පදමට මත්වී රිලා ඇල්ලේ නිධානයක් සොයන්න ගිය දෙදෙනා ඇල්ලෙන් පහළට වැටී මරුට

195

හාලිඇල කැටවල බෝගොඩ ප‍්‍රදේශයේ පිහිටි රිලා ඇල්ලෙන් පහලට වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු 8දා රාත‍්‍රී මියගොස් ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

වීරකැටිය, හකුරුවෙල, අක්කර හතලිහ, කන්දෙගෙදර ප‍්‍රදේශයේ පදිංචි විදානපතිරණලාගේ ධර්මදාස නමැති තිස්නවය හැවිරිදි පුද්ගලයෙකු හා ගිරා`දුරුකෝට්ටේ, හෙඹරව, අලූයටවෙල, ගල්ගේලන්ද පදිංචි ටී.බී.සමීර ලක්මාල් නමැති විසිහය හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනාම හාලිඇල බෝගොඩ හරහා මහනුවර දක්වා වැටී ඇති රජ මාවතේ මාර්ග සංවර්ධනය සිදුකරන පෞද්ගලික සමාගමක සේවයේ නියුතු පුද්ගලයන් දෙදෙනෙකු බව හාලිඇල පොලීසිය කියයි.

මාර්ග සංවර්ධනයේ යෙදෙන මෙම පිරිස හාලිඇල බෝගොඩ ප‍්‍රදේශයේ නවාතැන්පලක නතරව සිට දවසේ වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු මත්පැන් පානය කරමින් සිටියදී එක් පුද්ගලයෙකු දේව ආරූඩයෙන් රිලා ඇල්ල අසල නිධානයක් ඇති බවට තමන්ට පෙන්නුම් කරන බව පවසා එය ලබා ගැනීමට හැකි බව පවසමින් කලූවරේම දුව යාම නිසා ඔහු පසුපස තවත් තිදෙනෙකු දුව ගොස් තිබේ.

පසුව දේව ආරූඩය පැමිණි බව පැවසූ වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා රිලා ඇල්ල ඉහළදී පය ලිස්සා යාම නිසා ඔහු අල්ලා ගැනීමට ගිය

ගිරා`දුරුකෝට්ටේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඇතුලූ දෙදෙනාම රිලා ඇල්ලෙන් පහලට වැටී තිබේ.

මෙසේ රිලා ඇල්ලෙන් පහලට වැටීම නිසා මෙම දෙදෙනාම බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි හාලිඇල පොලිසිය කියයි.

මෙම අවස්ථාවේදී දෙදෙනාම බීමත්ව සිට ඇතැයි ඔවුන් සමග ගිය අනෙක් පුද්ගලයින් පොලීසියට පවසා තිබේ.

හාලිඇල පොලිස් ස්ථානාධිපතිි පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි හාලිඇල පොලීසියේ නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල සහ කපිල චන්දන කුරුප්පුආරච්චි – හාලිඇල
 

advertistmentadvertistment
advertistmentadvertistment