පනතේ බාධා ඉවත් කර කොතලාවල සරසවිය යූජීසිය යටතට ගෙන එනවා – ජනපති බෞද්ධ උපදේශන සභාව හමුවේ කියයි

556

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
 
 ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඉකුත් 16 වැනිදා බෞද්ධ උපදේශක සභාව 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැුස්වූ අවස්ථාවේදී කොවිඞ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කරමිනි.
 
 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බවත්, උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් පෙළඹී සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.
 
 උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප‍්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
 රටේ අනාගතය සඳහා ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
 
 ජනවාරි මස 28 වැනිදා ඇස්ට‍්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලූම එන්නත් ලැබීම් සහ දිස්ත‍්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක‍්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලූ දෙනාට එන්නත් මාත‍්‍රා දෙකම ලබාදී අවසන් කළ හැකි බවට ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. එමෙන්ම දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත‍්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට එන්නත්කරණ ක‍්‍රියාවලිය ඇගයීමට ලක්කර ඇති අතර එන්නත්කරණයෙන් දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
 කොවිඞ් මර්දනය සඳහා ආරම්භයේ සිටම ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය ගෙනගිය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ මහා සංඝරත්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳව ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන වැරදි මතවාද වැළැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්හ.
 
 බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු හා රාජ්‍ය නිලධාරීහු රැුසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment