පණ යන බස් ගමන්

230

“මේ දවස්වල බස්වල යනවා කියන්නේ පණ යන වැඩක්. ඇත්තටම කියනවා නම් අදාළ තැනින් බස් එකෙන් බහිනකම් ඇඟේ ලේ වතුර වෙලා ඉන්නේ. බස්වල දොරවල් ජනෙල් වල එල්ලිලා විතරක් නෙමෙයි දැන් මිනිස්සු ඩිකියේ පවා යන්න පුරුදු වෙලා. පුද්ගලික වාහනවල යන්න තෙල් නැත්තම්, අඩුම තරමේ මේ රටේ පොදු ප්‍රවාහන සේවයවත් මීට වඩා සක්‍රීය කරන්න බලධාරීන්ට ඕනෑවටත් වඩා පුළුවන්කම තිබුණා. ඒත් කාටවත් ඒවා ගැන කැක්කුමක් නෑ.”

මේ දිනවල පණ යන බස් ගමන් පිළිබඳව සතර දෙසින්ම ඇසෙන්නේ එවැනි කතාය. දැන් බසයක යෑමත් එක්තරා ආකාරයක ත්‍රාසය, භීතිය, කුතුහලය කැටි කළ ක්‍රීඩාවකට සමාන බව මගීහු පවසති. පසුගිය කාල වකවානුවේ රට තුළ උද්ගත වූ ඉන්ධන අර්බුදය නිසා බොහෝ දෙනෙක් පුද්ගලික වාහන යොදා ගනිමින් ගමන් බිමන් යෑමෙන් වැළකී වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවාවන් වෙත නැඹුරු විය. දුම්රිය සහ බස් රථ වල ගමන් ගන්නා මගීන් ඊට හොඳම සාක්ෂියයි.

මේ අතර එදිනෙදා වැඩ කටයුතු සඳහා කුලී රථයකින් හෝ ත්‍රිරෝද රථයකින් ගමන් බිමන් ගිය පිරිසද ඒවායේ මිල ගණන් ඉහළ යෑම නිසා පොදු ප්‍රවාහන භාවිතයට එක් වූහ.

“මම රජයේ ආයතනයක වැඩ කරන්නේ. අපිට ඔෆිස් යන්න තියෙන්නේ දවස් දෙකයි. මුලින් බස් එකේ වැඩට ආවේ. දැන් නම් කෝච්චියේ එන්නේ. කොහොම ආවත් ස්ටේෂන් එකෙන් බහිනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ. දවස් දෙකට අපිට මෙහෙම එපා වෙනවා නම් හැමදාම වැඩට එන යන මිනිස්සුන්ට කොහොම එපා වෙන්න ඕනිද? මේ එන දවස් දෙකත් ගෙදර ඉඳලාම වැඩ කරන්න වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා”

කොටුව දුම්රිය ස්ථානයේදී අපට මුණගැහුණු තිලකසිරි පැවසුවේ එවැනි කතාවකි. තරාතිරම වයස ජාති ආගම් භේද නොසලකා මේ මොහොතේ සියලු දෙනාම අපේ රටේ පොදු ප්‍රවාහන සේවය ගැන කතා කරන්නේ කලකිරීමකින්.

“කවදාවත් බොරැල්ලට රුපියල් සීයකට ඇවිත් නෑ. මේ වගේ යන්න වෙයි කියලා හිතලාත් නෑ. දැන් දවසේ බස් වියදම රුපියල් තුන්සීයක් විතර වෙනවා. සමහර වෙලාවට ඊටත් වැඩියි. බස් වලටම මාසේ පඩියෙන් බාගයක් ඉවරයි. ඒ මදිවට කට කපලා බස් වල සෙනඟ. ෆුට් බෝර්ඩ් ගැලවිලා වැටෙයි කියලා හිතෙනවා වෙලාවකට. ගෑනු පිරිමි භේදයක් නෑ, අස්සෙන් රිංගලා ගිහින් බස් එකට නැග්ගේ නැත්තම් පාරේ තමයි ඉන්න වෙන්නේ”

කිරිබත්ගොඩ සිට බොරැල්ලට යන ගමනේ දුෂ්කරත්වය පිළිබඳව සමන්තිගේ මලානික මුහුණේ ඕනෑවටත් වැඩියෙන් සාක්ෂි සටහන්ව තිබුණි.

මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය නිසා බස් රථ ධාවනය කරන්නේද සීමිත ප්‍රමාණයකි. ඒ නිසාද මඟීන් අසරණව සිටියි. ඇතැම් දුර ගමන් බස් රථ ධාවනය නොවන අවස්ථාවන්ද තිබේ. වෙනදාට පුද්ගලික බස් රථ හයදාහකට ආසන්න ප්‍රමාණයක් ධාවනයට යොදවා තිබුණද පවතින ඉන්ධන අර්බුදය නිසා දැන් ධාවනය වන්නේ බස් රථ දාහත් තුන්දාහත් අතර ප්‍රමාණයක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙයි. පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණත් එම සැපයුම ප්‍රමාණවත් නොවන බවද සභාපතිවරයා කියා සිටියි. එමෙන්ම ලංගම හරහා නිකුත් කරන ඉන්ධන මඟින් ධාවනයට එකතු කළ හැක්කේ 1500 -2000 ප්‍රමාණයක් පමණි. එම නිසා පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට කඩිනමින් විකල්ප වැඩපිලිවෙළක් සකස් කළ යුතු බව ගැමුණු විජේරත්න අවධාරණය කළේය. මේ අතර හුරුපුරුදු ලෙස බස්රථ ධාවනය නොවීම මෙන්ම බස් ගාස්තු ඉහළ යෑම පිළිබඳවද බොහෝ දෙනකු අප්‍රසාදය පළ කරයි. වරින් වර ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමත් සමඟ පොදු ප්‍රවාහන සේවයේ මෙන්ම අනෙකුත් ප්‍රවාහන සේවාවන්හි අය කිරීම්ද කිහිප විටකදීම ඉහළ දැමුණි. ඒ නිසාද දුෂ්කරතා රාශියකට මුහුණ දෙන්නට සිදු වන බවට මඟීන් කියයි. තෙරපෙමින් පොරකමින් බසයට ගොඩ වන මඟීන්ට බස් ගාස්තු ඇසුණ විට උන් හිටි තැන් අමතකව යන තරමටම දැන් බස් ගාස්තු ඉහළ ගොස් තිබේ.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ඉන්ධන සැපයුම දෛනික ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කරන්නේ නම් අඩු කළ ඉන්ධන මිල සහනය ජනතාවට ලබා දෙන්නට පැකිලෙන්නේ නැති බවට පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියා සිටියි. කෙසේ වෙතත් පසුගිය සතියේ ඉන්ධන මිල සංශෝධනය වීමත් සමඟ දහනවවනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 2.23 කින් අඩුකළ බවට ජාතික ගමනාගමන කොමිසම පැවසීය. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අදාළ නව ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

කොවිඩ් කාලසීමාව තුළ පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීම සීමා වීමත් සමඟ බස් සහ දුම්රිය වල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස අඩු විය. ඒ අවස්ථාවේදී පොදු ගමනාගමන සේවාවන් පාඩු ලැබීම වැළැක්වීම සඳහා 20% කින් බස් ගාස්තු ඉහළ දැමීම සිදු කෙරිණි. නමුත් පසුව නැවත එම 20% ප්‍රමාණය පහළ දැමීමක් සිදු වුණේ නැත. අද වන විට බස් රථ වල ගමන් ගන්නා මඟීන්ගේ ප්‍රමාණය බස් රථ වලට පවා දරාගත නොහැකි තරම් ය. දැඩි ලෙස ආර්ථික අර්බුදයකට රට පත්ව ඇති මොහොතක සහනයකට පවතින පොදු ප්‍රවාහන සේවාවන් පවා වැඩි මුදලක් අය කර ගැනීම සාධාරණ නොවන බව මගීන්ගේ අදහසයි.

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු බවත් එයට සාපේක්ෂව අවම බස් ගාස්තුව රුපියල් තිහ දක්වා පහත දැමිය යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත පවසයි.

“විවිධ අවස්ථාවල ඉන්ධන මිල ඉහළ යෑමේදී බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කරනවා. ඒත් බස් ගාස්තු පහළ දැමීමට අවධානක් නෑ. ඒක කනගාටුදායකය කාරණාවක්. අද තියෙන බස් ගාස්තු සංශෝධන සූත්‍රය, ව්‍යවස්ථාවටත් වඩා පැටලිලි සහගතයි. ඒකට විසඳුමක් විදියට විද්‍යාත්මක ලෙස බස් ගාස්තු සංශෝධනයක් කරන්න කියලා අපේ සංගමය වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4%ක ප්‍රතිශතයකින් ඩීසල් මිල සංශෝධනය කිරීමෙන් පසු බස් ගාස්තු සංශෝධනයකට යෑමට සූදානම් බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවැසීය. බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව දාහත් (17) වතාවක් බස් ගාස්තු ඉහළ දමා තිබෙන බවත් එයට සාපේක්ෂව තුන් වතාවක් ගාස්තු පහළ දැමීමට කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මේ අතර පසුගියදා අඩු කෙරුණු බස් ගාස්තුවේ සහනය ඇතැම් ප්‍රදේශවල තවමත් නොලැබෙන බවට අපට තොරතුරු වාර්තා විය. බස් ගාස්තු සංශෝධනය පිළිබඳව මිල ගණන් ප්‍රදර්ශන පත්‍රිකා තවමත් නොලැබීම නිසා පෙර ගාස්තුම අය කරන්නට සිදු වන බවට කොන්දොස්තර මහත්වරු කිහිප දෙනෙක්ම අදහස් දක්වමින් කියා සිටියහ.

“ටිකට් එකක් කඩනවා තියා මිනිසුන්ගේ ජීවිත බේරගෙන මේ රස්සාව කරන්නේ කොහොමද කියලා අපිත් උදේ හවස නැතිව කල්පනා කරනවා. සමහර තැන්වලින් නවත්තපුවාම බස් එකට නැග ගන්න බැරි මිනිස්සු පැත්තකට වෙනවා. ඊළඟට බස් එකක් එන්නේ නෑ කියලා අපි දන්නවා. ඒ හින්දා පුළුවන් විදිහට ඉඩ අරගෙන දීලා කොහොමහරි මිනිස්සු එක්ක යන්න තමයි අපිත් උත්සාහ කරන්නේ. අපි කරන්නේ ජොබ් එකක්. ඒකට සල්ලි ගන්නවා තමයි. ඒත් අද පාරේ යන බස් සෙනඟ වැඩි කමටම එක පැත්තකට ඇලවෙලා. ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා මේ වෙලාවේ අරන් තියෙන්නේ අවදානමක්. මිනිස්සු සිය ගණනකගේ ජීවිත තියෙන්නේ අපේ අතේ.” කඩවත සිට කොටුව බලා ධාවනය වන බස් රථයක රිය සහයක මහත්මයෙක් එලෙස පැවැසීය.

එමෙන්ම ඉතිරි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් ද මේවන විට මගී ජනතාව චෝදනා නඟයි. එලෙස ඉතිරි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් සහ පොදු ප්‍රවාහන සේවයේ අක්‍රමිකතා පිළිබඳව ජාතික ගමනාගමන කොමිසමට පැමිණිලි කළ හැකි ය.

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment