පත්ඉරු පන්නන්න ආ ජාවාරමා මාට්ටු

516

කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට ගොස් එහි තිබූ ඉඩම් පත්තිරු ගලවමින් සිටි ප්‍රධාන පෙළේ ඉඩම් ජාවාරම්කරුවකු කුරුඳුවත්ත පොලිසිය මගින් එම කාර්යාලය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.

පානදුරේ සිට පැමිණි මෙම සැකකරු ඔප්පු තැනීමේ කල්ලියකට සම්බන්ධ වී සිටින අතර මොහු එක්තරා නීතිඥයකු ළඟ සේවය කරන බව ද කුරුඳුවත්ත පොලිසිය කියයි.

මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යද්දී හෙළිවූ තොරතුරු අනුව මොහු කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ පොලිස් පොතේ ලියැවී සිටින ප්‍රධාන පෙළේ වංචනිකයෙක් ද බව තහවුරු වූ බව ද පොලිසිය කියයි.

ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුළටම පැමිණ මොහුට මෙම වංචනික ක්‍රියාව සිදු කිරීම සඳහා පත්තිරු ගැලවීමට මෙන්ම ඒ පිළිබඳ තොරතුරු සැපයීමට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුළ කාගේ හෝ සබඳතාවයක් තිබිය හැකි බව ද පොලිසිය කියයි.

මොහු අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු ළඟ තිබූ ගම් බෝතලයක් ද සොයාගෙන තිබෙන අතර පත්තිරු ලිවීම සඳහා යොදා ගන්නා පිටපත් කීපයක් සහ පෑන් වර්ග කීපයක් ද සොයාගෙන ඇත.

මොහු මෙසේ ගලවා ඇත්තේ ඉතා වටිනා ඉඩම් දෙකකට අදාළ පත්තිරු බව ද කුරුඳුවත්ත පොලිසියේ පොලිස් පරීක්‍ෂක රුවන් සෝමරත්න මහතා පැවසීය.

මෙසේ ගලවාගෙන යන පත්තිරු පසුව ඒ ආකාරයටම ඇලවීම සඳහා මොහු මෙසේ ගම් බෝතලයක් ද රැගෙන එන බව සඳහන්ය.

පත්තිරු පිටපත් ලබාගැනීම සඳහා පෝරමයන් පුරවා අදාළ ඉඩම් හිමියා අත්සන් තබා ඒ පිළිබඳව කොන්දේසි පිළිපැදිය යුතුය. නමුත් මොහු ඒ අනුව ක්‍රියා නොකර කෙළින්ම එහි ගොස් පත්තිරු ගැලවීම පුරුද්දක් කරගෙන ඇති බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය පසුපස කල්ලියක් සිටින බව ද පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment