පදිංචි ඉඩමට ඔප්පුවක් හදාගන්න රණවිරු වැන්ඳඹුව සත්‍යග‍්‍රහයක

218

වසර ගණනාවක සිට තමන් පදිංචි වී සිටින පොල් ඉඩමට ඔප්පුවක් සාදා ගැනීමට යෑමේදී  ප‍්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් වෙනත් අයෙකුට එම ඉඩම පැවරීමට කටයුතු කරන බව පවසමින් ඊයේ (21 දා) අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී කහටගස්දිගිලිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සත්‍යග‍්‍රාහයක් ආරම්භ කළාය.

මෙලෙස සත්‍යග‍්‍රහයක නිරත වූයේ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැලෑ නිකවැව, පදිංචි එන්. ක‍්‍රිශාන්ති මානෙල් කුමාරී නැමැති(අවුඃ46* දෙදරු මවකි.

දැනට වසර විසි පහකට ආසන්න කාලයක සිට රජයේ ඉඩමක පොල් ඇතුළු බෝග සිටුවා සංවර්ධනය කරමින් තමන් ජීවත් වූ බවත්, ඉඩම අසල පදිංචි වෙනත් පුද්ගලයකු තම ඉඩමට පැන පොල් ගස් එකසිය අටක ප‍්‍රමාණයක් පසුගියදා විනාශ කර දැමූ බවත් උපවාසයේ නිරත කාන්තාව මෙහිදී සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ උපවාසයේ නිරත කාන්තාව මෙසේද පැවසුවාය.

‘‘ග‍්‍රාම නිලධාරීවරයාට සහ ප‍්‍රාදේශීය ලේකම්වරයාට කිහිප වතාවක් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා. එහෙත් විසඳුමක් නැහැ. මගේ ඉඩමේ පොල් ගස් විනාශ කරලා වැට මායිම් ගැලවූ පුද්ගලයාට පක්ෂව තමයි ඒ අය කටයුතු කරන්නේ. මගේ මහත්තයා හමුදාවේ කෝප‍්‍රල් වරයෙක්. ඔහු සේවය කරමින් සිටියදී ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා. මගේ ඉඩම බලෙන් අත්පත් කර ගන්න යන අයට රජයේ

ප‍්‍රධාන ඇමැතිවරයෙක්ගෙ සම්බන්ධකම් තිබෙනවා. ඒනිසා රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නීතියානුකූල වැඩ කරන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් කීප වතාවක් පොලිසිය වෙත පැමිණිලි කළාම සමථ මණ්ඩලයට දානවා. ආයෙත් කැරකිලා එන්නේ ප‍්‍රාදේශීය ලේකම්වරයා ළඟට.මීට පෙර කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළාත විසඳුමක් ලැබුණේ නැහැ. ඒනිසා තමයි අද දිසාපති කාර්යාලය ඉදිරි පිටට පැමිණියේ විසඳුමක් ලැබෙන තෙක් සත්‍යග‍්‍රහයේ නිරත වෙනවා.’’

අප මේ සම්බන්ධයෙන් කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේකම් ආර්. සෙන්දිල් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.

‘‘මෙම ඉඩම රජයේ ඉඩමක්. බලපත‍්‍ර ඔප්පු කිසිවක් නැහැ. මේ ඉඩම ආසන්නයේ සිටින පුද්ගලයකු සහ මෙම කාන්තාව අතර කලක සිට ආරවුලක් තිබෙනවා. මීට පෙර පැමිණිලි ලැබුණු පසු මම පෞද්ගලිකවම එම ඉඩමට ගොස් එම ගමේ ගොවි සංවිධාන නිලධාරීන්, මරණාධාර සමිති නිලධාරීන් මෙම ස්ථානයට කැඳවා කරුණු විමසුවා. නීත්‍යානුකූලව මෙම ඉඩම දීමේ හැකියාවක් නැහැ. මේ දෙපිරිස සමථ වෙන්නෙත් නැහැ. මේ සම්බන්ධයෙන් මා දිසාපතිවරයාද දැනුවත් කළා. මෙම ගැටළුව පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමු කිරීමට කටයුතු කරනවා’’.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment