පණ්ඩිත ජීවිතයක රසික සිද්ධි

296

සිංහල භාෂා සාහිත්‍යයට අමරණීය සේවයක් සිදු කළ කුමාරතුංග මුනිදාස මහතා මියගොස් මෙම මස 02 වැනිදාට වසර 78ක් සම්පූර්ණ විය.

 පහත පළවන්නේ එතුමන් මියගොස් වසර 10ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වර්ෂ 1955 දී අබිරම්ගම් හේවා විසින් ලියා පළකරන ලද ලිපියකි.

 කුමාරතුංග මුනිදාසයන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇතැම් සිද්ධීන් අතිශයින් රසවත් බව ඔවුන් ඇසුරු කළ අය අතරේ ඉතා පළවූ කරුණකි. ඔවුන්ගේ ශිෂ්‍යයන් ද මිත‍්‍රයන් ද මේ රසික සිද්ධීන් අද පවා සිහි කොටැ ඉන් නවමු රස විඳින්නේ ඒ තන්හි දී කුමාරතුංගයන් කළ කී දැය සාහිත්‍ය රසයෙන් ද අගයෙන් ද නො අඩු හෙයිනැයි සිතමි.

 කුමාරතුංගයන්ගේ ‘කුමර ගී’ පොත පළවූයේ මින් අවුරුදු තිහකට පමණ පෙරැයැ. එකල ඒ හෙළ කවි ලොවට අලූත්ම මං දක්වන්නෙක් විය. පොත පළ වූ හා මැ එහි වූ ඇතැම් පද්‍යයන් කියැවූ අතවූ වෝ ඒ සිහියේ රඳවාගෙනැ තැන බලා කියවන්නට ද එහි රස විඳින්නට ද වූහ.

 දිනෙකැ කුමාරංතුගයෝ සිය යහළු කෙනකුන් ද සමග ගෙඟ් නාන්නට ගියහ. යහළුවානෝ නාන්නට සැරැසී ගං ඉවුරේ ගල් පොත්තක් මතැ හිඳ ගත්හ. එවිටැ මැ සමනලයෙක් ඉගිලී අවුත් ඒ අසලැ වූ මලෙකැ වසා – පි යැ යහළුවාණන්ගේ මුවඟට මෙවිටැ නැඟි ආයේ කුමර ගීයේ ගීයෙකි.

 ‘‘ මහ පුදුමෙකි

 මලෙකැ මලෙකි

 නැහැ එහි සකි

 සමනලයෙකි’’

 මෙසේ කී ඔහු ඉඟිමරා මුනිදාසයනට බැල්මක් හෙළාලූහ.

 කුමාරතුංගයෝ ගත් කටට මැ අලූත් පද්‍යයෙක් කීහ.

 ‘‘මහ පුදුමෙකි

 ගලෙකැ ගලෙකි

 නැහැ එහි සකි

 ගල් ඉබ්බෙකි’’

 එහි ගලක් මත ඉබ්බකු සිටියා හෝ නො සිටියා හෝ වියැ හැකියි. එහෙත් ඒ ඇසීමෙන් යහළුවාණන් කොක් හඬලා සිනාසෙන්නට වූයේ තමන් ද එවිට උන් සැටිය සලකා කුමාරතුංගයන් ඒ කී බව තේරුම් ගත් හෙයිනි.

 1927 පෙබරවාරි මසැ 2 වැනි දිනැ කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වුණු පණ්ඩිත සභාවෙහි දී කුමාරතුංගයන් කළ වියත් දෙසුම හැමගේ මත පැසැසීම් ඇද ගත්තේයි. මෙහි දී දෙසුමක් කළ ගුණවර්ධන වාසල මුදලිතුමෝ මුනිදාසයන් තමන්ගේ ගෝල කෙනකුන් බව අඟවනු රිසි වූවාහු.

 ‘‘අපගේ ද ගෝලයකු වූ කුමාරතුංග මහතා විමර්ශන ශක්තියක් ඇති සිංහල උගතෙකැයි කීහ.

 සිය පිළිතුර දෙසුම කෙළවරැ දි මෙය සඳන් කළ කුමාරතුංගයෝ

 ‘‘ගුණවර්ධන මුදලිතුමන්ගේ ගෝලයකු වන්නට ලැබුණ නම්, අහෝ, එතරම් වාසනාවක්! එහෙත් අභාග්‍යයකට මෙන් එබඳු ගෞරවයක් ලබන්නට බැරි වුණා’’ යැයි මුළු මුළුව සිනායෙහි ගිල්වමින් කීහ.

 නිට්ටඹුවේ අබෑසි විදුහල්පතිවැ උන් දවස් හී කුමාරතුංගයන්ගේ ජීවිතය හා සම්බන්ධ වූ රසවත් සිද්ධීහු බොහෝ වෙති. තමන් උගන්වන පාඩම් සඳහා සුදුසු තරම් සැරැුසීමක් ඇතිවැ ශිෂ්‍යයන් ආ යුතු යැයි කුමාරතුංගයෝ හැමවිටැ ම අපේක්ෂා කළහ. මෙසේ නො සැරසුණුහූ බොහෝවිටැ කුමාරතුංගයන්ගේ පාඩම් විටැදී එයට නො පැමිණ මඟ හැරැ ඉන්නට ද උපා යොදා ගත්හ. දිනෙකැ අහම්බෙන් වැඩක් වැරදී ගියේය.

 පාඩමට නො සැරැුසුණු එක් ශිෂ්‍යයෙක් කුමාරතුංගයන්ගේ පාඩම් වෙලාවට පන්තියට නො ගොස් මඟ හැරැ සිටැ ඔවුන් පන්තියෙන් ඉවත්වැ යන පුරුදු වෙලාව සලකා ඉන්පසුවැ පන්ති සාලාවට හදිසියේ මෙන් ආයෙ යැ. එහෙත් එදා කුමාරතුංගයෝ එතෙක් පාඩම් නිමවා නො තිබුණ හෙයින් මෙසේ පන්තියට ඇතුළු වුණු අසු කැරැ ගත්හ.

 ‘‘ඇයි නියම වෙලාවට පන්තියට නො ආවේ’’ යනු ඔවුන්ගේ විමැසීම් වියැ. ශිෂ්‍යයා තැනට සුදුසු පිළිතුරක් සොයා ගති.

 ‘‘මේ….මේ…. කක්කුස්සියට ගියා’’ කුමාරතුංගයෝ වපර ඇස තවද හකුළුවා බලා කීහ මෙසේ

 ‘‘සී… සී… කක්කුස්සිය යන්නට වඩා සුදුසු වචනයක් දන්නේ නැද්ද? කියනවා වැසිකිළියට ගියා. අවශ්‍ය කෘත්‍යය සඳහා ගියා යනු වැන්නක්.’’

 මුනිදාසයෝ මෙසේ කියා ඉක්බිති පන්ති සාලාවේ ඇති අනෙක් පංතියකැ ඉගැන්වීමට නැඟී ගියහ.

 කුමාරතුංගයන් එහි උගන්වද්දී මේ පන්තියේ ශිෂ්‍යයෝ හදිසියේ මෙන් නැඟූ පුටු මේසෙ ඒ මේ අතැ අදින්නටත් කෑ ගසන්නටත් කලබල කරන්නටත් පටන් ගත්හ. පාඩම් නිමවා, පෙරළා මේ පන්තිය ඉදිරියෙහි මිදුල ඔස්සේ ගිය කුමාරතුංගයෝ එසේ කලබලයෙන් හැසිරෙන ශිෂ්‍යයන් හමුයෙහි නැවැතුණහ.

 ‘‘ඇයි මේ ශිෂ්‍යයන් දැන් ටික වේලාවක සිට මෙසේ කලබලයෙන් පවතින්නේ….’’

 පිළිතුරු සඳහා වහා ඉදිරිපත් වූයේ පළමු වරදකරු වූ ශිෂ්‍යයායි.

 ‘‘ගැරඬියකු අවශ්‍ය කෘත්‍යය සඳහා ඇවිත්’’යැයි හේ ඇඟට නොදැනී මෙන් කියැ. වහලේ පරාල අස්සේ රැුඳී-ගෙනැ ගැරඬියකු පිටකළ බඩ-මැඩ නිසා ශිෂ්‍යයන්ගේ මේස කිලිටි වී ඇති පරිදි කුමාරතුංගයන්ගේ ඇසට ලක්විය.

 ‘ඒත් අවශ්‍ය කෘත්‍යයෙක් ද? ගැරඬියා අනවශ්‍ය කෘත්‍යයෙක් සඳහා අවුත් ඇති නො පැහැදිලි දැයි ඇසූ මුනිදාසයෝ ශිෂ්‍යයන්ගේ සිනා වැසි මැද සිය කාර්යාලය දෙසට පිය නැඟූහ.

 පිටපත් කර එවන ලද්දේ

 කල්‍යාණි පී. නිශ්ශංක

 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment