පත්තරයකට කතා කරන්නේ අවුරුදු අටකට පස්සේ – සුනිල් පෙරේරාගේ පුත් ගයාන්

456

ලංකාවේ ජනපි‍්‍රයම සංගීත කණ්ඩායමක් වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ ආදරණීය නායකයා සුනිල් පෙරේරා සමුගෙන මාස කිහිපයක් වනවා. ආදරණීය නායකයාගේ අභාවයෙන් පසුව ජිප්සීස් කණ්ඩායම තම නායකයා පැළඳි තොප්පිය සෑම ප‍්‍රසංගයකදීම ප‍්‍රදර්ශනය කිරීමටත් තීරණය කර තිබුණා. එමෙන්ම පසුගියදා පැවැති ප‍්‍රසංගයකදී සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා ජිප්සීස් සමඟ එක්වී තිබෙන අයුරු දැකගන්නට ලැබුණා. කෙසේ වෙතත් ගයාන් පෙරේරා ජිප්සීස් සමඟ එක්වෙනවාද? නැද්ද? අද දවසේදී බොහෝදෙනෙක් විමසන ප‍්‍රශ්නයක්. ඇත්තටම සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා මොනවද කරන්න හදන්නේ. ඒ ගැන අවුරුදු අටකට පසුව ගයාන් පෙරේරා සංගීතය මෙන්ම ජීවිතය ගැනත් ජිප්සීස් සංගීත කණ්ඩායම, ඩැඞී සංගීත කණ්ඩායම ගැනත් දිගු නිහඬියාව බි`දිමින් ඔහු කරන්න හදන අලූත්ම වැඬේ ගැන මීවිත සමඟ කෙළින් කතාබහක නියැළුණා. මේ ගයාන්ගේ ජීවිතයේ නැවුම්ම තොරතුරුවල පෙළගැස්මයි.


 * ගයාන් කොහොමද ජීවිතේ?

 ජීවිතේ හොඳයි. ෂේප් එකේ යනවා. දන්නේ නැද්ද? අවුලක් නැහැ.

 * කොච්චර කාලයකට පස්සෙද පත්තරයකට කතා කරන්නේ?

 අවුරුදු අටකට පස්සේ.

 * තාත්තාගේ වියෝවෙන් පසුව නේද ලංකාවට ආවේ?

 ඔව්. තාත්තා නැතිවුණා සැප්තැම්බර් මාසේ. මම ලංකාවට ආවා. ඒ වැඩකටයුතු ටික කරලා ඉවරවෙලා මම ආපහු ගිහිල්ලා මාසයක් විතර ඉ`දලා ආපහු ආවා.

 * ආපහු ඇමරිකාව බලා යන්න අදහසක් තියෙනවාද?

 මට ඉ`දලා හිටලා යන්න වෙයි. එහේ වැඩකටයුතු කිහිපයකුත් තියෙනවා. වැඩි හරියක් ලංකාවේ ඉ`දීවි.

 * අධ්‍යාපන කටයුතු අවසන් කළාද?

 මම ඔක්කොම ඉවර කළා. මම අන්තිම අවුරුදු තුන හතරේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා සංගීතය පැත්තෙන් තමයි වැඩකටයුතු සිදුකළේ. තාත්තා හදිසියේ නැතිවුණත් එක්ක ඒ සැලසුම් සියල්ල වෙනස් වුණා.

 * අවුරුදු අටකට පස්සේ ගීතයක් එළිදක්වනවා කියලත් ආරංචියි?

 ඔව්. මමයි චරිත අකලංකයි නිර්මාණ කිහිපයක් කළා. ඒ කරපු සින්දු කිහිපයකින් එකක් පසුගිය 22 වැනිදා එළිදැක්වූවා. සින්දුවේ නම හිතන තරම් කියලා. ඒකට ලස්සන රූප රචනයක් නිර්මාණය කළා. භාරත හෙට්ටිආරච්චි කියන සිනමාවේදියා.

පත්තරයකට කතා කරන්නේ අවුරුදු අටකට පස්සේ - සුනිල් පෙරේරාගේ පුත් ගයාන්



 * මේක යුග ගායනයක්ද?

 නැහැ. චරිත තමයි සංගීත නිර්මාණය කළේ. පද රචනය සහ තනුව මගේ.

 * ‘හිතන තරම්’ ඔබේ පුද්ගලික ජීවිතයේ අත්දැකීමක්ද?

 මගේ ජීවිතයටත් සම්බන්ධ වෙන්න පුළුවන්. දන්නේ නැත්ද? හැමෝගෙම ජීවිතවල තියෙනවානේ මොකක හරි දෙයක අත්දැකීමක්. මගේ ජීවිතය අල්ලලා ලියපු එකක් නෙමෙයි. පෙම් සබඳතාවයක බි`දවැටීමක් මුල්කරගෙනයි ගීතය පද රචනය කරලා තියෙන්නේ. මගේ මස්සිනා, බොරුකාරී වගේ සොමි පැත්තට බර ගීතයක් නෙමෙයි. ටිකක් සීරියස් ගීතයක්.

 ‘හිතන තරම්’ ගීතයේ රූප රචනාවේ ඉන්න පිරිස ගැනත් කතා කරමුනේද?

 භාරත හෙට්ටිආරච්චි කියන සිනමා අධ්‍යක්‍ෂවරයා තමයි රූප රචනය සිදුකළේ. මමයි අනුරාධ එදිරිසිංහයි තමයි ඉන්නේ. ඒත්් එක්ක මේ ගීතයේම රැුප් ගායනයෙන් සම්බන්ධ වෙනවා මනසික් කියන ගායකයා. ශ‍්‍රීල්ටීව් කියන රැුප් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. චරිතත් සම්බන්ධ වෙලා ඉන්නවා.



 * කාලෙකට පස්සේ සීරියස් ගීතයක් කළේ ඇයි?

 අපි තව සින්දු තුන හතරක්ම කරලා තියෙනවා. නමුත් මේක තමයි අපිට ඉක්මනින්ම වැඩ ඉවරකරගන්න පුළුවන් වුණ ගීතය. ඉතිං ඒක හින්දයි එළිදක්වන්නේ. මේ ගීතයෙන් එළියට එන්න අදහසක් තිබුණෙත් නැහැ. අනිත් එක මිනිස්සු මම මේ වගේ සින්දු කියනවා එච්චර දැකලත් නැහැ. ඉතිං ඒකත් හොඳයි එක අතකට.

පත්තරයකට කතා කරන්නේ අවුරුදු අටකට පස්සේ - සුනිල් පෙරේරාගේ පුත් ගයාන්



 * අලූත් ගීතයෙන් මිනිස්සු අතරට යන්නේ කොච්චර කාලයකට පස්සෙද?

 අවුරුදු අටකට විතර පස්සෙ. මම නැවත ලංකාවට ආවට පස්සේ ලැබෙන ප‍්‍රතිචාර හොඳයි. මම මගේ සමාජ මාධ්‍ය ජාලය හරහා ඉදිරියේදී කරන්න තියෙන වැඩවල පොඩි පොඩි කෑලි ටිකක් ඒ වගේ පළ කරලා තියෙනවා. ඒවාට සෑහෙන හො`ද ප‍්‍රතිචාර ලැබෙනවා. මම දැන් ලංකාවට ඇවිත් සතියක් විතර ඇති. මම මේ පාර ලංකාවට ඇවිත් ප‍්‍රසංග දෙකකට සහභාගි වුණා.

 * පසුගිය දවස්වල ගයාන් ජිප්සීස් බෑන්ඞ් එකත් එක්කත් සින්දු කිව්වා නේද?

 අපේ නංගි කෙනෙකුගේ මඟුල් ගෙදරක් තිබුණා. ඉතිං ඒකේ ජිප්සීස් ප්ලේ කළා. මට ඇවිත් ටිකෙන්් ටික කියන්න කිව්වා. මම ටිකෙන් ටික කිව්වා. ඒක කිව්වාට පස්සේ ඒකේ වීඩියෝ එක එළියට ආවම කට්ටිය හිතලා තියෙන්නේ මම ජිප්සීස් එක්ක එකතුවෙලා වැඩ කරනවා කියලා.

 * ඇත්තටම ජිප්සීස් එක්ක එකතුවෙන්නේ නැතිද?

 නැහැ. ජිප්සීස් බෑන්ඞ් එක අපේ පියල් බාප්පා කරගෙන යනවා. මම ජිප්සීස් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මම එතැනට ගැළපෙනවා කියලා හිතන්නේ නැහැ. පැත්තකට වෙලා මම පරණ විදිහට මගේ වැඩටික කරගෙන ඉන්නවා. ඒ ඇරුණහම ජිප්සීස්ලාට මොකක් හරි දෙයකට මාව අවශ්‍ය නම් වැඩක් කරන්න මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. කිසිම පැකිළීමක් නැහැ.

 * ඩැඞී සංගීත කණ්ඩායමටවත් එකතු වන්නේ නැතිද?

 නිමන්තලා, විරේෂ්ලා බෑන්ඞ් එක ඉතාමත් හොඳට කරගෙන යනවා. මට හරි සන්තෝෂයි. මම ලංකාවට ආවට පස්සේ අපි හම්බවුණා. ඔවුන් දැන් බෑන්ඞ් එක කරගෙන යන විදිහ සෑහෙන හොඳයි. බෑන්ඞ් ගහපු කාලයේ ඒකේ ආතල් එකක් තිබුණා. හරිම සුන්දර කාලයක්. නමුත් මට ඉදිරියේදී බෑන්ඞ් වැඩකරගෙන යනවාට වැඩිය තනියම වැඩකරගෙන යන්න ලේසියි.



 * සුනිල් පෙරේරාගේ පුතා ගයාන් සෝලෝ ගායකයෙක්් විදිහටද වැඩ කරන්නේ

 ඔව්, මම දැන් ඉදිරියේදී සෝලෝ ගායකයෙක් විදිහට වැඩ කරන්න තමයි සූදානම් වෙන්නේ. මොකද මට දැන් බෑන්ඞ් කරන එක පොඞ්ඩක් අමාරුයි. හේතුව පැය හතර පහ එක දිගට වැඩකරන්න මම කැමැති නැහැ.



 *තවත් ගීත කිහිපයක් එළිදක්වන්න සූදානම් නේද?

 ඔව්, මම තව ගීතයක් කරනවා පසන් ලියනගේත් එක්ක. ඒත් එක්කම චරිත සමඟ කරපු තව ගීත දෙකක් තියෙනවා. තව මම තනියම කරන ගීත කිහිපයකුත් තියෙනවා.

 * ඇයි කළේ, බොරු කාරී, මස්සිනා ගීත වලට මොකද වෙන්නේ?

 ඒවා අනිවාර්යයෙන්ම කියනවා. පරණ සින්දුවලින් තමයි මිනිස්සු මාව ගොඩක් දන්නේ. ප‍්‍රසංග වේදිකාවට යනකොට ඒ ගීත කියනවා. ඒත් සමගම අලූත් ගීතත් කියනවා. මොකද පරණ සින්දුම හැමදාම කිය කිය ඉන්න බැහැනේ.

 * ජනපි‍්‍රයත්වයේ ඉහළම කාලයේ තමයි ඒ සියල්ලම දාලා ගයාන් විදෙස් ගතවුණේ. ඇයි එහෙම කළේ?

 මට හිතුණ ලංකාවෙන් පිටත ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලන්න. 2014 දී තමයි මම විදෙස්ගත වුණේ. ලංකාවේ ඉන්න කොට සැබෑ ලෝකයේ අත්දැකීම් අඩුයිනේ. අම්මලා තාත්තලා නැතිව තනියම ජීවත්වෙලා නැහැ. සද්ද නැතිව හිටියට ඒකාලේ මගේ ජීවිතයට ලොකු අත්දැකීමක් එකතුවුණා. ලංකාවේ ඉන්නකොට අපිට එහෙම කරන්න ඕනෑ වුණේ නැහැනේ. රස්සාවල් කෝටියක් විතර කළා.

 * ඇමරිකාවේ ගිහිල්ලා ඇත්තටම මොනවද කළේ?

 මම කරපු නැතිදෙයක් නැහැ. වේටර් ජොබ් පවා කළා.

 * හිතන තරම් මොන විදිහට රසිකයෝ භාරගනීවිද?

 මම හිතන්නේ හොඳට භාරගනීවි කියලා. ඒක ලස්සන සින්දුවක්. චරිතගේ මියුසික් ස්ටයිල් එකට කැමැති රසික රසිකාවියෝ පිරිසකුත් ඉන්නවානේ. ඉස්සරහට මගේ කලින් සින්දු වගේ සොමි ආතල් සින්දු ටිකක් එන්න තියෙනවා. හැම එකක්ම සොමි ආතල් වුණහම ඒකේ ලල් එකක් නැහැනේ.

 * තාත්තා නැතිවීම ගයාන්ට කොහොමද දැනුනේ

 මම තාත්තාව අවුරුදු හතරකින් දැකලා තිබුණේ නැහැ. කතා කරලා තිබුණෙත් දෙපාරක් විතර. ඒකත් හරියට විනාඩි දෙක තුනක් වගේ කාලයක්. එයා හොඳ වෙලත් ගෙදර ආවානේ. අපි හිතුවේ කිසි ප‍්‍රශ්නයක් නැහැ කියලා. අනෙක් පැත්තට ගෙනිච්චට පස්සේනේ නැතිවුණේ හිතට කනගාටුයි. අන්තිම දවස් ටික එයත් එක්ක ඉන්න බැරිවීම ගැන මොනවා කරන්නද. හැමෝම හැමදේම ලැබෙන්නේ නැහැ. ඉතිං ඒක හින්ද ඔළුව නිරවුල්ව තියාගෙන ගෙදර අනෙක් කට්ටියව බලාගෙන ඉන්න ඕනෑ කියන මතය තමයි දැන් මගේ මූලික බලාපොරොත්තුව. තාත්තාගේ අඩුව ගෙදර අයට දැනෙන්නේ නැතිව වැඩ කරන්න තමයි අපි කට්ටියම වැඩ කරන්නේ.

 * තාත්තාගේ ගීත ඉදිරියට ගෙනියන්න අදහසක් නැතිද?

 තාත්තාගේ ගීත මම ඉස්සර ඉඳන් ගායනා කළේ නැහැ. දැන් මට පොඩි අදහසක් තියෙනවා ජිප්සීස් සින්දු ටිකක් අරගෙන පොඩි සෙල්ලමක් දාන්න. තවම මම ඒකට හරියට වැඬේ පටන් ගත්තේ නැහැ.

 ඉස්සරවෙලා මගේ සින්දු ටිකක් එළියට දාගෙන ඉන්න ඕනෑ. අවුරුදු අටකට පස්සේනේ මම එළියට එන්නේ. දැන් අලූත්ම පිරිසක් ඉන්නවානේ. මම ලංකාවෙන් යනකොට හිටපු පිරිස් දැන් ලොකුවෙලා. අලූත්ම සින්දු කියන පිරිසක් ඉන්නවා. සමාජ මාධ්‍යජාලාවල අලූතෙන්ම සින්දු කියන අයත් ඉන්නවා.



 * ඔබේ ජනපි‍්‍රයත්වය අඩුවෙලා කියලා හිතනවාද?

 මට කිසි අප්සට් එකක් නැහැ. අනික මම ජනපි‍්‍රයත්වය ගැන හිතන්නෙත් නැහැ. ඒ දවස්වල වුණත් මම ඒක ගැන එච්චර හිතුවේ නැහැ. කරන වැඬේ හරියට කරන්න තමයි උත්සාහ කළේ. මම අවුරුදු අටක් නිහඬව හිටපු කාලයේ දැන් අලූත් පිරිසක් ක්‍ෂේත‍්‍රයට ඇවිත් ඉන්නවා. දැන් මට අවුරුදු 35යි. අවුරුදු 22, 23 අයට මම ඒ කාලේ කියපු සින්දු මතක ඇති. ඔවුන්ට මාව දැන් ආපහු අලූතෙන් හඳුන්වාදෙන්න එපායැ. ඒක හින්ද තමයි අලූත් වැඩ ටිකක් කරන්න හැදුවේ. ක්‍ෂේත‍්‍රයේ මම වගේ පිස්සු සින්දු ලියන කට්ටිය අඩුයි. මම හිටපු තැන අනුව කිසි ප‍්‍රශ්නයක් නැතිව වැඩ කරගෙන යන්න පුළුවන්.

 * තාත්තාගේ යාළුවෝ කතාකළේ නැතිද අලූත් වැඩක් කරන්න?

 කිහිපදෙනෙක්ම කතා කළා. සමහර වැඩ මට අවංකවම ගැළපෙන්නේ නැහැ. තාත්තාගේ ගීතයක් රීමික්ස් කරලා හෝ මොනවා හරි කරන දෙයක් ආවාට ගියාට කරන්න බැහැ. ඒ ගැන හිතලා බලලා කරන්න ඕනෑ. තාත්තාගේ ශෛලිය වෙනස්. මගේ ශෛලිය වෙනස්. ජිප්සීස් පරණ සින්දු ටිකට මම ඇත්තටම සෑහෙන කැමැතියි. ඔය දේශපාලනය එහෙම සම්බන්ධ වෙච්ච දේවල් නෙමෙයි. මුල් අවදියේ තිබුණ ජිප්සීස් ගීත තියෙන්නේ. ඒවයින් අපිට වැඩක් ගන්න පුළුවන්. ඒවාට වෙලාව තමයි යන්නේ.

 * ගීත එකතුවක් කරන්න අදහසක් තියෙනවාද?

 ගීත එකතුවක් තියෙනවා හදිසියේ එන්න වුණ හින්දා ඒ කිසිදෙයක් සැලසුම් කරන්න බැරිවුණා. ගීත දහයක් දොළහක් නෙමයි ගීත පහක් විතර එළියට දාලා ඊට පස්සේ තව ගීත හතර පහක් එළියට දාන්න අදහසක ඉන්නවා.

 * පැරණි මිත‍්‍රයෝ මනු, ලහිරු, නිමන්ත කතා කළේ නැතිද?

 අපි ඔක්කොමලා හම්බ වුණා. දැන් කට්ටියටම බැඳලා දරුවෝ ඉන්නවා. මම ගියාට පස්සේනේ ඔය ඔක්කොම දේවල් සිද්ධ වුණේ. දෙතුන් දෙනෙක් මම හිටපු කාලයේ කසාද බැන්දට දරුවෝ හිටියේ නැහැ. දැන් ඉස්සර වගේ අපිට හම්බ වෙන්න වෙලාවක් නැහැ. දැන් ජීවිත වෙනස්. ඉස්සරත් අපි සෙට් එක එකතුවෙලා වැඩ කරපු හින්දා ඉස්සරහටත් වැඩක් කරාවි.

 මම ඩැඞී සංගීත කණ්ඩායමත් එක්ක එකතුවෙලා කොන්සර්ට් සීරියස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පොඩි රීයුනියන් වගේ එකක්. ඔවුන්ටත් නිදහස ලැබෙන වෙලාවක තමයි ඒක සැලසුම් කරන්න ඕනෑ.

 * ඔබේම කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැතිද?

 ඒකත් කරන්න ඕනෑ. ඊට කලින් මගේම නිර්මාණ කිහිපයක් එළියට දාගන්න ඕනෑ. ඊට කලින් අපිට සමහර විට ඩැඞී සංගීත කණ්ඩායම සමඟ රීයුනියන් එකක් කරන්න පුළුවන් වෙයි. මොකද මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් කරනකන්. මම හිතන්නේ මගේම කොන්සර්ට් එකකට කලින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වේවි. පොඞ්ඩක් හිමීට තමයි ගමන. සින්දු ටික එළියට වට්ට ගත්තට පස්සේ ඒටික ප‍්‍රමෝට් කරලා මිනිස්සු දැනගත්තට පස්සේ කොන්සර්ට් එකකට යන්න පුළුවන්.

 * ගයාන් දැන්ම විවාහ වෙනවාද?

 පොඞ්ඩක් ගෙදර කට්ටියගේ තත්ත්වය සමනය වුණට පස්සේ තමයි මට ඒ වැඩ ගැන හිතන්න වෙන්නේ. තවම ගෙදර කට්ටියව බලාගන්න ඕනෑ. දන්නවානේ තවම පොඞ්ඩක් ස්ටේබල් මදි. තාත්තාගේ වියෝවත් සමඟ ඒ ටික පොඞ්ඩක් නිරාකරණය වුණාට පස්සේ ඔය ප‍්‍රශ්නය බලමු.


 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment