගම් වලින් ඉල්ලීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගෙන් පාපැදි ලක්ෂ දෙකක් පමණ ලබාගැනීමයි අපේක්ෂාව. ඒ වගේම භාවිතා කළ යතුරුපැදි ආනයනය කිරීමට ද කටයුතු කරනවා. තවද ලෝකයේ ප්‍රධාන පෙළේ පාපැදි නිෂ්පාදකයන් සමග සම්බන්ධව ෆයිබර් බයිසිකල් ගෙන්වා ගැනීමට ද කටයුතු කරනවා.

ප්‍රශ්නය – පාපැදියෙන් යෑමට කැමැති වුවත් රටේ ඇතැම් පිරිස්වලට මේ කාර්යය අපහසු වී තිබෙනවා. දිගින් දිගටම පාපැදිය පැදීමට තරම් ඇතැම් පිරිස්වලට කාය ශක්තියක් නැහැ. නිරෝගී භාවයක් නැහැ.

පිළිතුර – එවැනි අය වෙනුවෙන් බැටරි සහ සූර්යකෝෂ මාධ්‍යය කරගෙන භාවිතා කළ හැකි පාපැදි රට තුළ ප්‍රචලිත කිරීමට අවශ්‍යයි. හැබැයි පාපැදිය පදින්න පුළුවන් නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අංශභාගය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල්, මානසික ආතතිය මේ හැම දෙයක්ම දියකර දමන්නත් ශරීරයට ළං නොවෙන්නත් අරුම පුදුම බෙහෙතක් තමයි පාපැදි පැදීම. පාපැදියෙන් යනවනම් බොරුවට ජිම් ගානේ යන්න ඕන නැහැ. නිරපරාදේ සල්ලි නාස්ති කරන්න ඕන නැහැ. ඔබේ මාසික පඩිය පෙට්‍රල් ෂෙඩ් එකට හරවන්න ඕන නැහැ.

ප්‍රශ්නය – ක්‍රීඩාවක් ලෙස රටේ පාපැදිය මේ වන විට තිබෙන්නේ කොයි ස්ථානයේද?

පිළිතුර – දකුණු ආසියාතික මට්ටමෙන් අපි දෙවන තුන්වන ස්ථානවල රැඳී සිටිනවා. අපි මෙතැනින් එහාට දියුණු විය යුතුයි. අපේ දිගුකාලීන ඉලක්ක ඔලිම්පික් මට්ටමයි. ඒත් ඊට පෙර අපි ආසියාව ජයගැනීමට සමත් වෙන්න ඕන.

ප්‍රශ්නය – මොනවද ක්‍රීඩාව නංවන්න ගෙන එන විශේෂ වැඩසටහන්?

පිළිතුර – පාපැදි ක්‍රීඩකයන් එකතු කර ජාතික ක්‍රීඩා සංචිතයක් හදනවා. මෙතෙක් කරගෙන ආ සියලු පාපැදි තරග ඊටත් වඩා හොඳින් සිදු කරනවා. පාපැදි තරග සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වය වැඩි කර ගන්නවා. හැබැයි මේ දේවල් කරගෙන යෑමේදී ඇතැම් නිලධාරීන්ගෙන් බාධා එල්ල වෙනවා. විශේෂයෙන් ඇමැතිවරුන්ටත් වඩා බලයක් ආරූඪ කර ගත් එවැනි නිලධාරීන් රටට පිළිලයක්. ඔවුන් ක්‍රීඩාව දියුණු කරනවා වෙනුවට ක්‍රීඩාව බ්ලොක් කරනවා. ඒ අයගෙන් ඇමැතිවරු පරිස්සම් වෙන්න ඕන. හැම දෙයක්ම ක්‍රීඩකයන්ගේ පැත්තෙන් මහ ජනතාවගේ පැත්තෙන් බැලිය යුතුයි. ඌණ මානසිකත්වයෙන් ඉන්න එවැනි නිලධාරීන් අයින් වෙන්න ඕන. ක්‍රීඩා සංගම් අතර තිබෙන ප්‍රශ්නවලට ඇමැතිවරයා මැදිහත් වෙන්න ඕන. ක්‍රීඩාවට පක්ෂ දේශපාලනයක් නැහැ. කොල පාට නිල් පාට රතු පාට ක්‍රීඩකයන් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සමග මේ ගමන යන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා.

සාකච්ඡා කළේ –
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment